18 July, 2017

දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති

Dickwella - Asela - Test

අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න දෙදෙනා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු හතරක විශිෂ්ට ජයක් කරා ග්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

සිම්බාබ්වේ පිල හමුවේ ලකුණු 388 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද (18 වැනිදා) කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.

වසර 140 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී හඹා යමින් සාර්ථකව ළඟාවූ ඉහළම ඉලක්ක අතරේ පස්වැනි තැන මෙම ලකුණු 388 ඉලක්කය ස්ථානගතව තිබේ.

ශ්‍රී ලංකා පිල මහත් බලාපොරොත්තු තබා සිටි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම දිවා ආහාරයට පෙර දැවී යාමෙන් පස්වැනි කඩුල්ලත් ලකුණු 203 දී බිඳ වැටිණ. එහෙත් එතැන් සිට එක්වූ දික්වැල්ල සහ අසේල ගුණරත්න දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ.

නිරන්තරයෙන් ලකුණු ලබාගනිමින් සිටි ‘රිවර්ස් ස්වීප්’ පහරක් වැරදී යාම හේතුවෙන් දික්වැල්ල ලකුණු 81 කට දැවී ගියද අසේලට එක්වූ ඩිල්රුවන් පෙරේරා තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යැවූ ඩිල්රුවන් සහ අසේල ගුණරත්න අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 57 ක් වෙද්දී ගුණරත්නගේ පැය තුනහමාරක ඉනිමට හතරේ පහර හයක් ඇතුළත් වී තිබිණ.

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 237 ක් ව තිබියදී සිකන්දර් රාසාගේ පන්දුවකින් නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමකට හසුවීමට ගියද ඔහු නූලෙන් බේරුණේය. ඒ වන විට ලකුණු 37 ක් පමණක් ලබා සිටි වමත් පිතිකරුවා ‘ස්වීප්’ පහර සහ ‘රිවර්ස් ස්වීප්’ පහරත් පුල් පහරත් වැඩි වශයෙන් යොදාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීමේ සටන ගෙන ගිය පෙරමුණේ රාළ විය.

පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින අසේල ගුණරත්න ප්‍රවේසමෙන් පන්දුවට පහර දෙමින් සිටියදී නොබියව තම පහර කරා ගිය දික්වැල්ල පන්දු 86 කින් සිය තුන්වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඊට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. තරමක් කලබලකාරී පිතිකරුවකු ලෙසින් හැඳින්වෙන නමුත් මෙම ඉනිම තුළින් දික්වැල්ල විද්‍යමාන කළේ අතිශය දැඩි පීඩනයක් පවතින තත්ත්වයකදී වුවද තමන්ගේ පහර කරා යාමට ඔහුට ඇති හැකියාවයි.

උඩපන්දුවක් ගිළිහී ගියද දික්වැල්ල එයින් සසළ නොවීය. දික්වැල්ල ලකුණු 63 ක් ලබා සිටියදී ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි රෙගීස් චකබ්වාට ලැබුණු උඩපන්දුව ගිළිහී ගිය අවස්ථාවේදී ක්‍රිකට් විස්තර විචාරකයන් විමසා සිටියේ ‘චකබ්වා තරගයේ ජයග්‍රහණය අතහැරියේද? ’යන්නයි. ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහහණයට ලකුණු 102 ක් පසුපසින් සිටියේය. නොසැළුණු දික්වැල්ල දිගටම තම ගමන ගියේය.
තරගයේ අද දිනය සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න ඊයේ සවස කී දේ එලෙසින්ම සිදුවෙමින් තිබිණ.

“තණතීරුව කඩතොලු වෙලා තියෙන තැන්වලින් ඔවුන්ට විශාල සහයෝගයක් ලැබෙනවා. ක්‍රීමර් පන්දු යවන්නේම ඒ තැන්වලට. ඒත් එයා හැරෙන්න අනෙක් පන්දු යවන්නන්ගෙන් අපට ඒ තරම් තර්ජනයක් එල්ල වේවි කියලා මා හිතන්නේ නෑ”

“ෂෝන් විලියම්ස්ගෙන් වුණත් ඒ තරම් තර්ජනයක් නෑ. මොකද මා දැවී ගිය පන්දුව හැරෙන්නට අනෙක් සෑම වෙලාවකම මට අවශ්‍ය තනි ලකුණ නිතරම තිබුණා” යයි ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කී දිමුත් කරුණාරත්න..“ඉඳහිට පන්දුවක් තියුණු ලෙස දඟ කැවේවි. ඒත් ක්‍රීමර් නම් භයානකයි. එයා හොඳින් පන්දු යවනවා” යයිද පැවසීය.

ක්‍රීමර් සහ විලියම්ස් දෙදෙනාම පන්දු යැවූයේ පිතිකරුවන් ‘ස්වීප්’ පහරට සහ ‘රිවර්ස් ස්වීප්’ පහරට පොළඹවමිනි. අද පෙරවරුවේ සිටම ක්‍රීමර් සහ විලියම්ස් දෙදෙනා විසින් යවන ලද ඕවර සංඛ්‍යාව 56.5 කි. දෙවැනි ඉනිම පුරාම සිම්බාබ්වේ ක්‍රීඩකයන් විසින් යවන ලද ඕවර 114.5 න් ඔවුන් දෙදෙනාගේ දායකත්වය ඕවර 91.5 කි.

අද පෙරවරුවේදී කඩුලු 7 ක් අතැතිව ගමන ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකා පිලට තිබූ සැනසීම විනාඩි 15 කින් නිමා විය. පිට ඉන්න එල්ලයේ වැටුණු ග්‍රේම් ක්‍රීමර්ගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස්ගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව ඉහළ යාමෙන් ෂෝන් විලියම්ස්ට පහසු උඩපන්දුවක් ලැබිණ. එයින් ලකුණු 25 කට පසුව දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුම පිතිකරුවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අතුරින් සිව්වැනි ඉනිමේදී වඩාත්ම සාර්ථක පිතිකරුවාය. ටෙස්ට් තරග වල සිවුවැනි ඉනිම වලදී ලකුණු 62.54 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස් දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායම සසළ කළ සිදුවීමක් වුවත් අසේල සහ දික්වැල්ල එක්ව තත්ත්වය වෙනස් කළහ.

දිමුත් කරුණාරත්න කී ආකාරයෙන්ම ‘ස්වීප්’ පහර සහ ‘රිවර්ස් ස්වීප්’ පහර උපාය ලෙසින් යොදාගත් දික්වැල්ල මෙන්ම අසේල ගුණරත්න එයින් මහඟු ප්‍රතිඵල ලබාගත්හ. 

SL - ZIM 4rth Test - 2017-07-18-23-01-49

(kelimandala)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති"

    Post a Comment