10 January, 2017

ජනපතිගේ වෙබ් අඩවියට යළිත් ප්‍ර‍හාරයක්..!

maithripala-web-hacked

“ජනපතිට කියන්න” වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ඨ වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික හඬ පට හා ලිපි ලේඛන ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 19දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (9දා) නියෝග කර තිබෙනවා.

ජනාධිපති සහකාර ලේකම් චමීර කන්නන්ගර ඉකුත් 7දා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත් අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය නමැති සැකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

රහස් පොලිසියේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. කේ. සේනාරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් අදාළ පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන දුක්ගැනවිලි හා යෝජනා කළමනාකරණය කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ICTA ආයතනය සමඟ එක්ව පවත්වාගෙන යන “ජනපතිට කියන්න” යන වෙබ් අඩවියට යම් අයකු විසින් අනවසරයෙන් පිවිස දත්ත සොරකම් කර මාධ්‍ය ආයතනයක් වෙත විද්‍යුත් තැපැල් පතක් මඟින් යොමුකර ඇති බව අනාවරණය වූයේ යැයි අධිකරණයට දැන්වූවා.

රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ ගවේශණ නිලධාරි ඊ. පී. ජී. ශාලිත ගයාෂාන් යන අයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කරන ලද බවයි. [email protected] නමැති “ජනපතිට කියන්න” අන්තර්ජාල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් පිවිසීම හා එහි අන්තර්ගතව තිබූ දත්ත සොරකම් කර ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික හඬ පට හා ලිපි ලේඛන ලක්ෂයකට අධික ප්‍රමාණයක් කිසියම් අයකු විසින් සොරකම් කර ප්‍රචාරය කර ඇති බවත් එහිදී අනාවරණය වූයේ යැයි රහස් පොලිසිය දන්වා සිටියේය.

මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කරමින් සොරකම් කරන ලද දත්ත පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාලයක සේවය කරන අයෙකුගේ රාජකාරි විද්‍යුත් ලිපිනය වෙත අදාළ දත්ත ඇතුළත් විද්‍යුත් ලිපි [email protected] තැපැල් ලිපිනය වෙතින් යොමුව ඇති බව විමර්ශනයේදී අනාවරණය කර ගත්තේ යැයි දැනුම් දුන් රහස් පොලිසිය ඒ අනුව ප්‍රශ්න ගත එම විද්‍යුත් තැපැල් ලිපිනය සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ ආවේක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව එම විද්‍යුත් තැපැල් ලිපිනයේ හිමිකරු වන සැකකරු අත්අඩංගුවට ගත් බව දන්වා සිටියා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා “ජනපතිට කියන්න” වෙබ් අඩවිය වෙත පිවිස ගවේශනය කිරීමේදී එම වෙබ් අඩවියට කිසිම අපහසුතාවකින් තොරව ඇතුළු වීමට හැකිවූ බවත් එම වෙබ් අඩවියේ ඇති අඩුපාඩු හා එය වෙත ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම දැනුවත් කිරීම සඳහා අදාළ ක්‍රියාව සිදු කළ බවත් පැවැසූ බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියා.

සැකකරු භාරයේ තිබූ පරිගණක උපාංග, දත්ත තොගයක්ද රහස් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනපතිගේ වෙබ් අඩවියට යළිත් ප්‍ර‍හාරයක්..!"

    Post a Comment