24 August, 2017

පොලිතීන් ප්‍රශ්නය

/polythene-problem
ප්ලාස්ටික් පැමිණෙන්නට පෙර අප භාවිත කළේ පරිසරයට අහිතකර නොවන විකල්පයන්ය. මාළු ඔතන්නට කඩදාසි හෝ බ්‍රවුන් පේපර් බෑග් භාවිත විය. සීනි ටික කිරලා දුන්නේ කඩදාසි ගොට්ටයකටය. අයිස්ක්‍රීම් දුන්නේ තෙල් කඩදාසිවලය. ප්ලාස්ටික් පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටිවලට අයිස්ක්‍රීම් බහාලීම සිදුකෙරිණි.

මෑතක සිට කුණු කඳු නාය යෑම, ගංවතුර ගැලීම, ඩෙංගු මදුරු උවදුර ඉහළ යෑම වැනි පාරිසරික ගැටලු රැසකට අපේ ජනතාවට මුහුණදීමට සිදු වී ඇත. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය ඉහළ යාම මේ ගැටලුවලට මූලික හේතුව බව අනාවරණ වුවද බොහෝදෙනා එය පිළිගැනීමට අකමැත්තක් දක්වති. එහෙත් සත්‍ය එයයි.

පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය ඉහළ යාමත් සමඟ ඒවා පරිසරයට බැහැර කිරීම ද ඉහළ ගොස් තිබේ. ඉවක් බවක් නැතිව මේවා පරිසරයට බැහැර කිරීම මිනිසාට දැන් දැන් පුරුද්දක් බවට පත්ව ඇත. පොලිතීන් භාවිතයක් නොකරන ස්ථානයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇට සොයන්නාක් බඳු වී ඇත. ඒ තරමටම පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය මෙරට ජනප්‍රිය වී තිබේ. එවැනි ජනප්‍රිය යමක් තහනම් කිරීමේදි විශාල ජනතා ප්‍රතිරෝධයක් නැඟී ඒම ස්වාභාවිකය. එම ප්‍රතිරෝධය දැනටමත් සමාජය තුළින් මතුව තිබේ. නමුත් පොලිතීන්, ප්ලාස්ටික් තහනම සම්බන්ධයෙන් රජය ගත් තීරණය නැවත හැරවීමක් නොකළ යුතු අතර, එම තීරණය කිසිදු වෙනසක් නොකර ඉදිරියටම ක්‍රියාත්මක කළ යුතුය. ජනතාවට එය යහපතක් මිස අයහපතක් නොවේ. ඒ යහපත අද හෙට නොව තවත් වසර ගණනාවකින් ලැබෙනු ඇති දෙයකි. ඒ නිසා රජය ගෙන තිබෙන මේ තීරණයට අනුගතව ක්‍රියාත්මක වීම ජනතාවගෙත් යුතුකමකි. ඔබගේම යහපත සඳහා මිස දේශපාලන හෝ වෙනත් ප්‍රතිලාභයක් උදෙසා නොගත් රජයේ මේ තීරණය ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ගහට පොත්ත මෙන් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අපගේ ජීවිතවලට බද්ධ වී ඇත. මේ දෙක නොමැති ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි තරම්ය. 1977 වසරේ පැමිණි විවෘත ආර්ථිකයත් සමඟ මේවා අපගේ සංස්කෘතියට එක්වන්නට විය. පිටරට කුණු මෙරටට පැමිණියේ විවෘත ආර්ථිකයත් සමඟ බව ඇතැම්හු කියති. පිටරටින් පැමිණි කුණු දැන් මෙහේ කුණු කඳු බවට පත්ව තිබේ. විසඳිය නොහැකි බව පෙනෙන මෙවැනි ගැටලු විසඳීමට තහනම් නියෝග පැනවීමට ඇතැම් අවස්ථාවලදී රජයට සිදු වේ. පොලිතීන්, ප්ලාස්ටික් තහනමත් එවැනි දෙයකි. පිළිකා ඇතුළු බහුතරයක් රෝගවලට ඉවහල් වන පොලිතීන්, ප්ලාස්ටික් වෙනුවට විකල්පවලට අවධානය යොමු කළ යුතුය. එසේ නොමැතිව තහනම් නියෝග පැන වූ පමණින් ඊට එරෙහි වීම ශුභදායක නොවේ.

පෙට්‍රෝලියම් නිෂ්පාදන ගණයට ගැනෙන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ලෝකයේ ඇතැම් රටවල තහනම් කර තිබේ. මෙම තහනම ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද ලෝකයට එසේ නොවේ. මේ තහනමත් සමඟ ජන ජීවිතයේ කඩා වැටීමක් සිදු වනු ඇති බවට ඇතැම් පුද්ගලයන්ගේ සිත් තුළ පුංචි සැකයක් පවතී. එවැනි සැකසංකා ඇති කර ගැනීමට අවශ්‍ය නැත. තහනමත් සමඟ සුදුසු විකල්පයක් මේ සමාජය තුළින්ම නිර්මාණය වනු ඇත. විකල්ප සොයා ගන්නට අප උත්සාහ කළ යුතුය. සොයාගත් විකල්ප ජනප්‍රිය කරවීමට රජය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. එසේ වුවහොත් ජනතාව කලබල නොවනු ඇත. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය නිසා වන ආර්ථික, සමාජයීය, සෞඛ්‍යමය, පාරිසරික හානිය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. එවිට ජනතාව හානිය වටහා ගැනීමත් සමඟ වෙනත් විකල්ප සොයනු ඇත.

අපි අපේ ආහාර වේල ඔතන්නට නිතරම ලන්ච් ෂීට් භාවිතා කරමු. ඉන් සිදුවන සෞඛ්‍ය හානිය ගැන අප නිකමටවත් සිතන්නේ නැත. උණු ආහාර ලන්ච් ෂීට්වල ඔතන විට පිළිකා කාරක ජනනය වී ආහාරයට මුසුව ශරීරගත වේ. ලන්ච් ෂීට්වල කෑම එතීම පහසු නිසා මේ කාරණා නොදන්නවා මෙන් සිට එම වරද දිගටම කරගෙන යාමට අපි පුරුදුවී සිටිමු. බෝ නොවන රෝග අතරින් පිළිකා රෝගීන් වාර්තා වීම වර්තමානයේදී බහුලව සිදු වේ. එසේ වන්නට එක් හේතුවක් ලෙස මේ කාරණාව සැලකිය හැකිය. ලන්ච් ෂීට් වෙනුවට ආරක්ෂිත කෑම පෙට්ටියක් හෝ සෝදා භාවිතා කළ හැකි තෙල් කඩදාසියක් හෝ වෙනත් යම් ද්‍රව්‍යයක් භාවිතා කළ යුතුය. ලන්ච් ෂීට්, සිලි බෑග් භාවිතා නොකරන ආපන ශාලාවක් අද සොයා ගත නොහැක. ඒ තරමටම පොලිතීන්, ප්ලාස්ටික් සමාජය ආක්‍රමණය කර ඇත. පොල්තෙල්, චිලිපේස්ට්, හොදි වර්ග, තේ වතුර යනාදිය ෂොපින් බෑග්වල දැමීමේ සංස්කෘතියක් ද පවතී. සැම කඩයකම පාහේ මේ පුරුද්ද දැක ගත හැකිය. පේස්ට්‍රි ෂොප් එකකට ගියද කට්ලට්, පැටිස් දැමීමට පොලිතීන් බෑග් භාවිතා කෙරේ. ෂොපින් බෑග් පෙට්‍රෝලියම් නිෂ්පාදනයක් නිසා මේද සහිත පේස්ට්‍රියේ තෙල් පෙට්‍රෝලියම් නිෂ්පාදනයත් සමඟ දිය වේ. එම රසායනික ද්‍රව්‍ය පේස්ට්‍රියත් සමඟ අපගේ ශරීරයට ඇතුළු වේ.

ආහාරයක් ඇසුරුම් කරන විට ඕනෑම පටලයක ප්‍රමිතියක් තිබිය යුතුය. මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක අනුමැතියක් නොතිබීම ද විශේෂත්වයකි. කොත්තු කෑම සඳහා හොදි බෑගය දෙන්නේ රතු හෝ කහ පාට වර්ණ ගැන්වූ ෂොපින් බෑගයකය. වර්ණ ගැන් වූ ෂොපින් බෑග්වල විෂ රසායනික ද්‍රව්‍ය බොහොමයක් ඇතුළත්ය. සුදු වර්ණය සහිත පොලිතීන් බෑගය ඔර්ජිනල් එකය. එසේ වුවද සුදු වර්ණය සහිත පොලිතීන් බෑග්වල ආහාර ඇසිරීමද අනුමත කළ නොහැකිය. නමුත් වර්ණ ගැන් වූ පොලිතීන් බෑග්වලට සාපේක්ෂව සුදු පාට බෑගයේ රසායනික ද්‍රව්‍ය අවම වේ. මීතොටමුල්ල ආදි කුණු කඳුවලින් බැහැර කරන පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් අනතුරුව මේ වර්ණ ගැන් වූ පොලිතීන් බෑගය නිශ්පාදනය වේ. මේ දේවල් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතුය. ජනතාව විසින්ම මේවා ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය.

යෝගට් කෝප්ප, ෂොපින් බෑග් වැනි පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය පා නොවන ජලාශයක් අද අපට සොයා ගත නොහැකිය. ජලය ඇති සෑම තැනකම මේ ද්‍රව්‍ය පා වෙන බව අපට දැක ගත හැකිය. වර්තමානය වන විට ඩෙංගු ප්‍රශ්නය විසඳා ගත නොහැකි තරමටම අධි වසංගතයක් බවට පත්ව තිබේ. එයට ප්‍රධාන හේතුවක් ලෙස පොලිතීන්, ප්ලාස්ටික් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කිරීම පෙන්වාදිය හැකිය. ඩෙංගු මදුරුවන් බෝ වීමට ඇති හොඳම තෝතැන්න බවට මේවා පත්ව ඇත. මේවා නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් ඉතා පහසුවෙන්ම ඩෙංගු උවදුරෙන් මිදෙන්නට මෙරට ජනතාවට හැකි වේ. ඉතා පහසුවෙන්ම වළකා ගත හැකි දෙයක් බරපතළ ගැටලුවක් බවට පත් වන තෙක් බලා සිටියේ අපගේ වැරැද්දෙන්මය. ඒ වැරැද්ද ඉදිරියටත් සිදු වන්නට ඉඩ නොදී වළක්වා ගන්නට දැන්ම සිතට ගතහොත් ඉදිරි කාලය තුළදීවත් ඩෙංගු වසංගතයෙන් මිදෙන්නට අපට හැකි වේ.

පොලිතීන්, ප්ලාස්ටික් පරිසරයට බැහැර කිරීමේදි බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. මේවා පිළිස්සීමෙන් පිළිකා කාරක ජනනය වේ. ඒවායෙන් නිපදවෙන දුමෙන් ඩයොක්සීන් හා සියුරෑන් යන පිළිකා කාරක ජනිත වේ. මෙම විෂ ද්‍රව්‍ය වායුගෝලයට හා භූගත ජලයට එක් වීමෙන් පාරිසරික සහ සෞඛ්‍ය තර්ජනවලට මුහුණදීමට මිනිසාට සිදු වේ.

පොලිතීන්, ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීම නිසා විශේෂයෙන්ම කොළඹ නගරයට පොඩි වැස්සකදී පවා ගංවතුර ඇති වේ. මේවා නිසා කාණු පද්ධතිය සිර වී තිබේ. ජලය ගලා යා නොහැකි ලෙස ඒවා සිර වීමෙන් කොළඹට ගංවතුර තත්ත්වයන් හටගැනීම පුදුමයක් නොවේ. ඕනෑම කුණු ගොඩක තුනෙන් දෙකක් පොලිතීන් සහ ප්ලාස්ටික්ය. වැඩිපුරම ඇත්තේ පොලිතීන් ෂොපින් බෑග්ය. මේවා පහසුවෙන් භාවිතා කළ හැකි බවට මිනිසුන් සිතුව ද ඉන් වන සමාජ, ආර්ථික හානිය ගණනය කළ නොහැක. මෙම අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම නිසා ඒවා ආහාරයට ගන්නා සතුන් මරණයට පත්වන අවස්ථාද බොහෝය. වන අලි පමණක් නොව සත්ව උද්‍යානවල සතුන් පවා මේවා ආහාරයට ගැනීමෙන් මරණයට පත්ව තිබේ. පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීම සඳහා සිටින සත්ව ගහණයේ අඩු වීම හේතුවෙන් මිනිසාට අහිතකර ලෙස පරිසරය වෙනස් වීමේ අවදානමක් ද පවතී.

බොහෝ රටවල පොලිතීන්, ප්ලාස්ටික් වෙනුවට විකල්ප භාවිතා කෙරේ. මේවා භාවිතා කරන සීමාසහිත අවස්ථාවලදී පවා ප්‍රතිචක්‍රීයකරණය කළ පරිසරයට හානියක් නොවන ලෙස භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. පිටරටවල සුපිරි වෙළඳසැල්හි ෂොපින් බෑග් වෙනුවට දෙනු ලබන්නේ රෙදිවලින් හෝ හණවලින් සෑදූ පරිසර හිතකාමී දෑ ය. එසේ නොමැතිව ෂොපින් බෑග් භාවිතා කරන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. එවැනි උපක්‍රමයන් හරහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ලෝකයේ රටවල් පියවර ගෙන තිබේ.

විවෘත ආර්ථිකයෙන් පසුව මෙරටට පොලිතීන්, ප්ලාස්ටික් පැමිණෙන්නට පෙර අප භාවිතා කළේ පරිසරයට අහිතකර නොවන විකල්පයන්ය. මාළු ඔතන්නට කඩදාසි හෝ බ්‍රවුන් පේපර් බෑග් භාවිත විය. සීනි ටික කිරලා දුන්නේ කඩදාසි ගොට්ටයකටය. අයිස්ක්‍රීම් දුන්නේ තෙල් කඩදාසිවලය. ප්ලාස්ටික් පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටිවලට අයිස්ක්‍රීම් බහාලීම සිදුකෙරිණ. අයිස්‍ක්‍රීම් කන්නට ප්ලාස්ටික් හැඳි වෙනුවට ලී හැඳි ලැබිණ. වර්තමාන පරම්පරාවට මේ දේවල් ගැන අවබෝධයක් නැත. ඔවුන් ඉපදුණ දා සිට භාවිතයට තිබුණේ ප්ලාස්ටික් හා පොලිතීන් බැවිනි. පෙර දවසෙහි මෙරට ජන සමාජය භාවිතා කළ මෙවැනි පරිසර හිතකාමී දෑ නැවතත් රට තුළ ජනප්‍රිය කරවීමට පියවර ගත යුතුය. විසඳිය නොහැකි ලෙස පෙනෙන මේ ගැටලුව එමඟින් විසඳිය හැකිය.

විවාදයකින් තොරවම ලන්ච් ෂීට් තහනම් කළ යුතුය. අද ලන්ච් ෂීට් භාවිතා නොකරන මළ ගෙවල්, මඟුල් ගෙවල් සොයා ගත නොහැක. ආහාර දීමේදි ලන්ච් ෂීට් භාවිතය අනිවාර්යයෙන්ම සිදු වේ. කොළඹ ජාතික රෝහල හොඳ ආදර්ශයක් රටට ලබාදී තිබේ. එහි ආපන ශාලාවෙහි ලන්ච් ෂීට් භාවිතා නොවේ. ආහාර ලබාදෙන පිඟාන හොඳින් සෝදා දෙන්නේ නම් ලන්ච් ෂීට් අවශ්‍ය නැත. මයික්‍රෝන ප්‍රමාණය අනුව පාවිච්චියට හොඳ ලන්ච් ෂීට් ඇති බවට ඇතැමුන් සිතයි. පාරිසරික හානිය සලකා බලා මයික්‍රෝන ප්‍රමාණය අඩු වැඩි කළා වුවද ලන්ච් ෂීට් භාවිතය කොහෙත්ම යහපත් නොවේ. ඉස්සර කාලයේ ප්ලාස්ටික් කෝප්ප නොතිබූ යුගයක් ද මෙරට තිබිණ. ඒ සඳහා දිරාපත් වන ද්‍රව්‍යවලින් සාදා ගත් කෝප්ප භාවිතා කෙරිණි. මෙම විකල්ප ක්‍රම සමාජය තුළ නැවත භාවිතය සඳහා ජනප්‍රිය කළ යුතුය.

waruna-gunatilake-dr

(සන්ධ්‍යා කරුණාරත්න-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොලිතීන් ප්‍රශ්නය"

    Post a Comment