18 July, 2017

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

God of Kataragama

කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා අන්දමකින් ලෞකිකත්වය හා සබැඳුණු සෞන්දර්යාත්මක හා සංස්කෘතික ලක්ෂණ වලින් යුත් කලා මංගල්‍යයකි.

කතරගම ඇසළ මහා පෙරහැරේ කතරගම දෙවිදුන් එතුමන්ගේ ප්‍රථම බිරිඳ වන තේවානි අම්මාට හොරෙන් දෙවන බිරිඳ වන වල්ලි අම්මා සොයා යන රහස් ගමන සංකේතනය වීම මෙම උත්සවයේ ඇති කලාත්මක බව සේම අනුරාගී බවද ප්‍රකට කරවන්නකි.‍

මෙම පෙරහැරේ දී කඳසුරිදුන් සංකේතනය කරන කතරගම මහ දේවාලයේ කපු මහතා එම පෙරහැ‍රට සහභාගී වීම පිණිස ඇතු පිට නගිනුයේ සර්වාංගයම විචිත්‍රවත් රෙදි කඩකින් වසා ගනිමිනි. ඉන් සංකේතනය වනුයේ කතරගම දෙවියන් තමන්ගේ ප්‍රියංබිකාව වන ‘තේවානි අම්මාට’ රහසින් වල්ලි අම්මා සොයා ‍ඇගේ නිවහන වෙත පිවිසි සිද්ධියයි.

මෙය කතරගම යන බැතිමතුන්ට ඉන් ලැබෙන ආධ්‍යාත්මික සුවයට අමතරව ලබා ගත හැකි අනුරාගය මුල්කොට ගත් සෞන්දර්යාත්මක අත්දැකීමකි. මෙම සංකේතනය මුල්කොට කතරගම බැතිමතුන්ට දරුපල සහ කෘෂිකාර්මික සමෘදිය අත්වන බවට පැතිරගත් මතයක් තිබේ.

‘කඳසුරිදුන්’ පිළිබඳ උතුරු ඉන්දියානු පුරාවෘත්ත සහ දකුණු ඉන්දියානු පුරාවෘත්ත රාශියක් තිබේ. ඊට අමතරව දෙවිඳුන් හා කතරගම මුල්කොට ගත් දේශීය පුරා වෘත්ත රාශියකි. එම පුරාවෘත්ත වල සෞන්දර්ය සේම අනුරාගය ද හරිහරියට ගැබ් වී තිබේ.

එම එක් දේශීය පුරාවෘත්තයකට අනුව කඳසුරිදුන් ඉන්දියාවේ සිට කතරගමට වැඩම කොට එහි ප්‍රදේශවාසීන්ගේ ගරු බුහුමන් මැද ජීවත්වේ. එක්තරා දිනයක කිසියම් කටයුත්තක් සඳහා සෙල්ල කතරගම ප්‍රදේශයට පිවිසි සුරිදුන්ට මුව පිරිවරක් මැද සිටින අතිශය රූමත් යුවතියක දක්නට ලැබේ.

ඒ පිළිබඳව විමසා බලන දෙවිදුන්ට දැනගත හැකි වනුයේ ඇය ‘වල්ලී’ නමැති වැදි යුවතියක බවය. එහෙත් ඇයගේ අසාමාන්‍ය රූප ස්වභාවය නිසා දෙවිඳුගේ සිත තුළ ඇය කෙරෙහි ඇල්මක් ඇතිවේ. එහෙත් අතිශය කෝල යුවතියක වන වල්ලි දෙවිදුන්ගේ ආදරය පිළිගැනීමට කැමති නොවේ. කෙසේ හෝ ‘වල්ලී’ නමැති මෙම රූමත් තරුණිය හා විවාහ වීමට නොහැකිව කඳසුරිදුන් මහත් සිත් තැවුලෙන් පසුවන අතරේ දෙවිඳුන්ගේ වැඩිමල් සොයුරු ‘ගණ දෙවිඳුන්’ ඒ පිළිබඳව විමසා සිටිනුයේ තම සොයුරා කුමක් හෝ හේතුවක් මත දුකට පත්ව සිටින බව ඒත්තු යාමෙනි.

අවසානයේ සිය වැඩිමල් සොහොයුරාට මෙම කාරණය කීමට කඳසුරිදුන්ට සිදුවෙයි. එවිට ලණ දෙවිඳුන් ඊට කදිම උපායක් යෝජනා කරයි.

ඒ මෙලෙසිනි.

“මම ඔය වල්ලි ඉන්න ඉසව්වට ගිහින් ඇත් වෙසක් මවාගෙන වල්ලි ඉදිරියට දුවගෙන එන්නම්; ඔබත් ඒ කිට්ටුවෙන් හිඳින්න එතකොට බියට පත්වෙන වල්ලි මගෙන් මිදීම පිණිස දුවගෙන විත් ඔබේ සිරුරේ එල්ලෙයි. එවිට ඔබ ඇය වැළඳ ගන්න. ඉන්පසු ඇය ඔබගේම වෙයි.”

ඉන් අනතුරුව වතුර මැතිරූ පැන් කෙන්ඩියක් කඳ සුරිදුන් අතට දෙන ගණ දෙවිදුන් ඔහුට තවත් අවවාදයක් දෙයි.

“මෙහි ඇත්තේ මහා බලගතු පැන් ස්වල්පයක්; වල්ලී ඔබ වැළඳගත් පසු මේ පැන් කෙන්ඩියෙන් පැන් ස්වල්පයක් මගේ සිරුරට ඉහින්න; මට ඒ ඇත් වෙසින් අත්මිදීමට හැක්කේ ඒ පැන් ඉසීමෙන් පසුව පමණයි.”

කෙසේ හෝ මේ සොයුරන්ගේ මෙහෙයුම නිසි පරිදි ක්‍රියාත්මක වනුයේ වල්ලී තරුණිය සැරිසරන වනපෙතට ගිය කඳසුරිදුන් ඇයට තරමක් සමීපයේ සිටින අතරේ ගණ දෙවිදුන් ඇත් වෙසක් ගැනීමත් සමගිනි. එසේ ඇත් වෙසක් ගත් ගණ දෙවිදුන් මහ වනය බිඳගෙන යුවතිය දෙසට ‍දිව එන අතරේ ඉන් මර බියට පත්වන යුවතිය සියල්ල අමතක කොට කඳසුරිදුන් වෙත පැමිණ එක්වරම එතුමන්ගේ ගෙලෙහි එල්ලෙනුයේ සුරතේ තිබූ පැන් කෙන්ඩියද බිම වැටී ඉහිරී යන පරිද්දෙනි.

අපගේ පුරාණෝක්ති වල සඳහන් ආකාරයට ගණ දෙවිඳුන්ට ඇත් හිසක් ලැබීමට හේතුව මෙයයි. එහෙත් මෙය හුදෙක් දේශීය පුරාවෘත්තයක් පමණක් වන අතර ගණ දෙවිදුන්ට ඇත් වෙසක් ලැබීම පිළිබඳ උතුරු සහ දකුණු ඉන්දියානු පුරාවෘත්ත රාශියක් ඇති බවද අප අමතක කළ යුතු නැත.

මෙහි ඉතිරි කොටස බලාපොරොත්තු වන්න...

කලා භූෂණ කතරගම සුමන සෝමපාල (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව"

    Post a Comment