24 January, 2017

ස්වර්ණා ය සිනමාවේ ගැහැනිය

swarna-mallawarachchi-1

ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චිගේ පනස් වසරක සිනමා රංගන දිවියට උපහාර පිදීම වෙනුවෙන් 'ස්වර්ණා ය 'සිනමාවේ ගැහැනිය' ස්වර්ණා මල්ලවාරච්චි පනස් වසරක සිනමාභිමානය' සිනමා උළෙල 22 දින සිට ලබන 26 වැනි දා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ස්වර්ණා මල්ලවාරච්චි වූ කලී සිංහල සිනමාවේ ප්‍රතිභාපුර්ණ සම්මානනීය නිළියකි. ඇය රඟපෑ චිත්‍රපට සියල්ලකම ඇය සතු අපූර්ව රංගන කෞෂල්‍යයේ මතකය අදටත් ප්‍රේක්ෂක හදවතේ ගැඹුරුම තැනක නිදන්ව ඇතිවාට සැක නැත‍. ඒ ඇගේ රංගනයේ ඇති විශිෂ්ටත්වය නිසාය. ස්වර්ණා කලකට ඉහත ඇය රඟ පෑ චිත්‍රපට සහ ඇගේ රඟපෑම් පිළිබඳ මාධ්‍ය වෙත දැක් වූ අදහස් බොහොමයකි.

'මම චිත්‍රපටයක රඟපෑමට ප්‍රථම එහි තිරනාටකය සහ අධ්‍යක්ෂවරයා පිළිබඳ පූර්ව සොයාබැලීමක යෙදෙනවා. තිර නාටකය කියවත්දී ඒ චරිතය මගේ හිතට ඇල්ලුවොත් එය භාර ගන්නවා. මම රඟපෑ බොහොමයක් චිත්‍රපයට ඒ ඒ අධ්‍යක්ෂකවරයාගේ පළමු වැනි සිනමා නිර්මාණ වුණා. මගේ පළමු සිනමා නිර්මාණය 'සත්සමුදුර' සම්මුඛ පරීක්ෂණයට මම ගියේ චිත්‍රපට නිළියක වීමේ අභිප්‍රායෙන් නොවෙයි.

මගේ ඒකායන අරමුණ වුණේ ඒ කාලෙ අපේ සිත්වල සාහිත්‍ය වීරයකුව සිටි ආචාර්ය සිරි ගුණසිංහ දැක ගැනිමයි. ඔහු සමඟ කතාබහ කිරීමයි. එහෙත් දෛවය මගේ ජීවිතය වෙනස් කළා. මට සත් සමුදුරේ ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ චිත්‍රපටයේ රූගත කිරිම් කළ කාලය මගේ ජීවිතයේ ලස්සනම දවස්වලින් එකක්.'ඇගේ සිනමා දිවියේ ඇරැඹුම ගැන එලෙස පවසන්නීය.

'ඉන් පසුව මම රඟපෑවේ 'හන්තානේ කතාව ' චිත්‍රපටයේයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ 'හංස විලක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට ජනාධිපති කුසලතා සම්මානයක් හිමි වුණා. ඉන්පසු මා රඟ පෑ බොහෝ චිත්‍රපට සඳහා සම්මාන පිට සම්මාන හිමිවුණා. වසන්ත ඔබේසේකරයන්ගේ 'දඩයම' චිත්‍රපටයේ මම රඟපෑවේ 'රත්මලී' චරිතයයි. රත්මලී වැනි ගැහැනුන් සමාජයේ දක්නට ලැබෙන්නේ ඉතා විරල ලෙසයි. එනිසා එවැනි චරිතයක් රඟපෑමට පුර්වාදර්ශයක් නැති තරම්.

ඒ චරිතය ජීවමාන කිරිමට මම යොදාගත්තේ මා සතු පරිකල්පන ඥානයයි. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකගේ 'බවදුක', 'බව කර්ම' චිත්‍රපට මම පෞද්ගලිකව දකින්නේ ධර්මසිරිගේ සිනමා කලා ජීවිතයේ අග්‍රඵලය ලෙසයි. ජීවිත පරිඥානයෙන් හා කලා භාවිතයෙන් ගොඩනගාගත් මනා සංයමයකින් යුතු නිර්මාණයක් ලෙසයි. බවදුකේ දී මම රඟපෑ 'නෝනාහාමිගේ' චරිතය මට අවශ්‍ය වුණේ තිර රචනයේ මැවුණු චරිතය ජීවමාන කරවීමයි. මෙහි දී ධර්මසිරිගෙන් ලැබුණු ගුරුහරුකම් මගේ රංගනයට ගොඩක්ම වැදගත් වුණා.

සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ 'සාගර ජලය මදි හැඬුවා ඔබ හංදා' චිත්‍රපටයේ 'හීන් කෙල්ල'ගේ චරිතය මට සැබැවින්ම අභියෝගයක් වුණා. එයට හේතුව වන්නියේ කර්කශ වියළි, දුෂ්කර ජීවිතයක කටුකත්වය උරුමකරගත් සුද්දී වැනි දුෂ්කර චරිත මම නිරූපණය කර තිබීමයි.

හීන්කෙල්ල චරිත රංගනය ගැන සුමිත්‍රා පීරිස් මුළුමනින්ම සෑහීමකට පත්වුණා. මගේ උත්සාහය සැබැවින්ම සාර්ථක වී ඇති බව එවිට මට වැටහුණා. 'සුද්දිලාගේ කතාව' නරඹා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට මෙසේ ලියා එවා තිබුණා.

'ඔබ මේ චිත්‍රපටයේ 'සුද්දී' ලෙස මේ තරම් හොඳින් රඟනොපෑවා නම් මේ චිත්‍රපටය මට මේ තරම් තිත්ත වන්නේ නැත' මෙයින් ම මට දැනුණේ මම සාර්ථකව 'සුද්දීගේ' චරිතය මවා ඇති බවයි. අශෝක හඳගමගේ 'චන්ද කින්නරී' චිත්‍රපටයේ මම රඟපාන්නේ සාමාන්‍ය ලිපිකරුවෙකුගේ බිරියගේ චරිතය. රංගනයේ දී සාමාන්‍යයෙන් වෙනත් නිළියක විසින් නිර්මිත චරිතයක් හෝ රංගනයක් සමඟ තරඟ වැදීමට හෝ සටන් වැදීමට මට අවශ්‍යතාවයක් නැහැ.

මම තරග වදින්නේ මගේ අතීත චරිත සමඟයි. 'දඩයමේ' රත්මලී ගේ චරිතයට වඩා හොඳින් 'සුද්දිලාගේ කතාවේ' සුද්දීගේ චරිතය තුළට පිවිසීමටත් එය නිරූපණය කිරීමටත් මම වෙහෙසුණා. සුද්දිගේ චරිතය සමඟ මම සටන් වැදුණේ 'සාගර ජලයේ ' 'හීන්කෙල්ලගේ' චරිතය වඩාත් ප්‍රබලව ඉදිරිපත් කිරීමටයි.

'හීන් කෙල්ල' සමඟ මම තරග වැඳුණේ 'කැඩපතක ජායා' හි 'නන්දාවතීගේ චරිතයට වඩාත් ප්‍රබල ලෙස පිවිසීමටයි. ස්වර්ණා තම රංගන ප්‍රතිභාව ගැන එසේ පවසයි. ජීවිතය දෙස හැරී බලන විට චිත්‍රපට නිළියකවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. සිනමාවෙනුත් ජීවිතයෙනුත් ලැබිය යුතු උපරිම දේ මම ලබා ඇති නිසා. ස්වර්ණා එසේ පවසයි.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ_දිනමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්වර්ණා ය සිනමාවේ ගැහැනිය"

    Post a Comment