11 April, 2017

'දෙරණ' ජනාධිපති මාධ්‍ය ඒකකය හා බෝපගේ පටලවයි !

derana-bopage

ආන්දෝලනයට ලක්ව ඇති පුවත සකස් කර විකාශය කිරීමට කටයුතු කලේ ජනාධිපති මාධ්‍ය ඒකකය යොමුකර තිබූ නිවේදනයට අනුකූලව බව 'දෙරණ' බලධාරීන් පවසයි.

2016 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති කර විකාශය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් යොමුකර ඇති ලිපියට පිළිතුරු දෙමින් 'දෙරණ' බලධාරීන්ට එබව සඳහන් කර ඇත.

දෙරණ මාධ්‍ය ආයතනය විසින් නිකුත්කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

කාගේ අවශ්‍යතාවයක් ද ?

'' දෙරණ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෞද්ගලිකව යොමුකළ ලිපියක් සිරස රූපවාහිනියේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛ පුවත බවට පත්කර ගැනීම මවිතයට කරුණක් වී තිබේ.

එම පෞද්ගලික ලිපියට අදාළ කරුණු මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින් තරගකාරී මාධ්‍ය ආයතනයක විකාශය කිරීම කාගේ කුමන අවශ්‍යතාවක් මත සිදුවූවාද යන්න සැක මතු කරන්නකි.

එල්.එම්.ආර් බී දත්ත වාර්තා අනූව දෙරණ අංක එකේ රූපවාහිනි නාලිකාව බවට පත්ව ඇති පසුබිමක තරගකාරී මාධ්‍ය ආයතනයකින් අප කෙරෙහි පවතින මහජන විශ්වසනීයත්වය පළුදු කිරීම දරන උත්සහය හමුවේ මේ පිළිබද සියලු සත්‍ය ලිපි ලේඛන මහජනතාව හමුවේ තැබීමට අප විසින් තීරණය කරන ලදී.

හරය විකෘති කර විකාශය කළ බවට !

2016 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති කර විකාශය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මුල්වරට අප වෙත ලිපියක් යොමුකරනු ලැබුවේ එම වසරේම ඔක්තෝම්බර් මස 25 වැනිදාය.

එහි සඳහන් වූයේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමේ වුවමනාව මත ඔක්තෝබර් 12 වැනිදා විකාශය වූ සියලු ප්‍රවෘත්ති විකාශයන් හි සංයුක්ත තැටි පිටපත් ඔහු වෙත ලබා දෙන ලෙසය.

කෙසේ වෙතත් මෙම ලිපිය අප අතට පත්වන්නේ අදාළ පුවත වැරදි බව හෝ එය නිවැරදි කළ යුතු බවට වන දැනුම් දීමක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හෝ අදාළ කිසිදු පාර්ශ්වයකින් අප වෙත දැනුම්වත් නොකළ පසුබිමකය.

ඒ අනූව මෙම බෝපගේ මහතාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අදාළ පිටපත් ද සමග ඊට පසු දිනම අප විසින් පිළිතුරු ලිපියක් යොමුකරන ලදී.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය :

එහිදී අප මූලිකව අවධානයට ලක් කරනු ලැබුවේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය යොමුකර තිබූ නිවේදනයට අනුකූලව එම පුවත සකස් කර විකාශය කිරීමට කටයුතු කළ බවයි.

2016- ඔක්තෝබර් 12 වැනිදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් යොමුකළ නිවේදනයේ මෙසේ දැක්විණි.

“කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසු ජනාධිපති තුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු අධිකරණයට ගෙනගිය ක්‍රමවේදය පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.“

එමෙන්ම අදාළ ඉහත උපුටා දැක්වීම ජනාධිපති නිල වෙබ් අඩවියෙහිද එදින ඒ අකාරයෙන්ම පළවී තිබුණි.

ඒ අනූව අප ඉදිරිපත් කළ ප්‍රවෘත්තියෙන් ජනාධිපතිවරයාගේ කතාවේ සමස්ත සංදර්භය සහ හරය විකෘති කිරීමක් සිතා මතා සිදුකර නොමැති බව මෙන්ම අදාළ ප්‍රවෘත්තිය විකාශය වූ දිනට පසුදින පුවත් පත් වලින් ද මේ අර්ථයට සමාන ආකාරයේ ප්‍රවෘත්ති පළ කර තිබුණු බවද කිව හැකිය.

රාජිත සනාථ කළා :

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පැවැත්වූ කතාවට පසුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මාධ්‍ය හමුවේ කළ කරුණු පැහැදිලි කිරීම් ද ඒ අයුරින් ම ප්‍රචාරය කර ඇති බව පැහැදිලි විය.

ඒ අනූව අදාළ මෙම ප්‍රවෘත්තියට අප ඉතා සාධාරණයක් ඉෂ්ඨ කර ඇති බව අප හැඟීම වූ අතර එමගින් මාධ්‍යවේදීන්ගේ සද්භාවය භාවිතය තවදුරටත් තහවුරු වී ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යැවූ පිළිතුරු ලිපියෙන් පැහැදිලි කර තිබුණි.

මෙවැනි කරුණු පැහැදිලි කිරීමකින් පසුව 2016 වසරේ නොවැම්බර් මස 11 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා තවත් ලිපියක් අප වෙත යොමුකරමින් පවසා තිබුණේ ඔහු විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අනූව අදාළ ප්‍රවෘත්තියේ දී ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ කතාව දෙරණ මාධ්‍ය ආයතනය මගින් විකෘති කර විකාශය කර ඇති බවට කරුණු සනාථ වී ඇති බවයි.

ඒ අනූව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට පෙර අප පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට හේතු ඇත්නම් ලිපිය යොමුකර දිනසිට දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙසද මේ ලිපියෙන් අවධානයට ලක් කර තිබුණි.

ඒ අනූව ලේකම්වරයා යොමුකළ ලිපියට අදාළව පැන නැඟී ඇති ගැටළු සහගත කරුණු පහක් අවධානයට ලක් කරමින් නැවතත් දෙරණ මාධ්‍ය ජාලය විසින් 2016 වසරේ නොවැම්බර් මස 21 වැනි දින ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත තවත් ලිපියක් යොමුකරන ලදී.

විධිමත් පරීක්ෂණයකින් පසු :

එහිදී අප පෙන්වාදී සිටියේ ප්‍රවෘත්තියක හරය වෙනස්කර පලකර ඇද්ද යන්න පිළිබඳ තීරණය කළ යුත්තේ ජනමාධ්‍ය සම්බන්ධ විශේෂඥ දැනුමක් අති අයෙක් හෝ කණ්ඩයාමක් මගින් ඊට අදාළ සියලු හේතු සැලකිල්ලට ලක් කර විනිවිද භාවයකින් යුතුව සිදුකළ විධිමත් පරීක්ෂණයකින් පසු එළැඹිය යුතු නිගමනයකින් බවයි.

එමෙන්ම අදාළ පරීක්ෂණයට කරුණු දැක්වීමට දෙරණ මාධ්‍ය ජාලයට අවස්ථාවක් නොලැබුණු අතර ඒකපාර්ශවීයව කරන ලද පරීක්ෂණයක් මත ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝණය කරමින් සාවද්‍ය නිගමනයකට එළැඹ ඇති බව ද අප යොමුකළ ලිපිය මගින් කරුණු සහිතව පෙන්වා දී තිබුණි.

තවද අප යම් ප්‍රවෘත්තියක් විකෘති කර ඇති බවට චෝදනා කළ ද, කුමන ආකාරයේ විකෘති කිරීමක් සිදුකළාද යන්න පැහැදිලිව දක්වා නොමැති බවද අප එහිදී පෙන්වා දෙන ලදී.

නැවත පරීක්ෂණයක් :

ඒ අනූව යළිත් 2016 දෙසැම්බර් 01 දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අප වෙත ලිපියක් යොමුකරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැවත පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම පරීක්ෂණ කමිටුවක් සඳහා අප ආයතනයෙන් ද සාමාජිකයෙක් නම් කර සතියක් ඇතුළත දන්වන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

එයින් අනතුරුව දෙරණ මාධ්‍ය ජාලය වෙනුවෙන් නීතිඥ සමන් සේනාධීර මහතා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ප්‍රතිචාර ලිපියක් යොමුකරන ලදී.

එම ලිපියෙන් අප නීතිඥවරයා විමසා සිටියේ 2016 වසරේ දෙසැම්බර් මස 1 සහ 14 වැනි දිනයන් හී තම සේවා දායකයාට යොමුකළ ලිපි දෙකට අනූව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සිදුකිරීමට සූදානම් වන පරීක්ෂණයට අදාළව ලේකම්වරයාට පැවරෙන අධිකාරිමය බලය සහ ඒ වෙනුවෙන් පවතින නීතිමය ප්‍රතිපාදන පැහැදිලි කරන ලෙසයි.

ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීමකින් තොරව තම සේවා දායකයාට නිසි ප්‍රතිචාර දැක්වීම අසීරු බවද දෙරණ මාධ්‍ය ජාලය වෙනුවෙන් නීතීඥ සමන් සේනාධීර මහතා එම ලිපියෙන් කරුණු පැහැදිලි කර තිබුණි.

කෙසේ වෙතත් නීතීඥ සමන් සේනාධීර මහතා යොමුකළ එම ලිපියට අදාළව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට කරුණු දැක්වීමක අවශ්‍යතාවක් පැන නොනැඟුණි.

ත්‍රිපුද්ගල කමිටුවකින් වරදකරු බවට :

එසේ තිබියදී ඉකුත් අප්‍රේල් මස පස් වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා තවත් ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබුණේ එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ත්‍රිපුද්ගල කමිටුවක් කරුණු පහකට අදාළව දෙරණ මාධ්‍ය ජාලය වරද කරු බවට තීරණය කර ඇති බවයි.

එම ලිපියෙන් ද වැඩිදුරටත් සඳහන් කර තිබුනේ අප ආයතනයට පැවසීමට යමක් වෙතොත් ලිපිය ලැබුණු දිනයේ සිට දින 14 ක් ඇතුළත ඔහු වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනූව දින 14 ක් ඇතුළත නීතිඥ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ඊට ප්‍රතිචාර දැක්වීමට දෙරණ මාධ්‍ය ජාලය කටයුතු සකස් කරමින් සිටි අතර මෙම තත්ත්වය යහපාලන රජයේ නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියට අහිතකර යැයි හැඟුණු බැවින් විෂය භාර අමාත්‍යවරයා සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන ලදී.

එහිදී අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා සමග ඉදිරි දිනක සාකච්ඡාවක් ලැබී තිබූ පසුබිමක මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අප වෙත යොමුකළ පෞද්ගලික ලිපිය සිරස ප්‍රමුඛ පුවත බවට පත්වීම කවරකුගේ කුමන අවශ්‍යතාවක් මත සිදුවූවාදැයි සැක මතුවන කරුණකි.

කීර්තිනාමයට සිදුවූ හානියට :

මෙමගින් දෙරණ මාධ්‍ය ජාලයේ කීර්තිනාමයට සිදුවූ හානියට එම ලිපිය ජනමාධ්‍යයට යොමුකළ පුද්ගලයින් නිල ‍වශයෙන් හෝ පෞද්ගලිකව වග කිව යුතු අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට අප විසින් බලාපොරොත්තු වේ.

12 වසරක් පුරා කිසිදු බලපෑමකට යටත් නොවී නිදහස් ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වෙමින් පුද්ගලික න්‍යාය පත්‍රයන්ගෙන් ඔබ්බට ගොස් සත්‍ය පුවත් වාර්තා කරන අප කෙතරම් සාධාරණ දැයි ජනතාව තීරණය කරනු ඇත.

අද මෙන්ම හෙටත් ලක්මාතාවගේ මෙන්ම ජාතීන් අතර සමගිය වර්ධනය කරමින් සත්‍ය තොරතුරු වාර්තා කරන දෙරණ ,නිබඳව මජහනතාවගේ අවශ්‍යතාව උදෙසා පමණක් කැපවෙන බව ප්‍රේක්ෂකයා හමුවේ යළි යළිත් යළිත් තහවුරු කරන්නෙමු.''

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'දෙරණ' ජනාධිපති මාධ්‍ය ඒකකය හා බෝපගේ පටලවයි !"

    Post a Comment