22 March, 2017

වෙනස්ම හැඩයකින් පබැදුණු කවි එකතුවක්

Mola Senevirathne-Nikma Yema

පොතකුයි, පෑනකුයි අරගෙන මම බිම ඉඳගත්තා. හිතට එන හැම දෙයක්ම ලියැවෙන්න ඉඩ හැරියා. මම මටම සීමා දාගන්න ගියෙ නැහැ. ශරීර කූඩුව සිරකරලා තියනවා මදිවට හිතත් හිරකරලා දාන්න වුවමනාවක් මට තිබුණෙ නැහැ. එක දිගට මම ලියාගෙන ගියා. දවසක් ජේලර්වරයෙක් යකඩ කූරු අතරින් ඇස් දික්කරන් පොත දිහා බලාගෙන ඇහුවා ‘ ඒ ගමන උඹ කවි ලියන්න පටන් ගත්තද? ‘. කියලා.

මො.ල සෙනෙවිරත්න ‘ හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න‘ නම් සිය කාව්‍ය සංග්‍රහය ලියන්න පටන් ගත් විදිය ගැන කියන්නෙ ඒ විදිහයට. මෙසේ සිරගත කිරීමෙන් හෝ වධ බන්දනවලට ලක් කිරීමෙන් මැඩ පවත්වා නිහඬ කළ නොහැකි මිනිසුන් ද අතලොස්සක් හෝ ලොව සිටින බවට සාක්ෂි ඉතිහාසයෙන් සොයා ගත හැකි ය. තාප්පවලින් වටකළ අඳුරු සාපලත් හිරකුටියක සිය ජීවිතයේ හොඳ ම කාලය දිය කර හරින එබඳු දේශ පාලන සිරකරුවෝ, බොහෝ විට නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ, එසේ සිරගතව ගතකළ කාලයට වගකිවයුත්තෙක් පිළිබඳ සඳහනක් හෝ නොකරමිනි. වියට්නාම් විමුක්ති අරගලයේ ක්‍රියාකාරිකයකු වූ හෝචිමින් වියට්නාම් කවියෙකි. ඔහු කවියෙකුට එහා ගිය කවියෙකි. කවි ලිවීම පමණක් නොව, අඩු ම තරමින් වියට්නාමයේ නිදහස උදෙසාවත් බොහෝ දේ කිරීමට ඇති බව ඔහු විශ්වාස කළේ ය. මේ අරගලය නිසා ඔහු සිරගත කරන ලද අතර, ඔහුගේ සිරගත දිවිය බුද්ධිමය මැදිහත්වීමෙන් හා සැළකිලිමත්භාවයෙන්ද, වේදනාව හා කෘතඥභාවය ද, අරලගලය හා නිවැරැදි කර ගැනීම්වලින් ද පිරී පැවතුණු බව පසු කලක ඔහු හෙළි කළේ ය. ඔහු සිරගතව සිටිය දී ලියූ ”‍ප්‍රිසන්ස් ඩයරි ”‍නම් කෘතියේ ”‍ වසන්ත රාත්‍රිය”‍ නම් කවක අවසාන භාගය මෙසේ ය.

ඇතිරිළි රහිත
නිරාවරිත මේ රාත්‍රිය
ගල් ගැහුනු සිරුර
දරා ගත නොහැකිය පාදවලට..
එළියේ
හිමෙන් වැසුණු කෙසෙල් පත් මත
සඳ එළිය දිදුලයි
වලසෙක් හිම මත පැද්දෙයි...
මේ හිම පතනයට පසුව
යහපත් කාලගුණයක් එළඹේ
විශ්වයම මඩ ගසා බසා නැගිටින
මිටියාවතම මලින් ගැවසෙන..
හෙට යහපත් දිනක් එළඹේ
යුක්ති ගරුක භාවයේ චක්‍රය
නැවතීමක් නැතිව කැරකෙන..
සියලූ‍ ම සියොතුන් කූජන නගනු ඇත
සත් වග නැවත උපදින ලෝ දහම ලෙස
දුක කෙළවර සතුට ඉපදෙන. ..

මේ කවියෙන් පෙනෙන්නේ යහපත් හෙටක් පිළබඳ ඔවුන් කැපවුණු අරගලය පිළිබඳහෝචිමින් තුළ වූ අචල විශ්වාසයයි. මො. ල සෙනෙවිරත්නගේ කවි ද, හෝචි මිංගේ කවිවලට සමීපයැයි මට සිතුණේ වරක් දෙකක් නොවේ. මේ අර්ථයෙන් ගත් කළ කවියකුට එහා ගිය කවියෙකි. මෙබඳු මිනිසුන් සිරගත කරන්නේ ඇයි?

දෘශ්ටිමය වශයෙන් ද, භෞතික වශයෙන් ද සෝදාපාලූ‍වට ලක්ව බිඳ වැටීගිය සමාජයක, දිනෙන් දින පිරිහෙන ජන විඥානය අවදි කිරීමට තැත් කිරීම බොහෝ විට මේ සමාව දිය නොහැකි දේශපාලන වැරැද්ද වේ. වෙනත් විදිහකට කියනවානම්, මිනිස්සුන්ට ආදරය කිරීමයි. ඒ සඳහා භාවිත කරන අරගලයේ ක්‍රමවේදය කුමක් වුව ද, අවසාන අරමුණ යහපත් හෙට දිනක් ගැන ඇති අසීමිත බලාපොරොත්තුවයි.

මො. ල. සෙනෙවිරත්න ජනතාව ඉදිරියට එන්නේ, පත්තරකාරයකු ලෙස ය. පත්තරකාරයන් සේවය කරන පත්තර පිටුපස ඇති ප්‍රාග්ධනයට, හැම විටම ධනවත්, බලවත් දේශපාලකයකුගේ සෘජු සම්බන්ධයක් තිබේ. එනිසා, පත්තරවලට අනන්‍ය පක්ෂ දේශපානයක් තිබේ. එහෙත්, මීට පිටින් යමින් මො.ල සෙනෙවිරත්නලා එකළ ජනප්‍රිය මාධ්‍යයක් වූ විකල්ප ධාරාවේ ටැබ්ලොයිඩ් පත්තරවල වැඩ කළහ. එය සැක නැතිවම අභියෝගාත්මක වෘත්තියක් විය. මේ ප්‍රගතිශීලී පත්තර රස්සාවෙන් ලැබුණු සමාජ දැක්ම, ඔහු ගේ කවි පිටුපස දැවැන්ත හෙවනැල්ලක් සේ ඇති බව පෙනේ.

බොහෝ විට සිරගත දිවිය ගැන ඇතුළේ දී හෝ එළියට ඇවිත් ලියන ලේඛන තුළ, පොදු ලක්ෂණයක් තිබේ. බොහොමයක් තමා යෙදී සිටි දේශපාලනය පිළිබඳ කරන පාපොච්ඡාරණ වේ. එහෙත්, මො. ල සෙනෙවිරත්නගේ මේ
කවි තුළ පාපොච්ඡාරණයක ඡායාවකුදු නැත. එපමණක් නොව, ඉදිරියටත් ඔහුගේ ඒ වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳ සහතිකයක් ද මේ කවි පිටු අතර අමුණා ඇති සේ ය. මෙයට හේතුව වන්නේ, ඔහු නියෝජනය කළ දේශපාලන කළාපය පිළිබඳ ඔහුගේ දෘෂ්ටියේ නිරවද්‍යතාව පිළිබඳ ඔහුගේ නොසැළෙන විශ්වාසයයි.

මේ කෘතියේ එන සියලු ම කවි එක ම ධාරණාවක් කරා යොමුවේ. ඒ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් මඟින් ගොඩනගන ලද, ඔහු ජීවත්වන වර්තමානය පිළිබඳ ඇති අභියෝගයයි. ඒ, වර්තමානයේ ජීවත් වන ඔහු ඇතුළු ඔහු නියෝජනය කරන සමාජ පංතියේ ඇති වේදනාවයි. ඔහු මේ කවි සඳහා ප්‍රස්තුත කර ගන්නේ, . මො. ල සෙනෙවිරත්න නියෝජනය කරන මේ සමාජ පංතිය කුමක්ද? පහුගිය දසක කීපය තුළ පහර දී වට්ටනු ලැබූ සහ පරාජයට ලක් කළ සමාජ ජීවිතයේ දී සමාන ප්‍රශ්නවලට මුහුණ දෙන, සාපේක්ෂව එක ම ඉරණමකට මූණ දෙන මිනිස් ප්‍රජාවකටයි.

මේ ඔහුගේ ‘ මල් එක පැහැති‘ නම් කවියේ උපුටා ගත් කොටස් කීපයකි.

සුළඟ හා කැටිව
ඇවිද යන විට
එරබදු ගසක් පාමුල
මලක් මියගොස් තිබිණි

මොහොතකට
ළංව බැලීමි
විසුළ පෙති මත
වෙඩි සලකුණක් විය. ..........

තවත් දිනක
දකුණේ සිට උතුරට
ඇවිද යන විට
සුළඟ සමඟින්
මියැදුන
මැයි මලක්
හමුවුණි
හිස අහිමි තල් ගසක් පාමුල .............
මේ මල්
වෙන වෙනම පිපුණාට
නෙක ජාති ගස් සිරස
එක ම රතු පාට ය
එක ම බිමකට බර දරන

මේ ඔහු නියෝජනය කරන සටන් තීරුවයි. එක ම රටක උතුරු, දකුණු පළාත්වල එක ම ඉරණමකට ගොදුරු වුණත්, මේ මිනිස් ප්‍රජාව තම ගැටලුව හඳුනාගෙන නොමැත. එනිසා ම, තමන්ට තමන්වත් අහිමි වී ඇති බව නොදන්නා මොවුහු, අනෙකාගේ විනාශය ප්‍රාර්ථනා කරති. මේ සමාජයට ‘කවි‘ වැදගත්කමක් ගෙන නොඑන බව ඔහු නොදන්නවා නොවේ. එහෙත්, හඬකට ඉඩ නොදෙන හිරකුටියක් තුළ, දේශපාලනය කළ හැකි එක ම ආකාරය කොළ කෑලිවල සිතුවිලි ලියා තැබීමයි. කවියා මේ නිර්මාණ හරහා මතු කරන උත්ප්‍රාසය දෙස බලන්න. මේ, 'පුණරුත්ථාපනය වීම' නම් කවියේ උපුටාගත් කොටස් කීපයකි.

‘රජතුමනි !
ත්‍රස්තවාදී
මම
පුනරුත්ථාපනය වීමි

නොබලමි
අනුන් දෙස
උන්ගේ දිවි ගැන

නොඅසමි කෙනෙකුගේ දුක
ඉකිබිඳින හඬකට හෝ
නොතබාම ඉඩ
සවන් වසමි ......

මහ රජ
මම ඔබ පැතූ
මිනිසා වෙමි

පුනරුත්ථාපනය කිරීමෙන් ඉල්ලා සිටින්නේ, මෙබඳු දීන මිනිසෙකි. එහෙත්, පුනරුත්ථාපනය නොවී දිගටම සිය ස්ථාවරය දැරීමට, විශාල අධිෂ්ඨානයක් වුවමනා ය. එනම්, තව දුරටත් සියල්ලම අහිමි වූ පසුත්, මිනිසුන්ට ආදරය කිරීමට අප්‍රමාණ ශක්තියක් අවශ්‍ය කෙරේ. එහෙත්, වීරත්වය යනු පාවාදීමට එරෙහිව නැ‍ඟීසිටීම බව කවියාට නිරවුල් සත්‍යයකි.

ජුදාස්
දෙවියන්ගෙ මිත්‍රයා
පාවානොදෙන්න
පනම් තිහකට
ක්‍රිස්තු
මිය යන්නට තිබුණා
සදහටම

ජේසුස් ක්‍රිස්තු නොමියෙන මිනිසකු වන්නේ, ජුදාස්ගේ පාවාදීම තුළ බව මො. ල සෙනෙවිරත්න පවසන්නේ එහෙයිනි. එහෙයින් ම, වීරත්වය යනු ඓතිහාසික සංසිද්ධියකි. එය සමාජය විසින් සමාජය තුළ ඇතිවන ඒකාධිපතිත්වයට, පාදඩකමට, මනුෂ්‍යත්වයට, ජාතිවාදයට, වර්ගවාදයට, ගෝත්‍රවාදයට එරෙහිව මතුවන්නකි. මො. ල සෙනෙවිරත්න මෙසේ ලියයි.

මේ යුගයේ
කැරලිකරුවකු නම්
ඔහු
සිටිනු ඇත්තේ සිරගෙයකය
නැතිනම් මළවුන් අතරය
‘ වඩා ම වැදගත් දෙය ජීවිතය අත නොහැරීමයි. මො. ල සෙනෙවිරත්න සිරගෙය දකින්නේ මෙසේ ය.
‘ජීවිතය ගැන සිහින දකින්න
කදිමය
සිරගෙය
අලුත් වන මිනිසකුට'

මේ කවි සම්මත විචාර දඬු මඟින් විචාරයට ලක් කිරීම පිටි, සීනි වැනි ද්‍රව්‍යය ලීටර්වලින් මැනීම වැනි කටයුත්තකි. එම නිසා, මේ කවි සනීප අලංකාරිකයන්ගේ නිර්මාණ අච්චුවේ දමා බැලීම නිශ්ඵල කටයුත්තකි. ශ්‍රී ලාංකේය කවි අතරට වෙනස්ම හැඩයක, වෙනස් ම පාටක කවි කීපයක් එකතු කළ මො. ල සෙනෙවිරත්නට සුබ පැතුම් එකතු කරමින්, මේ සටහන නිමා කරමි.

-ජයන්ත කහටපිටිය_දිනමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වෙනස්ම හැඩයකින් පබැදුණු කවි එකතුවක්"

    Post a Comment