04 July, 2017

මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

Dayasiri - Arjuna

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පසුගියදා ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලැබීමත් සමගම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම පිළිබඳව යළිත් වරක් ප්‍රබල අවධානය පළ වී තිබේ.

සිම්බාබ්වේ තරගාවලියට පෙරාතුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ද මතභේදයට තුඩු දුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාව තවමත් විනාශ වී නැතත්, "විනාශ වෙමින් යන" බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, මේ බිඳ වැටීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවත් සඳහන් කරයි.

මේ අතර කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයෙකු ද වන සිදත් වෙත්තමුණි පවසන්නේ ක්‍රිකට් පරිපාලනයේ වගවීම සහ විනිවිද පෙනෙන සුළු භාවය ඇතිකිරීමට අපොහොසත් වනතුරු ක්‍රීඩාව නගා සිටුවීම ඉතා දුෂ්කර කාර්යයක් බවය.

ඔවුන් දෙදෙනාම ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, ක්‍රීඩාව නගා සිටුවීම පිණිස කඩිනම් පියවර ගත යුතුව තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද පිළිගනියි.

ක්‍රිකට් ක්‍රීඩාව "වැඩියෙන්ම විනාශ වූයේ" සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ බව පවසන අමාත්‍ය අර්ජුන රණතුංග එම බිඳ වැටීම පිළිබඳව ඇමතිවරයෙක් වශයෙන් තමන් දැඩිව කණගාටුවන බවත් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

"මේකට ජනාධිපතිවරයා, ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න ඕනේ. මම අදත් කියනවා. අතුරු පාලක මණ්ඩලයක් ගෙන්න ඕනේ. නැත්නම් ක්‍රිකට් හදන්න බෑ," ඔහු පැවසීය.
'ෆිට්නස්'

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ 'ෆිට්නස්' යහපත් මට්ටමක නැතැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක් නියම කෙරිණ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසන්නේ අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් තුළ විනයක් තිබිය යුතු බවය.

එහෙත් 'බඩ තිබුණු' පමණින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බිඳ වැටී ඇතැයි පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

"ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රිකට් ෆිට්නස්. එහෙම නැතුව අපි මලල ක්‍රීඩකයෝ නෙවෙයි," අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේකට ප්‍රධානම හේතුව අපි පිටරටවලින් ෆිට්නස් ගැන දන්න අය ගෙනල්ල ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය ෆිට්නස් කරනවා, නමුත් ක්‍රිකට් ෆිට්නස් ගැන කාටවත් දැනුමක් නෑ."
සබැඳි යොමු:

කෙසේ නමුත් තමන් ඒ අදහස් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

"1996 ක්‍රිකට් ක්‍රීඩාවයි, අද ක්‍රිකට් ක්‍රීඩාවයි අතර ලොකු පරස්පරයක් තියෙනව. එතුමාට පුළුවන් මට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන්න. හැබැයි ෆිට්නස් පිළිබඳව එතුමාට වැඩිය මට දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් තියෙනව," ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
ක්‍රිකට් පරිපාලනය

දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින නමුත් පරිපාලනයේ දුර්වලතා සහ ක්‍රීඩාවේ දේශපාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු ක්‍රිකට් නායක සිදත් වෙත්තමුණි මේ අතර බීබීසී සිංහල සේවයට පැවසීය.

විශේෂයෙන්ම තමන් අන්තර්වාර කමිටුවේ සභාපති ධුරය හෙබැවූ සමයේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (එවකට ජනාධිපති නීතිඥ) ප්‍රසන්න ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අන්දම පිළිබඳව අයර්ලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල ව්‍යවස්ථාවන් හදාරා පූර්ණ වාර්තාවක් සකස් කළ බව පවසන ඔහු, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවත් සඳහන් කළේය.

ක්‍රීඩා සමාජවලට අනිසි ලෙසින් බලපෑම් කිරීමේ අවස්ථාව අහුරමින්, පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තුරු සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් පවා පෙන්වා දී ඇති පරිදි පළමු පෙළ ක්‍රීඩා තරගාවලිවල ව්‍යුහය පූර්ණ වෙනසකට බඳුන් කරන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ප්‍රබල බලාපොරොත්තු තබාගත නොහැකි බවත් සිදත් වෙත්තමුණි වැඩිදුරටත් පැවසීය.

"මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ."

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී නැති බවය.

ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳව සිදත් වෙත්තමුණි ඇතුළු ක්‍රීඩාවේ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව සඳහන් කරන අමාත්‍යවරයා, කෙසේ නමුත් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව ඔහු ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව තමන්ගේ ප්‍රබල මනාපයක් නොමැති බවත් පැවසීය.
ග්‍රැහැම් ෆෝඩ්

බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව "අන්ධ මිනිස්සු පාරේ යනවා වගේ" ගමනක යෙදෙමින් සිටින බවය.

එයට ප්‍රතිචාර දක්වන අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ තිලංග සුමතිපාල විසින් ගන්නා ලද ඇතැම් තීන්දු වැරදි බව තමන් ද පිළිගන්නා බවය.

"දැන් ග්‍රැහැම් ෆෝඩ් තෝරාගන්න එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණ. අන්තිමට වුනේ ග්‍රැහැම් ෆෝඩ් ඒක අතෑරලා දාල ගියා. මම හැම වෙලාවෙම කලපනා කළ දේ තමයි ලංකාවේ ඉන්න පුහුණුකරුවන් ගැන අපි පොඩ්ඩක් අවබෝධය ලබාගන්න ඕන."

උදාහරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තර්වාර කමිටුවක් විසින් චන්දික හතුරුසිංහ "රටෙන් එලෙවුව" බව පවසන අමාත්‍යවරයා, වර්තමානයේ ඔහු ඩොලර් 40,000 ක වැටුපක් ලබමින් බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගමින් සිටින බව පෙන්වා දුන්නේය.

ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පියවර ගන්නා අතරවාරයේම වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ද අඩුපාඩු තිබෙන බව පිළිගන්නා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, අමාත්‍ය අර්ජුන රණතුංග පවසන පරිදි එම පරිපාලනය වෙනුවට අන්තර්වාර කමිටු පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදයට විසඳුම යයි තමන් විශ්වාස නොකරන බවය.

ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් සලකා බලන විට ඔවුන්ගේ මානසිකත්වය සහ ශාරීරික යෝග්‍යතාවය ගොඩ නැංවිය යුතු අතරම, එක් කළමනාකරුවෙකු විසින් ක්‍රීඩකයන් විශාල පිරිසක් කළමනාකරණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාලිංග, ෆිට්නස්, සිම්බාබ්වේ පරාජය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය"

    Post a Comment