18 July, 2017

විවාහය එන වසරේ - තිසුරි

Thisuri Yunika

කුඩා කල සිටම රංගනයට පිවිස සිය රංගන ප‍්‍රතිභාවන් එළිදක්වමින් ලාංකීය කලා ක්ෂේත‍්‍රය වර්ණවත් කරන දක්ෂ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස තිසුරි යුවනිකා හැඳින්විය හැකිය.

තම මවගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත‍්‍රයේ නමක් දිනා ගත් ඇය කුඩා කලම සම්මානයන්ට පවා පාත‍්‍ර වූයේ පෑ විශිෂ්ට රංගන කුසලතාවන් හේතුවෙන්මයි.

මේ දවස්වල රංගන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?

මේ දවස්වල සී රජ සහ සියපත් අරණ නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව අලූත් නාට්‍ය දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒවයේ රූගත කිරීම් ඉදිරියේදී සිදුවෙයි.

තිසුරිට ගොඩක්ම ලැබෙන්නේ පෙම්වතියගෙ චරිතයනෙ. ඊට වෙනස් චරිතවලින් ඉදිරියට දැක බලා ගන්න හැකි වෙයිද?

”ධර්ම යුද්ධය”. එහි පෙම්වතියගෙන් මිදිලා දියණියක් විදියට තමයි චරිතයට පණ පොවන්නේ.

මේ කතාව ගැන ටිකක් කතා කරමුද?

මේ කතාව අපේ රටට මේ කාලෙට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මේ පවුල කියන දේ වටා ගෙතුනු කතාවක්. අද සමාජයේ ළමයින් වැරදි දේවල්වලට පෙළඹෙන්නෙත් අම්මා තාත්තා ඒ පවුල කියන දේ හරියට නැති වුණොත්. එහිදී තමයි දරුවො වෙන වෙන දේවල් හොයාගෙන යන්නේ. වෙන වෙන තැන්වලින් ආදරය රැකවරණය බලාපොරොත්තු වෙන්නේ. ළමයි ඉගෙන ගන්න කාලෙ ළමා කාලෙදි අම්මා තාත්තා කියන අඩිතාලම ශක්තිමත් නම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නැ. ඒ සියල්ල මේ චිත‍්‍රපටයෙ ලස්සනට ඉදිරිපත් කරනවා.

තිසුරිව මේ සඳහා සම්බන්ධ කර ගත්තේ කවුද?

මට කතා කළේ මහරාජා ආයතනයෙන්. එහි කාර්ය මණ්ඩලයේ පිරිස මගෙත් එක්ක මගේ චරිතය ගැන කතා කළා. ඉතින් ඇත්තටම මට මේ කතාවටත් චරිතයටත් ගොඩක් ආසා හිතුණා. මට යම් යම් චිත‍්‍රපටවලට ආරාධනා ලැබුණත් මම හැම වෙලාවෙම මට කරන්න පුළුවන් චරිතය නම් විතරයි භාර ගන්නේ. ඉතින් මේ අචිනි කියන චරිතයට ගොඩක් ආස හිතුණා. ඒ නිසා කැමැත්තෙන්ම භාර ගත්තා.

තිසුරි පුංචි කාලෙ ඉඳන්මනෙ මේ ක්ෂේත‍්‍රයෙ රැුඳිලා ඉන්නේ? දීර්ඝ කාලයක් ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්න අමාරුයි නේද?

ඔව්. ඇත්තටම මම අවුරුදු 4 ඉඳන් මේ ක්ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්නේ. මම බොහොම හිමින් ගමනක් ගියපු කෙනෙක්. එක පාර බැලූන් බෝල උඩ යනවා වගේ එක පාර ආවෙ නෑ.

මුලින්ම මම ළමා චරිත කළා. ළමා නාට්‍ය කළා. නමුත් මම අධ්‍යාපනයට මූලිකත්වය දීලා ධරැුඛල ්රැුඛ කාලේ රංගනය නැවැත්තුවා. මම චරිත පස්සේ ගියෙත් නෑ. මට හොඳ චරිතයක් ලැබුණොත් විවේක කාලයක් ද ඒ සඳහා සම්බන්ධ වුණා. එතැනින් පසුව පාසල් ගමන අවසන් වුණාට පසුව මට ආරාධනා ලැබුණා පෙම්වතියගෙ චරිතයට. ඊට කලින් පවා ආරාධනා ලැබුණා, ඒත් මම භාර ගත්තේ නෑ. මම හැමදාම උත්සාහ කළේ මට ලැබෙන චරිතෙට උපරිම සාධාරණයක් කරන්න. ඒක ප‍්‍රධාන චරිතයක් ද උපප‍්‍රධාන චරිතයක් ද කියලා බලන්නේ නෑ. මම හිතනවා ඒ හැමදේම එක්ක තමයි ක්ෂේත‍්‍රයේ බොහෝ කලක් රැුඳිල ඉන්න පුළුවන් වෙන්නේ. නමුත් ක්ෂේත‍්‍රයෙ කෙනෙක් හිටපු තැනට තව කෙනෙක් එනවා. තව කෙනෙක් හිටපු තැනට මම යනවා. ඒක ස්වභාවිකයි. ඒත් අපිට විවිධ චරිත කරන්න බැරි නෑ. ඉතින් මම ක්ෂේත‍්‍රයෙන් අයින් වුණොත් ඇරෙන්න දෙවියනේ කියලා මට දැනටත් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඒවගේ අඩුවක් නෑ.

මේ හැමදේටම අම්මාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම අම්මයි, තාත්තයි නිසා තමයි මම මේ තරම් දුර ගමනක් ආවෙ. ඉතින් හැමදාමත් ලොකු හෙවණැල්ලක් වගේ මාත් එක්ක ඉන්නවා. තිසුරි යුවනිකා කියලා නමක් මම අද හදාගෙන ඉන්නේ, මට හැමෝම ආදයර කරන්නේ ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය රැුකවරණය ඔස්සේ මේ ගමන ආපු නිසා.

දැන් විවාහ වෙන්නත් සුදුසු කාලය නේද?

විවාහය ලබන අවුරුද්දේ වගේ සිද්ද වෙයි.

ඒ කියන්නේ දැන් පෙම්වතියක්?

ඔව් ඔව්.

විවාහයත් එක්ක රංගන ජීවිතයෙන් ඉවත් වෙන්න වෙයිද?

නෑ. මම රංගනයෙන් නම් ඉවත් වෙන්නේ නෑ. මම අදට වුණත් හොඳ නිර්මාණ ලැබුණොත් විතරයි භාර ගන්නේ. විවාහයෙන් පස්සේ වුණත් මම කැමති නිර්මාණයක් චරිතයක් ලැබුණොත් විතරක් කරනවා.

එතකොට අම්මලාගෙන් වෙන් වෙලා වෙනම ජීවිතයක් ගත කරන්න වෙද්දි ඒ අභියෝගය කොහොමද භාර ගන්නේ? තිසුරිට උයන පිහන වැඩ පුළුවන්ද?

අපේ අම්මා කොහොමත් මාව සීනි බෝලයක් වගේ හදලා නෑ. මට හොඳට උයන ඒවා ගෙවල් අස් කරන වැඩ හැමදේම පුළුවන්. ඒත් රූගත කිරීම්වලට යද්දි එහෙම ඒවා කෙරෙන්නේ නෑ. නමුත් අම්මා වුණත් කියන්නේ ගෙදර ඉන්න කාලේ නිදහසේ ඉන්න. ඊට පස්සේ ඒ නිදහස ලැබෙන්නේ නෑ කියලා. නමුත් මට හැමදේම උගන්වල තියෙන්නේ. මම ගෙදර ඉන්න දවසට අම්මට උයන්න උදව් වෙනවා. භාජන හෝදන ඒවා පවා කරනවා. ඒ නිසා බයක් නෑ. ඒත් ඉතින් තනියම කරගන්න අමාරුයි. මොකද හැම දේකදිම අම්මා පස්සෙන්ම හිටියනෙ. තනියෙන් ජීවිතයක් පටන් ගන්නවා කියන එක අසීරු දෙයක්. ඒත් එහෙම ජීවිතයකටත් හුරුවෙන්න ඕනෑනෙ.

උයන ඒවා කන්න පුළුවන්ද?

මට නම් කන්න පුළුවන්. ඒත් මම උයන ඒවා කන්න දෙන අයගෙන් තමයි දැන ගන්න වෙන්නේ හරියටම කන්න පුළුවන්ද කියලා.

තිසුරි මේ වෙද්දි කී වතාවක් සම්මානයට පාත‍්‍ර වෙලා තියෙනවද?

මට මුල්ම සම්මානය ලැබුණෙ 2010 දී. ඒ ජනාධිපති කුසලතා සම්මානයක්. උඩුගම්යායේ චිත‍්‍රපටයට. එතැනින් පසුව ඇහි පිල්ලමක් කියන ටෙලි නාට්‍යයට කුසලතා සම්මානයක් ලැබුණා. පසුව නැගී එන නිළිය සුමති සම්මාන උළෙලෙදී ලැබුණා. එතැනින් පසුව හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණා රාජ්‍ය සම්මාන උළෙලෙ සහ සුමති සම්මාන උළෙලෙදි. ඒ 2014 සහ 2015 වර්ෂවල. ඒ බොරළු පාර සහ සුළඟ මත මොහොතක් යන ටෙලිනාට්‍යවලින්.

ලංකාවේ සම්මාන උළෙලවල් ගැන මොකද හිතෙන්නෙ?

මම ඇත්තටම සම්මාන බලාගෙන රඟපාලා නෑ. මොකද අපේ රටේ සම්මාන දෙන විදියෙ පිළිවෙළේ පොඩි වෙනසක් තියෙනවා. අපි හොඳ නිර්මාණයක් කළාමත් ඒ වෙනුවෙන් සම්මාන ලබා දීමේදී වුණත් කියන්නෙ ඔයාට තව කල් තියෙනවනෙ, ප‍්‍රවීණයෙක් හිටියොත් එයාට සම්මාන දෙන්න ඕනැනෙ කියන කතාව. ඒවගෙ දෙයක් මේ සම්මාන උළෙලවල්වල තිබිලා තියෙනවා. මටම ඇවිල්ලා කියලා තියෙනවා ඔයාට තව කල් තියෙනවනෙ කියලා. ඒව හරි මෝඩ අදහසක්. ඉතින් සම්මාන ගන්න තව වයස තියෙනවා, කල් තියෙනවා කියන මතය බිඳලා මට සම්මාන උළෙලවල් දෙකකදී හොඳම නිළිය සම්මානය ලැබුණා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ඒ නාට්‍ය දෙකට මම ගොඩක් මහන්සි වුණා. අපිට තව කල් තියෙන්න පුළුවන්. ඒත් ආයෙත් ඒ වගේ හොඳ චරිත නොලැබෙන්නත් පුළුවන්.

හීනයක් තිබුණාද කවදා හරි හොඳම නිළිය වෙන්න?

අනිවාර්යයෙන්ම මට හීනයක් තිබුණා. බලාපොරාත්තුවක් තිබුණා. මේ ක්ෂේත‍්‍රයෙන් ඉවත් වෙන්න කලින් හොඳම නිළිය සම්මානය ගන්න ඕනෑ කියලා. ඒක ඕනෑම රංගන ශිල්පිනියකගෙ හීනයක්. ඉතින් අවුරුදු දෙකක් එක පිට නාට්‍ය දෙකකට හොඳම නිළිය සම්මානය ලබා ගන්න හැකිවුණා. ඒ ගැන සතුටුයි.

ධනු විජේරත්න (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහය එන වසරේ - තිසුරි"

    Post a Comment