ඔහු ගාමින්ද, රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්. ඔහු මා හමුවීමට පැමිණෙන්නේ සිය මවත් සමඟ. මේ ඔහුගේ කතාවයි.
මම මගෙ පවුලේ එකම දරැවා. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ගොඩක් සැරයි. මගෙ අම්මා නම් හරිම අහිංසකයි. පුංචි කාලේ මම ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ඒ නිසාම මම හොඳින් විභාග පාස්වුණා. උපාධියකුත් ගත්තා. දැන් මම විවාහකයි. මට අවුරුදු එකහමාරක පුංචි පුතෙකුත් ඉන්නවා. ඒත් මට මගේ ජීවිතේ හදාගන්න බැරිවුණ එක දුර්වලකමක් තියනවා. මට ඒක හදාගන්න ඕනෑ.
ගාමින්ද එසේ කියමින් මොහොතකට නිහඬ වුණා. ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේ ගාමින්දගේ අම්මා. ඇය පැවසුවේ මෙවැනි දෙයක්.
ගාමින්ද විවාහකයි. එයා පරිපාලන නිලධාරියෙක්. ඒ මොන තැනක හිටියත් මෙයාගේ ලොකු අඩුපාඩුවක් තියනවා. හේතුව මෙයා සතුටුවෙන්න පුරුදුවෙලා ඉන්නේ එයාගේ ලිංගේන්ද්‍රිය නාඳුනන ගැහැණු අයට පෙන්නලා. එයා හැමදාම හොඳට ඇඳගෙන ටයි එකත් දාගෙන වැඩට යනවා කියලා ගෙදරින් යනවා. ඒත් සමහර දවස්වල එයා ඒ ඇඳුම් මාරැකරලා නිකන් ටී ෂර්ට් එකකුයි සරමකුයි ඇඳගෙන බාලිකා විද්‍යාලයක් ළඟට හරි පාළු පාරක් ළඟට හරි ගිහින් වාඩිවෙලා ඉන්නවා. කවුරු හරි ගෑනු කෙනෙක් දැක්කාම එයා එයාගේ ලිංගේන්ද්‍රිය පෙන්නලා එතනින් යන්න යනවා. දැන් දෙසැරයක්ම පොලිසියට අහුවුණා. මෙයාට හොඳටම ගහලා තිබුණා. ඒත් මෙයාගේ යාළුවෙක් තමයි කිව්වේ මේක මානසික ලෙඩක් වෛද්‍යවරයෙකුට පෙන්නන්න කියලා.
ගාමින්දගේ මවගේ කතාවට ඇහුන්කන්දුන් මම යළිත් ගාමින්ද දෙසට යොමුවුණා. ගාමින්දගේ ජීවිතයේ යටගියාවක් සොයා බැලුවා. ගාමින්ද ඒ පිළිබඳව පවසා තිබුණේ මෙවැනි දෙයක්.
මගේ තාත්තා ගොඩක් සැරයි. හරිම නීතිගරැකයි. මම කොපමණ හොඳට අධ්‍යාපන කටයුතු කරගෙන ගියත් පොඩ්ඩ බැරි වෙද්දි බනිනවා. පුංචි වැරැද්දටත් මට ගහනවා. මට මතකයි මම සෑහෙන්න ලොකු වෙනකල් ඔහු මට දඬුවම් කළා. මාව කාමරයකට දාලා නිරුවත් කරලා වේවැලකින් පහර දුන්නා. ඒ හැම වෙලාවකම මට ලොකු වේදනාවක් දැනුනා. ඒ වගේම ලිංගික උත්තේජනයකුත් ලැබුවා. ඒ නිසා තාත්තා මට දඬුවම් කරන හැම වෙලාවකම මම වේදනාව ඉවසාගත්තේ ඉන් ලැබුණ ලිංගික උත්තේජනය නිසා.
දැන් මට අවුරුදු 28යි. මං මගේ බිරිඳත් එක්ක සතුටුවෙනවට වැඩිය ලොකු ආශ්වාදයක් මගේ ලිංගේන්ද්‍රිය තවත් නාඳුනන කාන්තාවකට පෙන්වීමෙන් ලබනවා. එය මං කරන්න පටන් ගත්තේ අවුරුදු 18 දී. මම සතුටුවෙන්නේ තවත් කෙනෙකුගේ මනසට පීඩාවක් දීලා. මම දන්නවා ඒක වැරදි දෙයක් කියලා. මට ඒකෙන් මිදෙන්න ඕන.
මේ වගේ තත්ත්ව තියෙන පුද්ගලයෙකු අසාමාන්‍ය ලිංගික චර්යා සහිත පුද්ගලයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙය මනෝවෛද්‍ය විද්‍යාවට අනුව අසනීපයක් ලෙසයි සලකන්නේ. මෙවැනි අසනීප රාශියක් තියෙනවා. උදාහරණයක් විදියට පීඩොපිලියා (Pedophilia) දරුවන්ට ලිංගික අතවර කිරීමට ඇති කැමැත්ත, ප‍්‍රදර්ශනකාමය (Exhibitionism) ලිංගික අවයව ප‍්‍රදර්ශනය කිරීමට ඇති ආශාව, දර්ශාස්වාදය (Voyeurism) හොරෙන් බැලීමට ඇති ආශාව, පරපීඩාකාමය (Sadism) වේදනාවක් දීලා ලිංගික ආශ්වාදයක් ලැබීමට ඇති ආශාව වැනි රෝග පෙන්වා දෙන්න පුළුවන්. මේ රෝග සහිත පුද්ගලයන්ගෙන් ඔවුන්ටම හෝ වෙනත් අයට පීඩාකාරී තත්ත්වයන් උදාවිය හැකියි. සමහර අවස්ථාවලදී උසාවියක නඩු පවරලා දඬුවම් කළ හැකි අවස්ථා තියෙනවා.
අද කතාකරන්නේ ප‍්‍රදර්ශනකාමය කියන මානසික රෝගය පිළිබඳවයි. මෙවැනි අය ප‍්‍රසිද්ධ ස්ථානයකට ගිහිල්ලා ලිංගික අවයව ප‍්‍රදර්ශනය කරලා සතුටුවීමට ක‍්‍රියාකරනවා. ඒ සඳහා බස්හෝල්ට් එකක්, නැතිනම් පාසලක්, චිත‍්‍රපටිශාලාවක් වැනි ස්ථාන තෝරා ගන්නවා. මේ රෝගයට ගොදුරුවීමේ ප‍්‍රවණතාව වැඩියෙන් තියෙන්නේ පිරිමි පාර්ශ්වයට. මේ තත්ත්වය ෆැන්ටසි එකක් නැතිනම් සිහින ලෝකයක් ලෙසයි මේ රෝගීන් දකින්නේ. ඔවුන් ඉන් ලොකු තෘප්තියක් ලබනවා. මෙවැනි ඇය ලිංගික අතවර කිරීම්වලට යන්නේ නැහැ. මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතු රාශියක් තියෙනවා. දරුවකු පුංචි කාලයේ ලිංගික අපයෝජනයට ලක්වීම එක් හේතුවක් වෙනවා. ඒ වගේම අසාමාන්‍ය ලිංගික උත්තේජක වලට දරුවා ලක්කිරීම තවත් හේතුවක්. මා හමුවීමට පැමිණි මේ පුද්ගලයාත් පුංචි කාලයේ තාත්තා පහරදෙනවිට ලබන ශාරීරික වේදනාවට අමතරව අපූරු ලිංගික උත්තේජනයකුත් ලබලා තියෙනවා. මේ වගේ සිදුවීම් වගේම දරැවකු අනවශ්‍ය ලෙස අතපතගෑම්වලින් ද මෙය සිදුවිය හැකියි. ඒ වගේම දරුවන්ට නුසුදුසු චිත‍්‍රපටි පෙන්වීමත් ඉන් ඔවුන් අසාමාන්‍ය ලිංගික උත්තේජනයක් ලැබීමත් මීට හේතු විය හැකියි.
මෙවැනි හේතු දෙස බලනවිට පුංචි කාලේ සිටම දරුවෙකුට නිවැරදි ආරක්ෂාව, ආදරය ලබාදීම ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන්න පුළුවන්. ඒ වගේම මෙවැනි රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී නිවැරදි ක‍්‍රම භාවිත කළ යුතුයි. හේතුව ඔවුන් මානසික ආතතියකින් පෙළීම. ඒ සඳහා ඖෂධ ප‍්‍රතිකාර කළ යුතුයි. ඒ වගේම මනෝ චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයක් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා ඔහුගේ මනස විවෘත කළ යුතුයි. එනම් මෙවැනි දේ නිසා සිදුවිය හැකි වාසි මොනවාද, අවාසි මොනවාද කියා විවෘතව සාකච්ඡා කළ යුතුයි. එනම් එවැනි දේ නිසා ඔහුට පවුලෙන් ලැබෙන පිළිගැනීම, ඔහුගේ රුකියා ස්ථානයෙන් ලැබෙන පිළිගැනීම, සමාජය ඔහු හඳුන්වන ආකාරය ආදිය පිළිබඳ දැනුවත් කළ යුතුයි. (බුද්ධිමය අවදි කිරීම - Inside Oriented Therapy) මීට අමතරව පවුලේ අය දැනුවත් කිරීමත් වැදගත්. හේතුව පවුලේ අය මෙවැන්නන් කොන්කර අපහාස කළහොත් තවදුරටත් මේ තත්ත්වය වැඩි විය හැකියි. ඒ නිසා ඔවුන්ටත් මෙවැනි පුද්ගලයන් සමඟ කොහොමද ඉන්නේ කියලා අවබෝධ කරවීමට මනෝ උපදේශනය කි‍්‍රයාත්මක කළ යුතුයි. මේ සියලු දේ වගේම වෛද්‍යවරයා සමඟ කාලයක් සම්බන්ධතා පවත්වාගෙන යාම හා නිවැරදිව උපදේශනයට යොමු කිරීම තුළින් මෙවැන්නන් එවැනි දේ වලින් මුදා ගත හැකියි. (දේශය)
Share this
|
|
0 Comment to "පෙන්වා සතුටුවීම"
Post a Comment