12 August, 2017

ඉඩක් දුන්නොත් හඳත් අල්ලමු

dompe-maha-vidyalaya-dancing
බස්නාහිර පළාතේ එකම පාසල දොම්පේ මහා විද්‍යාලය
තරග සඳහා අවශ්‍ය ඇඳුම් අයිත්තම් සඳහා පවා පාසල සතුව මුදල් නොතිබීම නිසා එම මුදල් පවා සොයා ගෙන ඇත්තේ මාපියන්ගේ සහ ගමේ අයගේ උපකාරයෙනි.මේ ආකාරයට සහයෝගය නිසා සොයා ගෙන ඇති මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකට අධිකය.

මෙන්න තවත් තරඟ ප්‍රතිඵලයක් 'දහ තුනෙන් පහළ මීටර සියය දිවීමේ තරඟය. පළමුවැනි ස්ථානය අංක විසි හත, කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි' මේ අප උපුටා ගත්තේ අනූව දශකයේ පාසල් පෙළ පොතක පිටුවකින් කොටසකි.

එදා කැකිරාවේ මුදලිහාමි කොළඹ ආවේ මීටර් සියය දුවන්නටය පයට සපත්තුවක්වත් නොමැතිව පැමිණි ඔහුට ජයග්‍රහණය කිරීමට පුළුවන් කම ලැබුණි. මුදලිහාමි ලැබූ ඒ ජයමාවත වැටී තිබුණේ අපමන බාධක හා කරදර රැසක් මැදිනි. ආර්ථික සවියක් නැති වුවද මුළු රටෙන්ම එකට ඒමට ගමේ දරුවන්ට ඇත්තේ උපතින් ගෙන එන ශක්තියකි. ජවන පිටිය ඉසව්වලට පමණක් නොව නැටුම් සංගීතය වැනි ඉසව්වලටද මේ කතාව පොදුය. නගරයේ පාසල්වලට හැම දේටම විශේෂඥ දැනුම ඇති උපදේශකවරු ගෙන එන්නේ ඉහළ මිලක් ගෙවමිනි. ඔවුනට පාසලේ ඇත්තේද නූතන පහසුකම්ය. එහෙත් නගරයෙන් එපිටට වන්නට ඇති පාසල්වල ගැමි දරුවන්ට ඇත්තේ හිතේ හයිය සහ සීමිත පහසුකම් ප්‍රමාණයක් පමණි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය සියල්ලෙන් පරිපූර්ණ දිස්ත්‍රික්කයක් ලෙස බාහිරෙන් බලන්නෙකුට සිතුණද එහිද නොදියුණු මට්ටමේ පාසල් තිබේ. මෙවන් පාසල්වල සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රණ ලැබූවන් රැසක් සිටිති. එහෙත් එවැන්නන් ගැන කතා කරන්නේ අල්ප වශයෙනි.

දොම්පේ මහා විද්‍යාලයද සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් පාසලකි. මේ වසරේ සමස්ත ලංකා නර්ථන 15න් පහළ සමූහ නර්ථන ජන නැටුම් තාලම් පළමු ස්ථානය සහ මිශ්‍රසමුහ නයියඩිවන්නම සමස්ත ලංකා දෙවන ස්ථානය දෙඅංශයෙන්ම ජයග්‍රහණය ලබා ගත්තේ දොම්පේ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ය. මෙය නිකම්ම නිකම් සමස්ත ලංකා ජයග්‍රහණයකට එහා ගිය විජයග්‍රහණයක් වන්නේ පාසලක තිබිය යුතු අත්‍යාවශ්‍ය පහසුකම් පවා නැතිව ඔවුන් මේ ජයග්‍රහණය වෙත යොමු වීමය. මේ මහා ජයග්‍රහණය පසුපස තිබූ එකම ශක්තිය වූයේ දරුවන්ගේ සහ නර්ථන භාර ගුරුතුමිය වන තනූජා සජීවනී අතුකෝරළ මහත්මියගේ සහ දරුවන්ගේ අසීමාන්තික කැපවීමය. “ මට ඕනැ වුණේ දරුවන්ව ඉස්සරහටම අරන් යන්න“ තනූජා ගුරුතුමිය තුළින් අප දුටුවේ එදා අප දුටු පරමාදර්ශී ගුරුතුමියකගේ ප්‍රතිරූපයයි. ගුරුතුමිය වෙත මේ මහා කාර්යභාරය ඉටුකිරීමට සහාය ලබා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ගුරුතුමියක වන මාලා චාන්දනී මහත්මිය විසිනි.

තනූජා සජීවනි අතුකෝරළ ගුරුතුමිය මද නිහඬියාවකින් පසු අප සමග යළි කතාබහට එක් වූවාය. “ මේ දරුවන් මේ ජයග්‍රහණයට ගියේ මල් මාවතක නොවෙයි. බාධා ගොඩක් තිබුණා ඉඩකඩ ඇතිව නටන්න වේදිකාවක් තිබුණේ නැහැ. නැටුම් කාමරයක් තිබුණට ඒකේ දහයකට පුරුදු වෙන්න බැහැ. අනෙක මේ නැටුම් කාමරය තියෙන්නේ ඉස්කෝලෙ මැද්දට වෙන්න . අපේ දරුවො පුහුණු වෙද්දි අනෙක් දරුවන්ට බාධයි. “ ඇය කියන කතාවේ සැබෑවක් තිබේ පාසලේ ළමුන් අටසියයක් සිටියද ඇත්තේ සීමිත ගොඩනැගිලි ප්‍රමාණයකි. එම අඩුපාඩුව මකා දැමීම සඳහා තාවකාලික පන්ති කාමර ඉදිකර තිබුණද පාසලේ ඇති අඩුපාඩු මේවායින් මැකී යන්නේ නැත.

“ එතකොට දරුවෝ මේතරම් හොඳට පුහුණු වුණේ කොහොමද.?“ අපට සිතුණි. අපේ ඒ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙන් තනූජා මහත්මිය යළි සිය හඬ නැවත අවදි කළාය.“ අපි ගොඩක් පුහුණුවීම් කළේ දොම්පේ ප්‍රජාශාලාවේ වේදිකාවේ මේ වැඩේට එහි ලේකම්තුමිය ලොකු උදව්වක් කළේ බැරිවෙලා හරි ඇය ප්‍රජාශාලාව දෙන්න බැහැ කීවනම් අපට නටන්න වෙන්නේ මහ පාරෙ. ඇය කියන ආකාරයට දොම්පේ දරුවන් පත්ව ඇති අසරණකම කෙතෙක්දැයි අපට වටහා ගත හැකිය.නමුත් මොන බාධක තිබුණද උපන් හපන් කම් යට කළ නොහැකි බව ඔවුන් මෙමගින් තහවුරු කර තිබේ. ගම්පහ නගරයේ ඇති ප්‍රධාන පාසල්වල පුහුණු වීම් සඳහා දරුවන් රැගෙන ගොස් ඇත්තේ තනූජා ගුරුතුමියගේ අතේ වියදමිනි.

තරඟ සඳහා අවශ්‍ය ඇඳුම් අයිත්තම් සඳහා පවා පාසල සතුව මුදල් නොතිබීම නිසා එම මුදල් පවා සොයා ගෙන ඇත්තේ මාපියන්ගේ සහ ගමේ අයගේ උපකාරයෙනි.මේ ආකාරයට සහයෝගය නිසා සොයා ගෙන ඇති මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකට අධිකය. මෙවැනි මුදලක් සොයා ගැනීම දොම්පේ විදුහලේ මාපියන්ට දුෂ්කර කාර්යයකි. එහෙත් විවිධ බාධා මැද ඔවුන් එම මුදල සොයා ගෙන තිබේ. මේ සඳහා විදුහල්පති දඹොරේ පියරතන හිමියන්ගේ මැදහත් විමද ඉහළින් ලැබී තිබේ. නැටුම්වලින් පමණක් නොව සංගීතයෙන්ද අති දක්ෂයෝ මෙහි සිටිති. හාමෝනියම් වාදනය කිරීමෙන් සමස්ත ලංකා ජයග්‍රහණය ලැබූ පැතුම් ඒ දස්කම් නිසාම කොළඹ රාජකීය විද්‍යාලයට තේරී තිබේ.

විදුහලට කීර්තිය ගෙන ආ සිසු සිසුවියන් දහවල පුහුණු කටයුතුවල නියැලී පාඩම් කටයුතු කර ඇත්තේ රාත්‍රියේය. දරුවන් නැටුමට මෙන්ම අධ්‍යාපනයට දක්වන කැපවීම කෙතෙක්ද යන්න තහවුරු කර ගත හැකිය.

ජාත්‍යන්තර වෙසක් උළෙලට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නර්ථන කණ්ඩායමටද දොම්පේ මහා විදුහලේ සිසුන් සහභාගී වීම එම විදුහල ලැබූ අමරණීය ජයග්‍රහණනයන් ලෙස සඳහන් කළ හැකිය. “ අපේ ඉස්කෝලේ අඩුපාඩු ගොඩයි මේන් හෝල් එකක් නැහැ ළමයින්ට නාට්‍යක් බලන්න නැටුමක් නටන්න තැනක් නැහැ. අපිටම පුදුමයි ළමයි මේ වගේ දිනුමක් ගත්තේ කොහොමද කියලා. අප සමග අදහස් පළ කළේ විදුහලේ සන්නිවේදන විෂය බාර ගුරුතුමා වන නිශ්ශංක බණ්ඩාර මහතාය. ඔහු විදුහල පුරා කැටුව ගොස් පාසලේ ඇති තත්ත්වය අපට දැක ගන්නට අවස්ථාව සලසා දුන්නේය. සමස්ත ලංකා ජයග්‍රහණ ලබා දෙන සිසුන් සිටින පාසලක තත්ත්වය මෙතරම් දුර්වල ඇයිදැයි යන්න ගැටලු සහගතය.

සංගීත විෂය බාර මාලතී‍් ඉඹුලාන මහත්මිය අප වෙත කීවේ එකම කතාවකි.“ මේ ඉස්කෝලේ කලාවට දක්ෂ දරුවෝ ගොඩක් ඉන්නවා ඇත්තෙන්ම මේ අය ඔප නොදැමු මැණික් වගේ සමහර විට නන්දා මාලිනීලා, අමරදේවලා , පණීභාරත වැනි දක්ෂ සංගීතඥයෝ නැටුම් ශිල්පියෝ වගේ අය ඉන්න පුළුවන් අවශ්‍ය වන්නේ අතහිත දීම සහ පහසුකම් වැඩි කරන එකයි. නගරයේ ඉස්කෝලවලට ඇති පහසුකම් වලින් කාලක් මේ ඉස්කෝලේ නැහැ. ඒත් නගරෙ ළමයින්ට වැඩිය මේ ළමයා දක්ෂයි.“ මාලතී ටිචර්ගේ කතාව සැබෑය.

පාසල ලැබූ ජයග්‍රහණයේ අනෙක් සුවිශේෂත්වය වන්නේ මෙම නැටුම් තරඟාවලියේ අවසන් වටයට තේරි තිබූ බස්නාහිර පළාතේ එකම පාසල දොම්පේ මහා විද්‍යාලය වීමයි. එනිසා කළ යුතු දේ වන්නේ මේ පාසල ඉහළට නැංවීම සඳහා මෙන්ම සිසුන්ගේ කලා හැකියාවන් ඉහළ නැංවෙන ආකාරයේ වැඩ පිළිවෙලක් සකස් කිරීමය.

මෙම ජයග්‍රාහී නර්ථන කණ්ඩායමේ දස්කම් දැක්වූ සිසු සිසුවියන් අතර ඩිල්මික එෂාන් සුවිශේෂය. “ කොහොමද දිනුම.? අප ඩිල්මිකගෙන් විමසුවෙමු. වරදක් නැහැ.කියන්න බැරි තරම් සතුටුයි ඔහු අප සමග කතා කළේ හිතේ උතුරා යන සතුටිනි. “ අපිට හාමුදුරුවො මග පෙන්වූවා ටීචර් අපිට හැම දෙයක්ම කියලා දුන්නා ඒ හින්දා තමයි අපිට ජාතික මට්ටමට යන්න පුළුවන් වුණේ. ඒ විතරක් නොවෙයි අම්මලා තාත්තලත් අපිට හැම වෙලාවෙම ශක්තියක් වුණා.. ඇත්තේන්ම හැම අම්මෙක්ම තාත්තෙක්ම අපට උදව් කළේ තමන්ගෙ දරුවන්ට වගේමයි.. අපිට මීට වැඩිය දේවල් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා නම්.“ ඩිල්මික අනාගතය ගැන පළ කළේ සුබදායක ආකල්පයකි. ඩිල්මික සමග එක්ව විදුහලේ නම ජාතික තලයේ රැඳවීමට කැපවූ දියණියක වූයේ පබෝධ්‍යා මෙත්මිණි ය ඇය ට තම පාසල ගැන මෙන්ම ලැබූ දිනුම ගැන ඇත්තේ බලවත් සතුටකි.“ මම පුංචි කාලේ ඉඳලා නැටුම් කරනවා . මගේ එක් බලාපොරොත්තුවක් තමයි මේ අංශයෙන් ඉහළට යාම. ඒකට ලොකුම සවියක් වුණා පසුගිය කාලයේදී අපේ ඉස්කෝලේ ලැබූ දිනුම් නිසා අපට පාසලට විතරක් නොවෙයි ගමටත් ලොකු කීර්තියක් ලැබුණා.

මෝදි අගමැතිතුමා පිළිගැනීමට ගිය කණ්ඩායමේ සාමාජිකයකු වන තරිඳු දිනෝජ් ට නැටුමට මෙන්ම බෙර වාදනයටද ඇත්තේ නිසඟ හැකියාවකි. “ මම මේ අංශයෙන් උඩටම යනවා.“ තරිඳුට නැටුම් කලාව තුළින් ඉදිරියට යාමට ඇත්තේ බලවත් ආශාවකි. මට මේ ගමනට ඉස්කොලෙන් වගේම ගෙදරිනුත් ලැබෙන්නේ විශාල සහායක්.“ අපි මේ තරම් දිනුමක් ලැබුවේ අඩු පහසුකම් ඇතිව. මාමලා දැක්කනේ අපිට තියෙන අඩුපාඩු මොනවද කියලා.“ පත්තරේ දාලා හරි අපේ අඩුපාඩු ටික හදල දෙන්න කියලා.‘‘ තරිඳුට ඇත්තේ පාසල නැංවීම සහ ඔහුගෙන් පසුව එන අයට හෝ නැටුම් , සංගීත විෂයන් පහසුකම් සහිතව ඉගෙනීමට හැකි පසුබිමක් සකස් කිරීමේ පරාර්ථකාමී අදහසකි.

රටේ ඉහළින්ම දොම්පේ මහා විද්‍යාලයේ නම තැබූ සිසු සිසුවියන්ට මෙන්ම ගුරුවරුනටද සුවිශේෂ අගයක් ලබා දිය යුතුය. ඒ මිල මුදලින් හෝ වරප්‍රසාදවලින් නොව දරුවන්ට අවශ්‍ය කරන සහ මෙම අංශයෙන් ඉහළට යාමට හැකි පහසුකම් සහ ඉඩකඩ නිසි පරිදි ඇති කිරීමෙනි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සමන්මලි දිනමුණි මහත්මිය නැටුම් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සුවිශේෂ සහායක් ලබා දී තිබේ. එහෙත් පාසලේ පහසුකම් නැංවීම වැනි කාර්යයන් දිනමුණි මහත්මියටත් ඉහළින් සිටින රාජ්‍ය බලධාරීන් ඉටුකළ යුතු ප්‍රධාන වගකීමකි. දොම්පේ මහා විද්‍යාලය දහසක් බාධා මැද ලැබූ මේ ජයග්‍රහණයට සුබපතන අතර අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දොම්පේ මහා විද්‍යාලය වැනි පාසල් නැංවීමට ඉක්මන් වැඩි පිළිවෙලක් ඇති කරන ලෙසය.

විදුහල්පති දඹොරේ පියරතන හිමි

අපේ දරුවන්ගේ දිනුම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට දෙගුණ තෙගුණ වන්නේ අඩුම පහසුකම් තියෙද්දී මෙහෙම දිනුමක් ලැබීමයි. වෙන ඉස්කෝලවල දරුවො වැඩි පහසුකම් මැද තමයි මෙහෙම දිනුම් ලබන්නේ. ඇත්තෙන්ම අපේ දරුවො දක්ෂයි. මේ දක්ෂයො කැලේ පිපුණ මල් වගේ කැලේම පරවෙන්න දෙන්න බැහැ. කොහොම හරි ඉදිරියට ගන්න ඕනෑ. මම විදුහල්පතිවරයා විදිහට ඒ වගකීම වගකීමක් විදිහට විතරක් නොවෙයි යුතුකමක් විදිහටත් සලකලා කරනවා. ඉහළ නිලධාරී මහත්වරුත් එක්කත් කතා කරල ඉස්කෝලේ ඉස්සරහට අරන් පොඩි එවුන් ලොකු තැන්වලට යවන එක තමයි මගේ බලාපොරොත්තුව.

dompe-maha-vidyalaya-02
දොම්පේ මහා විද්‍යාලයද සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් පාසලකි

(සටහන උදිත ගුණවර්ධන - ඡායාරූපය මහින්ද විතානච්චි - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉඩක් දුන්නොත් හඳත් අල්ලමු"

    Post a Comment