10 January, 2017

පිරිත් පින්කමටත් ටයි කෝට් ඇඳලා

tie-coat-dress

රාජ්‍ය නිලධාරීන් සුදුසු අත්‍යවශ්‍ය වේලාවට ටයිකෝට් දැම්මත්, කාලගුණික, දේශගුණික තත්ත්වයන් සහ අනිකුත් සාමාන්‍ය අවස්ථාවන්වලදී ඔවුන් එවැනි ඇඳුම් නොඇන්දාට ප්‍රශ්නයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රාජ්‍ය නිලධාරීන්ට ටයිකෝට් ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයෙකු විසින් චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙකු විසින් නිකුත් කළ චක්‍ර‍ලේඛයක් ඉවත්කළ හැක්කේ ද ජනාධිපතිවරයෙකුටම පමණක් බව පැවැසීය.

පොළොන්නරුවේ වාර්ෂිකව පවත්වන පිරිත් පින්කමකට සහභාගි වී සිටි නිලධාරියෙකු මහ රාත්‍රියේද ටයිකෝට් ඇඳ සිටි අයුරු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ඒ නිසා අපේ රටේ රාජ්‍ය නිලධාරීන් සුදුසු අත්‍යවශ්‍ය වේලාවන්ට පමණක් ටයිකෝට් දැම්මට ප්‍රශ්නයක් නොමැති බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඇගයීම් ක්‍රමවේදය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

අපේ රට කුඩා දිවයිනක් වන අතර වේගයෙන් ඉහළ යන ජනගහන වර්ධනයත් සමග ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවත් නිවාස ඉදිකිරීම් සඳහාද ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් අභියෝග රැසක් මතුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අනුව සළකා බැලීමේදී තවත් වසර 25-30ක් ගතවන විට වගා කිරීමට ඇති භූමි ප්‍රමාණයද සීමා වීම තුළින් කෘෂි ක්ෂේත්‍රයේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සත්වයාගේත්, ස්වභාව ධර්මයේත් පැවැත්ම උදෙසා තම වගකීම සහ යුතුකම් ඉටුකිරීමට අප කඩිනමින් ඒකරාශී විය යුතු බව කියා සිටියේය.

2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන් හී ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වාගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ හරිත ඇගයීමේ ක්‍රමවේදය පිළියෙළ කර ඇත.

එම ප්‍රකාශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම් උදය ආර්.

සෙනෙවිරත්න, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

ඊට අදාළ නිල වබේ අඩවියද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
ජනතාවට නිසි අවබෝධයක් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවීම ඉංජිනේරුවන්ගේ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-පානුක රාජපක්ෂ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිත් පින්කමටත් ටයි කෝට් ඇඳලා"

    Post a Comment