13 September, 2017

මියන්මාරය රෝහින්ග්‍යාවරු යළි භාර ගත යුතුයි - බංග්ලාදේශ අගමැතිනිය

rohingya-refugees-in-a-bangladesh-camp-afp-sam-jahan

රඛයින් ප්‍රාන්තයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පළා ආ රෝහින්ග්‍යා වැසියන් යළි භාර ගන්නා ලෙස බංග්ලාදේශ අගමැතිවරිය මියන්මාරයෙන් ඉල්ලා සිටී.

සරණාගත කඳවුරක සංචාරය කරමින් අගමැතිනි ෂේක් හසීනා මියන්මාරයෙන් ඉල්ලා සිටියේ පීඩාවට පත් අහිංසක ජනයා දෙස මානුෂීය ඇසකින් බලන ලෙසය.

පසුගිය මාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා මතු වීමත් සමග බංග්ලාදේශය වෙත පළා ආ රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වේ.

"මොකද මේ අය අහිංසක මිනිස්සු. ළමයි, කාන්තාවන් පීඩා විඳිනවා. මේ මිනිස්සු අයිති මියන්මාරයට. වසර සිය ගානක් ඔවුන් එහි වෙසෙනවා. මේ මිනිස්සු එහි පුරවැසියන් නොවන බව ඔවුන් කියන්නේ කොහොමද?"

ෂේක් හසීනා , බංග්ලාදේශ අගමැතිනිය

රෝහින්ග්‍යා කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පවසන මියන්මාර හමුදාව සාමාන්‍ය වැසියන් ඉලක්ක කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මියන්මාර හමුදාව ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කරන බවත් තම ප්‍රජාව පළවා හැරීමේ අරමුණින් සිය ගම්බිම් ගිනිබත් කරන බවත් පළා ආ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් පවසති.

බිම් බෝම්බ

මේ අතර මියන්මාරය හැර පළා එමින් සිටිය දී බිම් බෝම්බවලට හසු වූ රෝහින්ග්‍යා වැසියෝ බීබීසී වෙත අදහස් පළ කළහ.

මියන්මාර හමුදා විසින් අලුතින් බිම් බෝම්බ වළලනු ලැබ ඇතැයි බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තාවලින් පැවසෙන නමුත් මියන්මාර බලධාරීහු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

බෞද්ධ බහුතරය සහිත මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කාලයක සිට වධ හිංසාවලට ගොදුරු වේ.

රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළකා ඇත.

මියන්මාරයේ මීට පෙර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පළා ආ රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් දැනටමත් බංග්ලාදේශයේ රැකවරණය ලබමින් සිටිති.

"මානුෂීය ඇසකින් බැලිය යුතුයි"

බංග්ලාදේශය තුළ නිල මට්ටමින් පවත්වා ගෙන යනු ලබන සරණාගත කඳවුරු දෙකම සම්පුර්ණයෙන් පිරී පවතින අතර අලුතින් පැමිණෙන සරණාගතයන් සඳහා ආහාර, ඉඳුම් හිටුම් සහ ඖෂධ වහා අවශ්‍ය කර ඇති බව ආධාර සංවිධාන පවසති.

ඉන් එක් කඳවුරක් වන කටුපොලොන් වෙත පැමිණි බංග්ලාදේශ අගමැතිනිය ෂේක් හසීනා, "මගේ පෞද්ගලික පණිවුඩය ඉතාමත් පැහැදිලි, මියන්මාරය මේ තත්ත්වය පිළිබඳ මානුෂීය ඇසකින් බැලිය යුතුයි" යනුවෙන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

"මොකද මේ අය අහිංසක මිනිස්සු. ළමයි, කාන්තාවන් පීඩා විඳිනවා. මේ මිනිස්සු අයිති මියන්මාරයට. වසර සිය ගානක් ඔවුන් එහි වෙසෙනවා. මේ මිනිස්සු එහි පුරවැසියන් නොවන බව ඔවුන් කියන්නේ කොහොමද?"

මියන්මාරය විසින් රෝහින්ග්‍යා වැසියන් යළි භාර ගනු ලබන තෙක් ඔවුන්ට සිය රටේ විසීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අගමැනිනි හෂීනා වැඩිදුරටත් සඳහන් කළාය.

එමන්ම ප්‍රචණ්ඩ ක්‍රියා තුළ කැරලිකරුවන්ගේ භූමිකාව හෙළා දකිමින් ඇය කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව වඩාත් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවය.

බංග්ලාදේශයේ සමාජීය 'ගැටලු'

රෝහින්ග්‍යා වැසියන් හැත්තෑව දශකයේ සිට වරින් වර බංග්ලාදේශය වෙත පැමිණ තිබේ.

නිල මට්ටමින් පවත්වාගෙන යනු ලබන සරණාගත කඳවුරු දෙක තුළ ලියාපදිංචිය ලත් රෝහින්ග්‍යා වැසියන් තිස් දෙදහසක් පමණ දිවි ගෙවති.

පසුගියදා ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමට පෙර පැමිණි ලියාපදිංචිය නොලත් රෝහින්ග්‍යා වැසියන් තුන් ලක්ෂයක් පමණ බංග්ලාදේශයේ වෙසෙන බව ඇස්තමේන්තු කර තිබේ.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය සම්පත්වල හිඟයක් ඇතිව තිබෙන බව පවසන බංග්ලාදේශ ආණ්ඩුව කොක්ස් වීදිය සහ ඒ අවට අපරාධ වැඩි වී සංචාරකයන්ගේ අඩුවක් දක්නට ඇති බව කියා සිටී.

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පිහිටි දූපතක් වෙත ඔවුන් මාරු කර යැවීමේ සැලසුමක් සම්බන්ධයෙන් මේ වසර ආරම්භයේ දී බංග්ලාදේශ ආණ්ඩුවේ අවධානය යොමු විය.

නමුත් වසරේ එක් කලකදී මුහුදු ජලයෙන් යට වීමේ අවදානමක පවතින එම දූපත මිනිස් වාසයට නුසුදුසු බව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැවසූහ.

ඇමරිකාව, චීනය සහ එක්සත් ජාතීන්

රෝහින්ග්‍යා අර්බුදය හමුවේ මියන්මාරය දැඩි දෝෂදර්ශනයට ලක්වන අතර ඒ සම්බන්ධයෙන් බහුතර මුස්ලිම් ප්‍රජාව වෙසෙන රටවල විරෝධතා ද පැවැත්විණි.

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා ඉලක්ක කෙරෙමින් එරට ක්‍රියාත්මකවන ආරක්ෂක හමුදා මෙහෙයුම් "වාර්ගික ශුද්ධයකට නිදසුනක්" බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල් - හුසේන් සඳුදා (සැප් 11) පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව මියන්මාර හමුදාවෙන් ඉල්ලා සිටියේ "සියලූම ප්‍රජාවන්ට අයත් ජනතාව උන් හිටිතැන් අහිමි වීමේ තත්ත්වයෙන් වළකා නීතියේ ආධිපත්‍යයට ගරු කර ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට කටයුතු කරන ලෙසය".

මේ අතර චීනය කියා සිටියේ "සිය රටේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට මියන්මාරය දරන්නා වූ උත්සාහයට" ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය හිමි විය යුතු යැයි තමන් සිතන බවය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මියන්මාරය රෝහින්ග්‍යාවරු යළි භාර ගත යුතුයි - බංග්ලාදේශ අගමැතිනිය"

    Post a Comment