08 April, 2017

ඉරියව්ව හරිද?


කලාව යනු කුමක්ද? නිර්මාණයක් යනු කුමක්ද? කලාත්මක නිර්මාණයක් යනු කුමක්ද? මේ කිසිදු කාරණයක් වර්තමානයට අවැසි නෙවේ. අවශ්‍යවන්නේ කැපී පෙනීම ය. ජනප්‍රිය වීම ය. තරුවක් වීම ය. මංකොල්ලකාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, සොරෙක් මේ කොයි කවුරුන් හෝ කලිසම් - කෝට් ඇඳගත් පසු මහත්මයෙක් වන පරිසරයක් අප වටා අප වෙනුවෙන් සැකසී ඇත. අප විසින්ම සකසා ගෙන ඇත.

කැමරා ඔබ්ස්ක්‍යුරා සංකල්පයේ සිට ඇරිස්ටෝටල්, අල්හසීන්, ඩාවින්චි, නියැප්ස්, ඩැගියුරේ ආදී දාර්ශනිකයන්ගේ විද්වතුන්ගේ චින්තකයින්ගේ විශ්ලේෂණ - පර්යේෂණ මෙන්ම අත්හදා බැලීම් ආදියේ ප්‍රතිපලයක් ලෙස ලෝකයට බිහිවූ ආලෝකයෙන් ඇඳීමේ ක්‍රමවේදය කලා මාධ්‍යයක් ලෙසින් පිළිගැනීමට සහ එහි නියැළීමට මීට වසර සිය ගණනකට ඉහතදී සිට් උගතුන්, බුද්ධිමතුන් කටයුතු කර තිබුණි.

ආලෝකය සමඟ ගනුදෙනු කරමින් රූපය මූලික කරගෙන සිදුකරන්නා වූ ඒ කාර්යය අපි ඡායාරූපකරණය ලෙසින් හඳුන්වන්නෙමු. එම ක්‍රියාවලිය මැනවින් හදාරමින් විෂය කරුණු නිවැරදිව අවබෝධ කොටගෙන එහි නිරතවන්නේ කවුරුන් ද ඔවුහූ ඡායාරූප ශිල්පීන් වේ.

වර්තමානයේ ඡායාරූප ශිල්පය සහ නිරූපණ ශිල්පය කාසියක දෙපැත්තක් වැනි ය. එහිදී කාන්තා නිරූපණ ශිල්පීන්ගේ දායකත්වය ලබා ගනිමින් පින්තූර ගන්නා අය බොහොමයකි. වර්තමානයේ ඡායාරූපකරණය සඳහා පිවිසීමට බොහොමයක් පුද්ගලයින් යොදා ගන්නා එකම තුරුම්පුව අඩ නිරුවත් කාන්තා පින්තූර ගැනීමට පෙළඹීමයි. එම කටයුත්තට අත-හිත දෙමින් පින්තුරවලට පෙනී සිටීමට කැමති කාන්තාවන් සුලබ වීම ද මෙයට හේතුවකි.

පින්තූරයක් ලබා ගන්නා අවස්ථාවේ දී නිරූපිකාවකගේ වගකීම සහ පින්තූර ගන්න අයගේ වගකීම ඔවුනෙවුන් නොදන්නා බව ලබා ගෙන ඇති පින්තූර දකින විට අවබෝධවන්නේ ය.

නිරූපිකාවන්ට ඡායාරූප ශිල්පය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ද?



වර්තමානයේ බිහි වී සිටින පින්තූර ගන්න පුද්ගලයින් ඡායාරූපකරණය යන විෂය අන්ධයින් සේ අත-පත ගා හැඩය ප්‍රකාශ කරන පිරිසකි. ඒ අවාසනාවන්ත ඉරණම හේතුවෙන් ඔවුන්ගේ කැමරා කාචය ඉදිරියේ අඩ නිරුවත් වන නිරූපිකාවන්ගේ පිළිකුල් සහගත පින්තූර බොහොමයක් අපට නිතර දකින්නට ලැබේ.

පින්තූරයේ සිටින නිරූපිකාව සිටින ඉරියව්ව දෙස පමණක් බලන්න. ඇය මෙවැනි ඉරියව්වකින් සිටීමේ අවශ්‍යතාව කුමක්ද? මෙහි ලාලිත්‍යයක් තිබේද? හිසේ සිට පාද දක්වා අධ්‍යයනය කරන්න. අත-පය විහිදුවා සිටින අයුරු නරඹන අයට චමත්කාරයක්, සිත් ඇදගන්න සුළු බවක් ගෙන එනවාද?

ඉහත කාන්තාව සිටින පින්තූරයේ, කාන්තාවකගේ තිබිය යුතු අලංකාරය පින්තුරයෙන් ඉස්මතු නොවීම නිසා හුදෙක් එය ඇඟ පෙනෙන ලෙස කකුලක් උස්සගෙන සිටින පින්තූරයක් පමණි. පින්තූරය ගන්න අවස්ථාවේදී නිරූපිකාව මෙහෙයවනු ලබන්නේ පින්තූරය ගන්න පුද්ගලයා විසිනි සමහරවිට ඔහු ඡායාරූප ශිල්පියෙක් ද විය හැක. මෙහිදී නිරූපණයේ යෙදෙන කාන්තාව තුළ ඇති වෘත්තීය දක්ෂතාව ද පින්තූරය ගන්න පුද්ගලයා තුළ ඇති විෂය අවබෝධය ද සම අනුපාත වලින් මිශ්‍ර වූ විට අවසාන ප්‍රතිඵලය සාර්ථක වනු ඇත. මෙවැනි පින්තූර මගින් පළමුව අසාධාරණයක් සිදුවන්නේ නිරුපණයේ යෙදෙන ශිල්පිනියට යි. පින්තූරය ගන්න පුද්ගලයාගේ අවශ්‍යතාව ගැන පමණක් නොව නිරුපණය යෙදෙන අය ගැනත් මොහොතක් සිතන්න. යම්කිසි අයෙක් ඔහුගේ කැමරාවේ බොත්තම ඔබන තෙක් නිරුපණයේ යෙදෙන ඔබ නතර වී සිටින ඉරියව්ව මගින් ඔබගේ අවයව විකෘති වී තිබේද? පින්තූරයක් ගන්න අවස්ථාවේදී ඔබව හසුරවන ආකාරය පිළිබඳව විමසිලිමත් වන්න.

පළමුව ඔබ ඔබගෙන්ම අසා දැනගන්න,

පින්තුරයක් ගැනීම තුළින් නිරුපණයේ යෙදෙන ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඔබට අවශ්‍ය වන්නේ,

- පියයුරු උලුප්පව පෙන්වීමට ද ?

- කලවා වල ප්‍රමාණය පෙන්වීමට ද ?

- ඇඳුම් අතරින් පෙනෙන ඔබේ යට ඇඳුම් පෙන්වීමට ද?

- ඔබගේ ඇඟ පෙන්වා ආකර්ෂණයක් ලබා ගැනීමට ද?

- ඔබේ කාමුක බව ඉදිරිපත් කිරීමට ද?

- පින්තූරය ගන්න පුද්ගලයාට අවශ්‍ය දේ කිරීමට ද?

- මොකක් හෝ පින්තුරයක් ලබා ගැනීමට ද?



කකුල් සහ අත් පිහිටා තිබෙන ආකරය දෙස බලන්න, කකුල් පටලවා ගෙන තිබෙන ආකරය දෙස බලන්න



මෙම පින්තුරයෙන් නිරූපිකවට ලබෙන ප්‍රතිලාභය කුමක්ද?



මෙම පින්තූරයෙන් ඉටු වී තිබෙන්නෙ කාගෙ අරමුණ ද? මෙම පින්තුරයට පෙනී සිටිමෙන් බලපොරොත්තු වන්නෙ මොනවද?

අවයව අඹරවමින්, දඟලමින්, අඩ නිරුවත් වෙමින් කැමරාකරු ඉදිරියේ අසරණ වන නිරූපණ ශිල්පිනියන් මෙවැනි පින්තූර ගැනීමට ඉදිරිපත් වීමෙන් බලාපොරොත්තු වන්නේ මොනවද? අනෙක් පසට මෙවැනි පින්තූර ගැනීමෙන් පින්තූරය ගත් පුද්ගලයා අපේක්ෂා කරන්නේ මොනවද? පින්තූරය ගැනීමෙන් ඔබ සැහීමකට පත්වන්නේද?

නිරූපණයේ යෙදෙන ඔබ "ඡායාරූපකරණය" පිලිබඳ අනවබෝධයෙන් සිටින්නකු බව තහවුරු වන විට එයින් ප්‍රයෝජන ලබන්නේ ඔබගේ ශරීර අවයව පින්තූරයක බහා ප්‍රදර්ශනය කරන පුද්ගලයින් විසිනි.

ඔබ පෙනී සිටින පින්තූරයට ඔබට වගකිව හැකිද? ඔබ පෙනී සිටින පින්තූරයේ, ඔබේ ඉරියව්ව ගැන ඔබ තෘප්තිමත්ද? ඔබගේ ශරීර අවයව පිහිටුවීම කොතෙක් දුරට නිවැරදි ද? මෙවැනි ප්‍රශ්න කිහිපයක් ඔබ, ඔබෙන්ම විමසා බලන්න.

ඔබ නිරූපණ ශිල්පය නිවැරදිව උගත්, නිරුපණයේ යෙදෙන කාන්තාවක් නම්, නිවැරදි ඉරියව්වක හිඳිමින්, තම වෘත්තීය නිපුණතාව පමණක් නරඹන්නට ඉඩ හරින්න!!

- roadtoultimatebase-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉරියව්ව හරිද?"

    Post a Comment