10 January, 2017

අනියම් ඇසුරට ගිය හෝටලේ බිල ගෙවන්න ගත්ත ණය පියවන්න කොල්ලකෑ 'මැක්කාට' ගුටි

robber-beaten

කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම සඳහා වියදම් වූ හෝටල් කාමරයේ බිල ගෙවීමට මස්සිනාගෙන් ලබාගත් ණය මුදල පියවීම සඳහා කුඩා වෙළෙඳසලක් කොල්ලකා පලායෑමට උත්සාහ කළ ‘මැක්කා’ නමින් හඳුන්වන පුද්ගලයා ප්‍රදේශයේ තරුණයන් අල්ලාගෙන හොඳ හැටි පහරදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පෙරේදා (8දා) භාරදී තිබිණි.

සැකකාර මැක්කා විවිධ අපරාධ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යන කුඩා වෙළෙඳසලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ රුපියල් 7,500ක පමණ මුදලක් කොල්ලකා පලායෑමට උත්සාහ කරද්දී තරුණයන්ගේ ග්‍රහණයට හසුවී තිබේ.

‘මැක්කා’ මුදල් කොල්ලකා තාප්පයකින් පැන පලා යෑමට උත්සාහ කළ පිම්ම වැරැදී තාප්පයෙන් බිමට වැටී පාදයක් ආබාධයට ලක්වීම නිසා තරුණයන් ඔහුව අල්ලාගෙන දරුණු ගුටි පූජාවක් දී තිබෙන බව පොලිසිය පැවැසුවේය. ප්‍රහාරයෙන් ඔහුගේ අත්පාවලට තුවාල සිදුවී ඇති අතර මස්සිනාගෙන් ලබාගත් රුපියල් 2,000 මුදල පියවීමට කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පැවැසුවේය.

අනුරාධපුර දහයියාගම හන්දියේදී කාන්තාවක් හමුවී ඔයා හරි ලස්සනයිනේ යනුවෙන් පැවැසීම නිසා ඇය සමඟ මිතුරු වී හෝටලයකට ගොස් කාලය ගත කළ බවත් ඇයට රුපියල් 1,000ක මුදලක් හා හෝටල් කාමරයට රුපියල් 1,000ක් ලබාදීමට සිය මස්සිනාගෙන් රුපියල් 2,000ක් ණයට ඉල්ලා ගත් බව සැකකරු පොලිසියට පවසා තිබිණි.

පසුව එම මුදල ගෙවීමට කොල්ලකෑම සිදුකළත් කොල්ලය වැරැදුණු බව පොලිසියට පවසා තිබුණු අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විජයපුර ප්‍රදේශයේ නිවෙසක ඉදිරිපිට නවතා තිබූ රුපියල් 2,00,000ක් පමණ වටිනා යතුරුපැදියක් සොරකම් කළ බවද ඔහු පොලිසියට පවසා තිබිණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් ඇසුරට ගිය හෝටලේ බිල ගෙවන්න ගත්ත ණය පියවන්න කොල්ලකෑ 'මැක්කාට' ගුටි"

    Post a Comment