10 April, 2017

අනුරාධපුරයම කම්පා කරමින් දරුවන් දෙදෙනා සමග මෙලොවින් සමුගත් නදිකාගේ මරණයට හේතුව හෙළිවෙයි

Anuradhapura Nadeeka Suicide

තර්ජනය කර ලක්ෂයක කප්පමක් ඉල්ලලා...

"මම මැරුණහම දරුවන්ට ටොකු කකා ඉන්න වෙයි. ඒ නිසා දරුවනුත් මරාගෙනම මැරෙනවා"

"මම මියගියාම මගේ වකුගඩු දෙක අප්පච්චිට ලබාදෙන්න"

විහාරකල්ලංචියේ පදිංචි තරුණ මවක් මෙලොවට බිහිකළ සිය දියණියන් දෙදෙනාම ළිඳට විසිකර ඇයද ගෙල වැලලාගෙන මියයෑමත් සමඟ මුළු ගම්මානයම පෙරේදා (08දා) උදෑසන සිට එකම මළගෙයක් බවට පත්වුණා.

මවගේ අනියම් ඇසුරක් හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ හය හතර නොතේරෙන වයස අවුරුදු හතරක් වූ බුවනි නුවංජලී වීරවිජේ හා වයස අවුරුදු එකහමාරක් වූ බිඟුන්‍යා හේෂානි වීරවිජේ යන අහිංසක දියණියන් දෙදෙනාටයි.

දරු දෙදෙනා ළිඳට විසිකර ඝාතනය කිරීමෙන් අනතුරුව නිවසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී තම ජීවිතයෙන් පළිගනිමින් සියදිවි නසා ගෙන ඇත්තේ නිවාස 50 විහාරකල්ලංචිය විහාරපාළුගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක් වූ නදීකා මදුරන්ති ගුණසේකර (30) යනු නාවික හමුදා සෙබළකුගේ තරුණ බිරිඳයි.

අවාසනාවන්ත සිද්ධිය වන අවස්ථාවේ නිවසේ දරු තිදෙනා හා කාන්තාව පමණක් සිට ඇති අතර මරණකාරියගේ සැමියා වූ 31 හැවිරිදි නාවික හමුදා සෙබළා දින තුනකට පමණ ඉහතදී නිවාඩුව සඳහා නිවෙසට පැමිණ නැවතත් දියතලාවේ පිහිටි නාවික හමුදා කඳවුරේ සේවයට ගොස් තිබෙනවා.

සෙබළ සැමියාට අවසන් ලිපිය ලියූ මරණකාරිය 8 වැනිදා අලුයම 4.15ට පමණ දරු දෙදෙනා නිවෙස ආසන්නයේ පිහිටි ජලය සහිත ගැඹුරු ළිඳට විසිකර ඝාතනය කර පසුව දිවිනසාගෙන තිබුණා.

වැඩිමහල් දරුවා උදෑසන අවදි වී නිවසේ මුළුතැන්ගෙට පැමිණෙද්දී මව නිවසේ බාල්කයක එල්ලී සිටින අයුරු දැක හත් හැවිරිදි කවීෂ් අශ්මිත ඒ බව අසල්වැසි නිවසේ පදිංචිව සිටින තරුණයාට දන්වා තිබෙනවා.

ඔවුන් පැමිණ නිවසේ ‍දොර විවෘත කර බලද්දී කාන්තාව නිවෙසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සියදිවි නසාගෙන සිටින අයුරු දැක දරුවන් දෙදෙනා නිවසේ නොසිටි නිසා සැකයට මෙන් නිවෙස අසල පිහිටි ළිඳ පරීක්ෂා කරද්දී දරු දෙදෙනාගේ මළසිරුරු ජලයේ පාවෙමින් තිබෙන අයුරු දැක ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියට දන්වා ඇත.

එහි පැමිණි පොලිසිය සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඇය ඝාතනයන් සිදුකර දිවිනසා ගැනීමට පෙර සිය මරණය දැන්විය යුතු මව සහ පියාගේ දුරකතන අංකයන් මුළුතැන් ගෙයි පිහිටි පිටුපස ‍ෙදාරේ පිටතින් අලවා තිබෙනු දැක තිබෙනවා.

අසල්වාසීන්ගේ දැන්වීම මත මහවිලච්චිය ගම්මානයේ සිට එහි පැමිණ සිටි මියගිය කාන්තාවගේ මව පියා ඇතුළු ඥාතීන් ඇයි දෙයියෝ මේ බෝනික්කෝ දෙන්නා මරා ගත්තේ..? මේ වගේ අපරාධයක් කරේ ඇයි යනුවෙන් පවසමින් විලාප දෙමින් හඬා වැටී ඇත.

ඔවුන් පැවැසුවේ මෙවැනි අවාසනාවන්ත ඉරණමක් සිදුකර ගැනීමට තරම් විශාල ප්‍රශ්නයක සිය දියණිය සිටින බව කිසිවකු නොදත් බවයි. අවුරුද්දට මිලදීගත් ඇඳුම් අරගෙන මහවිලච්චියේ පිහිටි නිවෙසට පැමිණෙන බව ඇය දින දෙකකට පමණ ඉහතදී දුරකතනයෙන් පැවැසූ බවත් අසල්වැසියන් සිටින නිසා කිසිදු කරදරයකින් තොරව සිටින බවත් ඇය පසුගිය දිනෙක සිය මව වෙත පවසා තිබුණා.

පොලිසිය නිවෙසට ඇතුළු වී මරණකාරියගේ අත් අකුරින් ලියා අභ්‍යාස පොතක් තුළ දමා තිබූ පිටු හතරකින් යුතු ලිපියක් සොයාගෙන තිබුණු අතර ඇය අසල්වැසි පුද්ගලයකු සමඟ පැවැත්වූ අනියම් සබඳතාවක් තවත් පුද්ගලයකු විසින් ඡායාරූප ගත කර බිය ගන්වමින් විටින් විට මුදල් ඉල්ලීම නිසා දරුවන්ද මරා දමා ඇයත් සියදිවි නසාගන්නට ඇති බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

තරුණියගේ අනියම් සබඳතාව දැනගත් පුද්ගලයා විටින් විට ඇයව බියගන්වමින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇතත් ඇය විසින් ඔහුට රුපියල් 3000ක මුදලක් පමණක් ලබාදී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අනියම් සම්බන්ධතාවය සැමියාට පවසන බවට තර්ජනය කරමින් ඔහු කාන්තාව බිය ගන්වා ඇති බව සිදුකළ පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර බිය හා ලැජ්ජාව හේතුවෙන් ඇය අවාසාවන්ත තීරණය ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.

''මම මියගියාම මගේ වකුගඩු දෙක අප්පච්චිට ලබාදෙන්න. මගේ ඇස්දෙක පෙනීම නැති කෙනෙකුට දෙන්න. මේ කිසිදේකට මගේ මහත්තයා වග කියන්න ඕන නෑ. මම දරුවන් තුන්දෙනාම මරලා මාත් මැරෙනවා'' යනුවෙන් ලිපියේ සඳහන් කර තිබිණි. දරුවන්ගේ පංචායුධ රන් මාල, මුදු හා සඟවාගත් මුදල් සියල්ල නිවෙසේ තියෙනවා. මම මැරුණහම දරුවන්ට ටොකු කකා ජීවත් වෙන්න සිද්ධවෙයි. ඒ නිසා දරුවනුත් මරාගෙනම මැරෙනවා" යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.


(හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනුරාධපුරයම කම්පා කරමින් දරුවන් දෙදෙනා සමග මෙලොවින් සමුගත් නදිකාගේ මරණයට හේතුව හෙළිවෙයි"

    Post a Comment