10 January, 2017

ආගමට වඩා දර්ශනයටයි කිට්ටු - මහණ වෙන්න අදහසක් තාම නැහැ

damith-asanka-01

ජනප්‍රිය ගායක දමිත් අසංකගේ නවතම ගීතය 'මේ රිදුම්’ නමින් එළිදක්වා තිබෙනවා. දිගු නිහැඬියාවකට පසු එළිදැක්වූ නවතම ගීතය පිළිබඳව සහ වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.

Q 'මේ රිදුම්' කියන ගීතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

'මේ රිදුම්’ කියන ගීතය ලිව්වෙ රාජාංගණේ හාමුදුරුවෝ. සංගීතය ප්‍රියන්ත නාවලගේ විසින්. එහි රූප රචනාවකුත් කළා. රූප රචනාව ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද මට ඒක තේරෙන්නෙ නැහැ. රසිකයන්ගේ කැමැත්ත මත රූප රචනාවක් කරනවා ඇරෙන්න කිසිම කෙනෙක් කැමැත්තෙන් රූප රචනාවක් කරන්නෙ නැහැ. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

Q ඔබ කාලයක් නිහඬව ඉඳලා තමයි මේ ගීතය ඉදිරිපත් කළේ. එයට හේතුවක් තියෙනවාද?

නිහඬ වෙලා කියන්නේ මම ගොඩක් වෙලාවට මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. අද කාලෙ ඒ වචනයේ තේරුමවත් දන්නෙ නැති සමාජයක් තියෙන්නේ. අපි කෑ කෝ ගැහුවෙ නැති වුණාට වැඩ ටිකක් කරගෙන යනවා. දැනට 'ඊ මේල්’ කියන නමින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ජා ඇල තමයි අපි පුහුණුවීම් කරගෙන යන්නේ. එය වැල්ලවායට අරගෙන යන්න අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම මම තව අවුරුද්දකින් විතර ප්‍රසංග වේදිකාවට සමුදෙන්න අදහස් කරලා තියෙනවා.

Q එවැනි තීරණයක් ගත්තේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන්ද?

නෑ කිසිම කලකිරීමක් නැහැ. ජීවිතය එකාකාරී විදියට ගෙනිච්චොත් මම හිතන්නෙ කලකිරීම ඇතිවෙයි කියලා. ඒ නිසා කලකිරෙන්න කලින් ධර්ම අබෝධයෙන් යුතුව ඉවත් වෙන්න හිතුවා. අනිත් පැත්තෙන් දක්ෂ නවකයෝ ඉන්නවා. ඒ අයට ඉදිරියට එන්න අවස්ථාව දෙන එකත් බලාපොරොත්තුවක්. මේක බදාගෙන ඉන්න ඕන නැහැ. අපි නිහඬ වෙන්න ඕන.

Q වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස කෙබඳුද?

මට හිතෙන දේ තමයි අපේ අතීතය ගත්තත්, වර්තමානය ගත්තත් අපිට පැහැදීමක් ඇතිවෙන්නේ ඒ ගෙවන තත්පරය මතයි. වත්මන් තත්ත්වය ගැන කලකිරීමෙන් කතා කරන පිරිසකුත් ඉන්නවා වගේම උජාරුවෙන් කතා කරන පිරිසකුත් ඉන්නවා. මම ඔය දෙගොල්ලම මැද්දෙ මධ්‍යස්ථව ඉන්නවා. මොකද මම දන්නවා කලකිරෙනකොට පිරිසකට තවත් පිරිසක් සංතෝස වෙනවා. ඕක අතීතයෙත් එහෙමයි, අනාගතයෙත් එහෙමයි. ඒ නිසා මම ඕකට අර්ථ දෙන්නෙ නැහැ. කලකිරීමෙන් තොරව ධර්ම අවබෝධයෙන් ජීවිතයට ඉදිරියට රැගෙන යනවා.

Q ඔබ ආගම දහමට වැඩි වශයෙන් යොමුවෙච්ච බවක් පෙනෙන්නට තිබෙනවා නේද?

පසුගිය අවුරුදු කීපයක ඉඳන් බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනයක ඉන්නවා. ආගමට වඩා දර්ශනයටයි කිට්ටු වෙලා ඉන්නේ. දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා.

Q මහණදම් පිරීම සඳහා අදහසක් තිබෙනවාද?

එහෙම අදහසක් තාම නැහැ. නමුත් මම කැමතියි බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරන්න. එහෙම කරන්නේ කිසිම කලකිරීමකින්වත් වෙනත් දෙයක් නිසාවත් නෙවෙයි, එය මගේ අශාවක්.

Q අද කැසට් නිෂ්පාදනය නතර වී තිබෙනවා. මේ තත්ත්වය කලාකරුවන්ට කෙසේ බලපෑමක් සිදුකර තිබෙනවාද?

කැසට් නිෂ්පාදනය නනතර වෙලා තියෙනවා. තව වැඩි කාලයක් යන්න කලින් සීඩීත් නැතිවෙයි. ඊට පස්සෙ මෙමරි කාර්ඩ් යුගයක් ඇතිවෙයි. මං හිතන්නේ ලෝකෙ වෙනස් වීමත් එක්ක තමයි මේ හැමදේම වෙනස් වෙන්නේ. අද කලාකරුවන් ගොඩක් කරන්නේ තනි සිංදු කරලා රසිකයන්ට අහන්න දෙන එකයි . ඉතින් කරන්න දෙයක් නැහැ. ලෝකෙ වෙනස් වෙනකොට අපිටත් වෙනස් වෙන්න වෙනවා.

Q බොහෝ කලාකරුවන් අද අසරණව රෝගී තත්ත්වයට පත්ව තිබෙනවා. මේ අය වෙනුවෙන් සොයා බලන්නට රජය හෝ යම් ආයතනයක් තවමත් නැහැ නේද?

ඒ ගැන ගැඹුරින් කතා කළයුතු මාතෘකාවක්. ඒ අය ගැන රජයෙන් හෝ වෙනත් ආයතනයකින් හොයන්නෙ නෑ කිව්වම අහන් ඉන්න කෙනාට හිනාවෙන්න තැනක් නැතුව යනවා. මොකද මම නම් හිතන්නෙ කලාකරුවන්ට කලාකරුවන්ම පිහිට වෙනවා. ඒ නිසා අපි කලකිරෙන්න හොඳ නැහැ. ඕනෑම කෙනෙක්ට දුක් කරදරයක් වෙන්නෙ කර්ම ශක්තිය එක්ක. ඉතින් ඒක වෙනස් කරගන්න පුළුවන් තමන්ටම තමයි.

Q ඔබත් පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවුණා නේද?

ඔව්. මම පසුගිය කාලයේ අසනීප ගණනාවකට මුහුණ දුන්නා. මම ඒවා උජාරුවෙන් කියන්නෙ නැහැ. අසනීප වෙනවා කියන ධර්මතාවයට මුහුණ දෙනවා. පසුගිය කාලයේ මට උගුරේ අසනීපයක් පවා ඇතිවුණා. වෛද්‍යවරුන් කිව්වෙ වැඩිපුර ගීත ගායනා කළ නිසා කියලා. ඒවත් එක්ක මම පරිස්සම් වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් කරගෙන යනවා. අසනීප ඇතිවෙනවා, නැතිවෙනවා කියලා දන්න නිසා ඒවා ගැන වැඩිය හිතන්න හොඳ නැහැ.

Q මීට පෙර ඔබගේ සිහිනයක් වූ කලා ගම්මානයක් ඉදිකිරීම තාම සිහිනයක්ද?

කලා ගම්මානය පටන් ගන්න අදහස හිතේ තිබුණට තවම එයට වටපිටාව හැදුණෙ නැහැ. මොකද අද ලංකාවේ ජීවන වියදම සල්ලි කොළයෙන් මනින නිසා අපි අතරට එන සල්ලිකොළ ප්‍රමාණය අඩුවෙචිච ගතියක් තියෙනවා. අද කලාකරුවන්ට අනුන් ගැන බලන්න කලින් තමන් ගැන බලන්න වෙන කාලයක් ඇවිත් තියෙන්නේ. පොදුවේ ගත්තම කාලයක් යනකොට ඒ තත්ත්වය වෙනස් වෙයි. ඒ කාලෙදි මගේ සිහිනය සැබෑකර ගන්න බලාපොරොත්තු වෙනවා.

Q මේ සඳහා ඔබට ශක්තියක් වීමට කැමති අයෙක් සිටියහොත් ඔබ එයට දක්වන ප්‍රතිචාරය කෙබඳුයිද?

මම අවංකව එයට ගරු කරනවා. ලාභ අපේක්ෂාවන් නැතුව අවංක සිතුවිල්ලකින් කෙනෙක් හෝ පිරිසක් මෙයට මා හා සම්බන්ධ වෙන්න සිතනවා නම් මා එයට කැමතියි. වගකීමක් විදියට මා එය ඉටුකරනවා. මොකද කලා ගම්මානයක් කියන්නෙ නැතිබැරිකමින් දක්ෂතා තියෙන අයට ඉදිරියට එන්න අවස්ථාවක්. ඒක මහා පුණ්‍යකර්මයක්.

Q මුහුණුපොත නිසා ඔබත් අපහසුතාවයට ලක්වී තිබෙනවා කියලා ආරංචියි?

ඇත්තටම ඔව්. දමිත් අසංකලා විශාල ප්‍රමාණයක් මුහුණුපොතේ සිටිනවා. මගේ රසිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා වංචනිකයන්ට හසුවෙන්නෙ නැතිව බුද්ධිමත්ව සිතා බලා ඇත්ත දමිත් අසංක සොයාගෙන ඇසුරු කරන්න කියලා.

Q දමිත්ගේ පවුලේ තොරතුරු ගැනත් සඳහන් කළොත්?

අම්මයි, සහෝදරයො දෙන්නයි මට ඉන්නෙ‍. තාත්තා නැතිවුණා. මම විවාහකයි. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා.

-මහේෂ් මලවරආරච්චි - ada

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආගමට වඩා දර්ශනයටයි කිට්ටු - මහණ වෙන්න අදහසක් තාම නැහැ"

    Post a Comment