19 July, 2017

මයිකල් ජැක්සන්ගේ දියණිය සියලු රහස් හෙළි කිරීමට සැරසෙයි

Paris Jackson - 03

‘පැරිස් ජැක්සන්’ යන නම ඇසෙද්දී එක් වර එ් කවුදැයි සිතාගන්නට ඇතැමෙතුට අපහසු වන්නට ඇත. නමුත් ඇගේ ‘පැරිස් මයිකල් කැතරින් ජැක්සන්’ වන දීර්ඝ නමත්, මෙහි ඇති ඡායාරූපත් දැකීමෙන්, මේ විස්තරය කියවන්නට කලින්ම බොහෝ දෙනෙකුට මේ කවුරුන් ගැන පවසන්නේ ද යන නිගමනයක් ඇති කරගන්නට හැකි වනු ඇත.

සැබැවින්ම මේ කතා කරන්නේ කලකට පෙර පොප් ලෝකය දෙවනත් කළ, තවමත් ලොව පුරා සංගීත රසිකයන්ගේ හදවත්වල ජීවත්වන සුප‍්‍රකට ඇමරිකානු ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය පිළිබඳවය. 1998 අපේ‍්‍රල් 3 වැනිදා ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස්වල උපන් ඇය මේ වන විට 19 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ප‍්‍රින්ස් ජැක්සන් සහ ප‍්‍රින්ස් මයිකල් ‘බ්ලැන්කට්’ ජැක්සන් නමින් සහෝදරයන් දෙදෙනෙකු සිටිති.

ඇයත්, මයිකලූත්, මයිකල්ගේ අම්මාත් සිය මවුවරුන්ගේ කුසට පිළිසිඳගෙන ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර දී බැවින් මේ මතකය සමරන්නට ‘පැරිස්’ යන නම සිය දියණියට තබන්නට මයිකල් තීරණය කළ බව පැවසේ. පැරිස්ගේ මව වන ඩෙබී රෝව් ජනප‍්‍රිය චරිතයක් නොවේ. ඇය හුදෙක් හෙදියක් පමණක් වන අතර ඇය පිළිබඳ ලෝකයා දැනගත්තේ මයිකල් ජැක්සන් හා විවාහ වීමෙන් පසු පමණි. කලින් විවාහයකින් වෙන්ව සිටි ඇයට මයිකල් ජැක්සන් සමග ද වසර තුනකට වඩා වැඩි කාලයක් දීග කන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

මෑතක් වන තුරුම පැරිස් ජැක්සන් පිළිබඳව ලෝකයේ තරම් අවධානයක් යොමුව නොතිබුණත්, මෑතකදී ‘රෝලිං ස්ටෝන්ස්’ නම් සඟරාව ඔස්සේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා ඇය පිළිබඳ එක්වර ලෝකයේ දැඩි අවධානයකට යොමු විය.

ඇය පිළිබඳ වරින් වර දැනගන්නට ලැබුණු ඇතැම් කටකතාවලදී කියවුණේ ඇය මයිකල්ගේ සුජාත දියණියක් නොවන බවය. මෙයින් මහත් සිත් තැවුලකට පත්ව සිට පැරිස් පවසා සිටියේ තමා මයිකල් ජැක්සන්ගේ සුජාත මෙන්ම එකම දියණිය ද වන බවය.

”මට අනෙක් ළමයින්ට වගේ යාළුවෝ ගොඩක් පිරිවරාගෙන ඉන්න ලැබුණේ නැහැ. මමත්, තාත්තත්, සහෝදරයිනුත් එක්ක මම හැදුණේ වැඩුණේ තාත්තගේ නෙවර්ලෑන්ඞ් නිවසේ.”

ඇය අතීතය එසේ සිහිපත් කරන්නීය. ඇගේ මව වන ඩෙබීගෙන් මයිකල් නීතියෙන් වෙන් වූ පසු දරුවන්ගේ හිමිකාරිත්වය ලබා ගත්තේ මයිකල් ය. එම තීරණයට ඩෙබී ද කැමැත්තක් දැක්වූ බව පැවසේ. මේ නිසා ඔවුන්ට සෙසු ලෝකය සමග සම්බන්ධ නොවී එම නිවසේ හැදී වැඩෙන්නට සිදු විය.

ඇය 14 හැවිරිදි වියේදී කිසිදා දැක නැති ආගන්තුක පුද්ගලයකු අතින් දුෂණයට ලක් වූ බවත් එයින් ඇති වූ මානසික වියවුලත්, මත්ද්‍රව්‍යවලට වූ දැඩි ඇබ්බැහි වීම නිසා කාලයක් ජීවිතය ගෙන යන්නට මහත් අරගලයක් සිදු කළ බවත් ඇය පවසා ඇත.

”එ් ලිංගික හිංසාව ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. කොහොම වුණත් එ්ක හො`ද අත්දැකීමක් නම් නොවෙයි. මට එ්ක දරාගන්න පුළුවන් වුණේ නැහැ. මම එ්ක එ් කාලේ කාටවත් කිව්වෙත් නැහැ.”
මේ සමයේ තම ජීවිතය මහත් සේ විඳවූ බව ඇය පවසයි. පියාගේ මරණයෙන් පසු කීප වතාවක් දිවි නසාගැනීමට ද උත්සාහ කළ ඇය ඇතැම් අවස්ථාවල දී අතපය තියුණු ආයුධවලින් කපා ගත් අවස්ථාවන් ද තිබූ බැව් පවසා සිටියාය. මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වුවත්, තමාගේ ඇති වටිනාකමක් නැති බව දිගින් දිගටම ඇයට සිතෙන්නට වීම නිසාත්, තමා ගැන කිසිදු අභිමානයක් නොමැති වීමත් නිසා තමාටම වද හිංසා කරගන්නට ඇය පුරුදුව සිටියාය.

ඇය මේ සාකච්ඡාවේ දී තරයේම පැවසූයේ තම පියා මිය ගියා නොව මරා දැමුවාය කියාය. මයිකල් ජැක්සන් මිය යන මොහොතේ ළඟින් සිටි වෛද්‍ය කොන්රාඞ් මරේ, නිර්වින්ද ඖෂධ මගින් තම පියා මරා දැමූ බව පැරිස් චෝදනා කළාය.

ජැක්සන් පවුලේ තවත් හෙළිදරව් නොවූ රහස් බොහොමයක්ම තිබෙන බවත් තමා ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන්නට අපේක්ෂාවෙන් සිටින පොත තුළින් මේ සියල්ල හෙළිකරන බවත් ඇය පවසන්නීය. පැරිස්ගේ මුත්තණුවන් සහ මිත්තණිය ද මෙම රහස් හෙළිකිරීම සම්බන්ධව දරන්නේ කැමැත්තක් බවත් ඇය පවසන්නීය. ඇගේ මේ තීරණය පිළිබඳ ඇතැමුන් පවසන්නේ එය ඇගේ නිර්භීත ක‍්‍රියාවක් ලෙසය. කෙසේ වෙතත් ඇතැමකු පවසන්නේ මෙය ඇතැම් විට ඇගේ අඥාන තීරණයක් ද විය හැකි බවය.

මයිකල් ජැක්සන් එක්තරා ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් පසුව මුහුණේ අඩක් වසා ගෙන සිටිනු සුලභ දසුනක් විය. ඔහු සිය දරුවන් ද එසේ සිටිනු කැමැත්තක් දැක්වූ බව පැරිස් පවසයි. දරුවන් සියලූ දෙනා එසේ මූණ වසාගෙන සිටින ඡායාරූප රැසක්ම පවතින බවත් සිය පියා එයින් බලාපොරොත්තු වූයේ කුමක් ද යන්න අදට පවා වටහා ගත නොහැකි බවත් ඇය පවසන්නීය.

සිය පියා සුප‍්‍රකට පොප් ගායකයකු වුවත්, ජැක්සන් පවුලේ තවත් බොහෝ දෙනෙක් ගායනට ප‍්‍රසිද්ධියක් ඉසිලූවත් පැරිස් මේ සියල්ලටම වඩා වෙනස් මගක් සිය වෘත්තිය ලෙස තෝරාගෙන තිබේ. ඇය නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නේ තමා මෝස්තර නිරූපිකාවක බවය.

ඇය ග‍්‍රැමි සම්මාන උළෙල සඳහා සහභාගී වූ අවස්ථාවේ දී ඇගේ සුරූපී ස්වරූපය දුටු බොහෝ දෙනෙක් පවසා තිබුණේ මෝස්තර නිරූපණයට පමණක් නොව ඇය රංගනයට ද වඩාත් සුදුසු බවය. ඇය එයට ද පිළිතුරක් දෙමින් මේ වන එක් චිත‍්‍රටයකට රංගනයෙන් දායක වී තිබේ. ‘ගින්ජෝ’ නම් වන එය 2018 වසරේ මාර්තු මාසයේ තිරගත වන්නට නියමිතය.

තමා ද කළු සමක් ඇත්තියක යැයි සිතන්නට කැමැති බව පැරිස් නිතර පවසයි.
”මයිකල් ජැක්සන් කියන්නේ කළු සමක් තිබුණු කෙනෙක්. ඔහු මගේ තාත්තා. හැමදාටමත් මගේ තාත්තා. ඔහුව හොඳින් දන්නා අය කියන දෙයක් තමයි මා තුළින් ඔහුව පෙනෙන බව.”

පච්ච කොටා ගැනීමේ උන්මාදයකින් පෙළෙන පැරිස් බාල වයස් සමයේ සිටම පුරුද්දක් ලෙස නිතර පච්චා කොටා ගෙන තිබේ. මේ වන විට පච්චා 50ක් පමණ කොටා ගෙන සිටින ඇය එ් අතුරින් නවයක් වෙන් කොට ඇත්තේ සිය පියා වෙනුවෙනි. ඇය සිය පියා වෙනුවෙන් පසුගිය ජූනි මාසයේ දී සිය වම් පාදයේ තවත් අලූත් පච්චයක් කොටා ගත්තාය.

එ් ‘ඇපල්හෙඞ්’ නම් වචනයයි. ඇය එය ජූනි 23 වැනිදා සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුව ඔස්සේ පවසා තිබිණි. පැරිස් ඇතුළු, මයිකල්ට ඉතා සමීප සියලූ දෙනා ආදරයෙන් ඇමතීම සඳහා ඔහු ‘ඇපල්හෙඞ්’ යන්න පවසන්නට පුරුදුව සිටි බැවින් ඇය සිය පියා සිහිවනු වස් එය තෝරා ගෙන තිබේ. මයිකල් එසේ සිය හිතවතුන් ඇමතීමෙන් බලාපොරොත්තු වූයේ ආදරණීය හැඟීමකි. සිය රසිකයන් ද තමාව එසේ අමතනු අසන්නට ඔහු කැමැත්තෙන් පසුවූ බව පැවසේ. එම පච්චය ඉන්ස්ටර්ග‍්‍රෑම්වලින් ප‍්‍රචාරය කරමින් ඇය මෙසේ පවසා තිබිණි.

” මා තබන සෑම පියවරකදීම ඔබ මාගේ පා ඔසවා ඉදිරියට යාමට මට මග පෙන්වයි. ඔබට ආදරෙයි.”

Paris Jackson - Tattoo
Paris Jackson - 02
paris-jackson
නිරංජන් චාමින්ද කරුණාතිලක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මයිකල් ජැක්සන්ගේ දියණිය සියලු රහස් හෙළි කිරීමට සැරසෙයි"

    Post a Comment