13 May, 2017

වේදනාව නැහැ දැනුනේ - මහමෙරකි දරු සෙනෙහේ

Schamica Stevenson-01
පිළිස්සීම නිසා හිසේ කෙස් නොවැඩෙන හෙයින් මිමී කෘත්‍රිම කොණ්ඩයක් පළඳියි

ඇයට සිය සිරුරේ වේදනාව දරාගත නොහැක. එහෙත් ඇය සිය දෙවන දරුවාට ලේ කිරිකරමින් පොවන්නේ සෙසු තරුණ මව්වරුන්ට පරමාදර්ශයක් වෙමිනි.

මේ කතාව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපත ලද චමිකා ස්ටීවන්සන් (Schamica Stevenson) නම් කාන්තාවගේ ජීවිත කතාව කණපිට හැරුණේ දෙහැවිරිදි සිඟිති දැරියකව සිටියදී ඇය ජීවත් වූ නිවස ගිනි ගැනීමෙනි.

'මිමී'යන ආදරණීය නාමයෙන් අමතනු ලබන චමිකා ස්ටීවන්සන් වයස අවුරුදු දෙකේ දැරියක් ව සිටිද්දී නිවසේ බොයිලේරුවක් පිපිරීමත් සමඟ පැතිර ගිය ගින්නෙන් අටමාසයක් වයසැති ඇගේ බාල සහෝදරයා මරණයට පත්වූ අතර නිවසේ කවුළු යකඩ කූරුවලින් ආවරණය කර තිබුණු හෙයින් දරුවන් රැගෙන ගෙයින් පිටතට පැන ගැනීමට ඔවුන්ගේ මව අසමත් වූවාය.

ගින්නට ගොදුරුව දැවුණත් කුඩා මිමී ගේ ජීවිතය රැකුණාය.

මිමීගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් වැඩි හරියක් ගෙවුණේ චර්ම බද්ධ කිරීම් ඇතුළත් ප්‍රතිකාරවලටයි.

තිස් හතර වැනි වියේ පසුවෙන ඇය දැනට සහකාර සෞඛ්‍ය සේවිකාවක් හැටියට රැකියාවක නිරත වෙයි.

Schamica Stevenson-02
වයස අවුරුදු 17 වන තෙක්ම මිමීට විවිධ ශල්‍යකර්මවලට මුහුණ දීමට සිදුවිය

මේ අතර මිමී විසිවැනි වියේ පසුවෙද්දී සිය පළමු පුතු ජොෂියා (Josia) ප්‍රසූත කළ අතර තමන් පෙළන ශාරීරික වේදනා හමුවේ බිලිඳාට මව්කිරි දීමට ඇය අසමත් වූවාය.

"පුතා ඉපදුණ වෙලාවේ අවශ්‍ය තරම් කිරි එරුණේ නැහැ. මැෂිමකින් කිරි දොවල සිරින්ජරයක් මගිනුයි මම පුතාට කිරි පෙව්වේ. මට රෝහලේ පෝෂණය පිළිබඳ හෙදියක් උදව් කළා"

"පුතාට කිරි දීමකින් පසු හැම පැය තුනකට වරක් මම කිරි දොවන්න සිද්ධ වුනා.ඒත් මම දැක්ක දේ තමයි - ඇති වෙන්න තරම් කිරි නොතිබුණ බව" මිමී පවසන්නීය.

දොවන ලද කිරි සිරින්ජයකින් පෙවීම නොව කෙළින්ම දරුවාට මව්කිරි උරා බීමට සැලසිය යුතු බව පවසන මිමී සිය දෙවන දරුවාට එපරිද්දෙන් මව්කිරි දෙමින් සෙසු තරුණ මව්වරුන්ටත් ආදර්ශයක් වීමේ අධිෂ්ඨානයෙහි තමා සිටින බව පවසන්නීය.

"මට වයස අවුරුදු විස්සේ දී උපන් මගේ පුතාට කිරි පොවන්න මට බැරි වුනා. මම අනිත් අම්මාවරුන්ට මේ කතාව කියන්නේ එදා මම කළා වගේ මව්කිරි දීම අත්හැර දමන්න එපා කියන්නයි'

"දැන් මගේ දෙවැනි දරුවාට මව්කිරි උරා බීමට පුරුදු කිරීමේ අධිෂ්ඨානයකයි මම ඉන්නේ. මොකද? මගේ නෑනා සහ ඥාති සහෝදරිය ඔවුන්ගේ දරුවන්ට මව්කිරි පොවන හැටි මම දැක්කා. මමත් උත්සාහ කරන්න ඕන" ඇය පවසයි.

Schamica Stevenson-03
මිමී සිය දෙවන දරුවා 'පැරිස්' සමඟ

බරපතළ ලෙස පිළිස්සීමෙන් ලද තුවාල කැළැල් දැක්වෙන සිය ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට එකඟවීම තුළින් මිමී බලාපොරොත්තු වන්නේ සෙසු මව්වරුන් ද ඔවුන්ගේ සිරුරු කෙරෙහි විශ්වාසයක් ගොඩ නැඟීමෙහි ලා දිරි ගැන්වීමයි.

"මම මගේ ආත්ම විශ්වසනීයත්වය ගොඩ නගා ගත්තේ එක රැයකින් නොවෙයි. ඒත් මම දැන් අධිෂ්ඨානයක් තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මම මනසින් වැටිල හිටිය කාලයක් තිබුණා. මොකද? මමත් මනුස්සයෙක්! ඒත් මම නැඟී සිටිය. හරි පැත්තට. මගේ දරුවන්ට සහ දෙවියන්ට ස්තුතියි. මම දරුවන් බිහිකළා. ඔවුන් ඇති දැඩි කරනවා" මිමී පවසන්නීය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වේදනාව නැහැ දැනුනේ - මහමෙරකි දරු සෙනෙහේ"

    Post a Comment