23 August, 2017

නවා­තැ­න්පොළ ඔබයි ඔබගේ සිනා­වයි ජීවිතේ දිගු වන්දනා ගමනේ

love-couple
FilePhoto
හිතට දුකක් දැනෙන මොහොතක ඒ දුක ඩිංගක් හරි තුනී කර ගන්න මම අහන්න කැමති සිංදු කීපයක් ම තියෙනවා. සින්දු වගේම මගේ හිතේ රැඳිච්ච කවියක්, නවකතාවක කොටසක්, කියෙව්වම මගේ හිතේ දුක තුනී වෙනවා. බාගෙට වගේ මැකිලා යනවා. ඒත් රැයක් පහන් වුණාම ඒ දුක ආපහු හිතට ඇවිත් වද දෙනවා. අහන්න ආසා සින්දු අතරෙ සරල ගීත, වේදිකා නාට්‍ය ගීත වගේම චිත්‍රපට සින්දුත් මගේ මතක ගබඩාවෙ.

සුනිල් ආරියරත්න ලියපු සමහර ප්‍රේම ගීතයක්, ප්‍රේමයේ විරහව ගැන ලියපු සින්දුවක්, වෙලාවකට දුකින් පිරුණු හිත නිවනවා වගේ ම පිස්සු වට්ටනවා. මහගම සේකර, මානවසිංහ, මඩවල, සුනිල් සරත්, රත්න ශ්‍රී වගේ ගීත රචකයෝ මොන තරම් ප්‍රේම ගීත ලියල තිබුණත්, සුනිල්ගේ සින්දුවක් පහුකරගෙන යන ජාතියේ සින්දුවක් ගැන මට මතක් වෙන්නෙ නැත්තේ සුනිල් මගේ ළඟම යාලුවෙක් නිසා එයාගෙ සින්දුවලට වැඩි කැමැත්තක් තියෙන නිසාද කියලත් වෙලාවකට කල්පනා වෙනවා. ඒත් එහෙමම නෑ කියල මට හිතෙන්නෙ සුනිල් එදිරිසිංහ කියන සේකරගෙ සීතල දිය පිරි සුනිල විලයි. ගීතයට මම කොච්චර කැමැතිද කියලා හිතෙනකොට. හැබැයි මගේ හිත නම් කියන්නෙම, අපේ හිත නිවනව වගේම හිත දුකින්ම ආපහු තැවුලට අවුලට ගෙනියන සින්දුත් ලියල තියෙන්නෙ සුනිල්ම තමයි කියලා.

සින්දු ගැන සුනිල්ව මතක් වෙන්නෙ, එයා ලියපු සරල ගීත ලැයිස්තුවෙ ගීත බොහොමයක් එක්ක. ඒ ගීත එක්ක වෙන්කරන්න බැරි විදියට බැඳිලා තියෙන කටහඬ තමයි‍, අපේ හිතේ දුක මොහොතකට හරි නිවන්නේ.

ඒ වගේමයි ඒ හඬින්ම අපේ හිතේ දුක අවුලුවන්නෙත්. නන්දා මාලිනීගෙ හඬින් නොවෙයි නම්, සුනිල්ගෙ සින්දුවකින් හිතේ දුක තුනී කර ගන්න ලැබෙයි කියල හිතාගන්න අමාරුයි මට නම්. ඒ තරමටම, ඒ වචන එක්ක ඒ හඬ යාවෙලා, බැඳිලා තියෙන්නෙ මලයි, මල් පෙත්තයි, හඳයි, තරුවයි වගේ.

ඒත් මම මේ කල්පනා කරන්නෙ ඇයි මම දුක් වෙන්නෙ? කවුරු නිසාද දුක් වෙන්නෙ? දුක් වෙන්න තරම් විශාල ප්‍රශ්නයක් මට තියෙනවද? බුදුහාමුදුරුවො දේශනා කරපු දුඃඛ සත්‍යය මතක් වෙනවා මේ වෙලාවට. දුකට හේතුව, දුක නැතිකිරීමේ මාර්ගය. හැම දේකින්ම හිත අවුල්වෙලා කියාගන්න, ලියාගන්න බැරි වේදනාවක් පපුව ඇතුළෙ හිරවෙලා තෙරපිලා රිදුම් දෙන වෙලාවකට තමයි, දුක නිවන සිංදුවකට ළං වෙන්න හිතෙන්නේ.

දුක නිවන සිංදු නම් සුනිල් ලියපු නන්දා ගායනා කරන සිංදු. ඒ වගේම හිත නිවන ආදර ගීත අතර වේදිකාවෙන් ඇහිලා, දැකල, හිතේ නිදන්වෙච්ච ගීත. සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ ගීත, සුනිල්ගෙ ගීතවලට දෙ‍ෙවනි නෑ. කොපමණ ඇහුවත් පිපාසාව සංසි‍ඳෙන්නෙ නැති පෙමතො, ස්වර්ණතිලකාගෙ ගීතය. ඇදුරුතුමා වන්න මගේ නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර. මොන තරම් අපූරු ආයාචනයක්ද, කිසිම දිනක සිල්ප ලබා නොගත්ත ආචාර්යවරයෙකුගෙන් ඔහුගෙම තරුණ බිරිඳ ඉල්ලා සිටින? ඈ කිනම් බිරිඳක් ද? ඇගේ රූ සපුව?

‘ස්වර්ණ වර්ණය ඇගේ දේහය
ස්වර්ණ මාලා කලඹ සදිසිය
සිහින් සිරුරින් නිකුත් රශ්මිය
මෝහ කරවන දනන් චිත්තය
වර්ණ ගන්ධ ස්පර්ශ ඈ යුතු
දුටු ඇසි‍ල්ලෙහි රාග මොලවන
ඇගේ නම විය ස්වර්ණතිලකා...’

උද්දාල බමුණු තෙම දුක් ගන්නේ කෙබඳු ලියක් වෙනුවෙන් ද?

‘ළඳකගේ ඇස් මිණි, පහන් ලෙස
දිලෙන බව නෙක කවීන් කී බස
නොඇදහූයෙමි තතු නොදත්තෙන්
ඔබ දුටු වේලේ සැබෑවිය එය...’
උද්දාල බ්‍රාහ්මණයෝ ස්වර්ණතිලකා තමා අසලම සිටියත් දුක්වන බවයි කියන්නේ?
මා කෙරේ සෙනේ ඇති
කෙනෙක් නැත මුළු ලොවේ
පාලු කතරකි මා හද

මේ වගේ ගීත මගේ හිතේ දුක නිවන්නට යම්තම් හරි උදව්වෙනව කියල හිතෙන්නෙ, මගේ හිතත් මේ වගේ පාලු කතරක් බවට පත්වෙලා තියෙන මොහොතකද? මගේ වටේ කොයිතරම් දෙනා ඉන්නවද? මිතුරු මිතුරියො, ශිෂ්‍ය ශිෂ්‍යාවො, ඔවුන්ගෙ භක්තිය, මම ගැන ඔවුන් නිතරම හිතන හැඟීම්? ඒත් ඒ එකක්වත් සෙනෙහස ද ආදරය ද? උද්දාල බමුණා ආදරය සෙනෙහස දකින විදියටම නොවිද මටත් ආදරය දිහා බලන්න සිද්ධ වෙලා තියෙන්නෙ?

‘ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස...’

ස්වර්ණතිලකා, ඇදුරිඳුගෙන්, සැමියාගෙන් ඉල්ලා සිටින්නේ මොනවාද?

‘ඇදුරුතුමා වන්න මගේ
නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරිදුර්ගය
නගින්න අත්වැලක් දෙන්න...

දුකක් දැනුණු මොහොතක , ජීවිතය මේ යැයි අපේ හදවතට ළංවන මේ වගේ ගීතයක්, නන්දා මාලිනීගේ හඬින් හරි ඉන්දිකා උපමාලිගේ කටහඬින් හරි ඇහෙනකොට දුක මොහොතකට මැකී යනවා සත්තයි. ඒත් ඒක තාවකාලික සැනසීමක් නේද කියලා මට ආපහු මතක් කරවන්නෙත් මහාචාර්ය සරච්චන්ද්‍රමයි. හැබැයි, ඒක කවියක්වත් ගීතයක්වත් නෙවි. නොරිකොගෙ වචන මළවුන්ගේ අවුරුදු දාවල.

‘‘එතකොට ඔබ හෙට නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙක ම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගේ ම හෙටත් කවුරුත් නැගිටනව, කනව, බොනව, වැඩට යනව, කතාබහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.’’

ස්වර්ණතිලකා, නොරිකො, දුකට පත්වෙලා ඉන්නකොට ගායනා කරපු සිංදු, කියපු දේවල්, මට හිතෙන්නෙ මගේ දුකම ඒගොල්ලන්ගෙ හදවතින්, මුවින් කියවුණු දේ කියලා. නොරිකොට, දෙවෙන්දොරා නැතුව දැනෙන තනිකම, පාලුව, දුකම නොවිඳ මාත් මේ අත්විඳින්නෙ? සිරි ගුණසිංහ කවියා කිව්ව වගේ සීතල දියර ඉරක් සේ, ගලා බසී හද තෙමා බසී වගේ මගේ අපේක්ෂාවනුත්. සුනිල්ගෙ කල්පනාවලින් නන්දා මේ ආමන්ත්‍රණය කරන්නෙ කාටද? එයාගෙ නවාතැන්පොල කවුද කාගෙද ඒ සිනාව? ඒ වචන මගේ නම්, මගේ නවාතැන්පොල, නවාතැන්පොල අයිතිකාරියගෙ හිනාව?

‘‘නවාතැන්පොල ඔබගේ හිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ...’’

සුනිල් කොයිතරම් අපූරුවට ජීවිතේ දකිනවද? ජීවිතේට අර්ථකථනයක් දෙනවද? ජීවිතේ දිගු වන්දනාවක් නම්, ඒ වන්දනා ගමනේ හමුවන නවාතැන්පොල ඔබත්, ඔබගේ හිනාවත් නම්, දිගු වන්දනා ගමනක විඩාව, තැවුල මොහොතකට හරි තුනී වෙන්නෙ එතැන නේද?

‘‘ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරග බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ...’’

දිගු වන්දනා ගමනේ මට හමුවෙන ඔබත්, ඔබගේ හිනාවත් නවාතැන්පොලක් වගේ. ගිමන, වෙහෙස නිවාගන්නට ඉදිවුණු. කොහේද මේ නවාතැන? නිල්ල දිලෙනා නිම්නයක? ආලයේ වන බිඟුන් බමන හඬ. ස්නේහයේ ජල තරග බි‍ඳෙන හඬ? ඒ වගේ නවාතැනක් මට කොහේද?

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ
නවාතැන් පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ...

දයාවේ සඳ සිසිල ලැබෙන, සාමයේ මඳ පවන හමා යන නවාතැනක් සිහිනයක් නෙවිඳ කියලයි මට හිතෙන්නෙ. ඒත් හිම මිදෙන මිටියාවතක හැමදාම උණුසුම් දෙන තැනක්? හිම මිදෙන මිටියාවතක, හැමදාම උණුසුම දෙන ඔබේ නවාතැනක්, නිල්ල දිලෙන නිම්නයක කිසි දවසක ගරා නොවැටෙන නවාතැනක් කියන්නේ, ෆැන්ටසියකදී දකින හිනාවක් ද? ඒ හිනාව අයිති ආදරවන්තියක් ද? නන්දාගෙ හඬින් ප්‍රේමවන්තියක් දකින්නෙ දිගු ජීවිත වන්දනා ගමනකදී මුණගැහුන නවාතැනක් වගේ ආදරවන්තයෙක්, ඔහුගේ හිනාවක්? ඒත් මම කල්පනා කරන්නෙ, නන්දත් සුනිලුත් දකින දීර්ඝ වන්දනා ගමනේ යන්නෙ මම කියලා. නවාතැනත්, හිනාවත් දකින්නෙ මම. ඒත්, මම දකින නවාතැන්පොල ගරාවැටිල නේද? හිම මිදෙන මිටියාවතේ හැමදාම උණුසුම තියෙනව කිව්වත්, උණුසුමින් තොර හිම මිදුණු මිටියාවතක නේද මම තනිවෙලා ඉන්නෙ? තනිකම ගැන, හෙට දවසෙ බලාපොරොත්තුවක් ගැන ජීවිතේ දිගු වන්දනා ගමනක නවාතැන්පොළක්, හිනාවක් ගැන මම ඉන්නෙ මායාවකද නැත්නම් හීනෙකද කියල මට කල්පනා වෙන්නෙ සුනිල්ගෙ නන්දගෙ මේ වගේ සින්දුවක් ඇහෙන වෙලාවට. මහ රෑක තනිවෙලා ඉන්න මොහොතක, මේ සින්දුව ඇහෙනකොට ඇහැට කඳුළක් උනනව. ඒත් ඒක කාටවත් පේන්නෙ නෑ, දැනෙන්නෙ නෑ. ඒ කඳුළම කඩදාසියක අකුරු බවට පත්වෙලා බොඳවෙලා යනවා. දියවෙලා යනවා. මේ වගේ ලියවිල්ලකට එකතු වුනොත් නම් හුඟාක් දෙනා දුක්වේවි, කම්පා වේවි, දවසක් දෙකක්. ඒත් ඊට පස්සෙ නොරිකො කිව්ව වගේ, හැමෝම නැගිටල කාල, බීල, කතාබහ කරාවි. වැඩට යාවි. මාත් මේ හුඟාක් දේවල් කරාවි. ඒත් මම විතරයි. ඔබ නෑ, ඔබ කවුරුවත් ම නෑ. ඒ දැනෙන හිස්කම, පාලුව කාටවත් කියල දෙන්න අමාරුයි. පෙන්නන්න අමාරුයි. විඳලම බලන්න ඕන වේදනාවක්. ඒත් නවාතැන, නවාතැනේ හිනාව, ගරා නොවැටෙන, හිම මිදෙන මිටියාවතක සුනිල් නන්දා කියන වර්ගයේ නවාතැනක් හීනයක් ම විතරක් බව නම් හැඟෙනවා. (බුද්ධදාස ගලප්පත්ති - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නවා­තැ­න්පොළ ඔබයි ඔබගේ සිනා­වයි ජීවිතේ දිගු වන්දනා ගමනේ"

    Post a Comment