01 June, 2017

ආදරණීය දරුවනේ අම්මලා මහපාරේ

Elderly Homes

කවියෝ මවකගේ ආදරය සඳට උපමා කළෝය. ඇය දරුවන්ගේ ජීවිතයට සදාකාලිකවම ආලෝකයක් වූවාය. ඇතැමුන් ඇය මේ මහ පොළොවට සමාන කළෝය. ඇය මහ පොළොව සේ සියල්ල දරාගත්තාය. එවන් වූ සියල්ල දරාගත් අම්මාවරු අද තම දරුවන් දකින්නට මහලු නිවාසවල දොරකඩට වී පෙරමං බලා සිටිති. මහමෙරක් තරම් විශාල වූ අප්පච්චිගේ ආදරය බොහෝ වෙලාවට වචනයෙන් විස්තර නොවිණි. මෑණියන් ආදරය මුළු හදවතින්ම පවසද්දී අප්පච්චි ඒ ආදරයේ හැඟීම් යටපත් කොට සිටියෝය. එවන් වූ අප්පච්චිලා අද මහලු නිවාසවල අහස දිහා බලා හුදෙකලාව හූල්ලති.

දසමසක් කුසේ හොවා ලේ කිරිකර පොවා අම්මාගේ ලේ කිරිවලට හැරුවුණේ අපගේ මාතෘත්වයේ ආදරයෙනි. ලෝකයේ උතුම්ම පදවිය වූ මව්පදවිය දිනාගනිද්දී ඈ සැබෑ රැජනක්ම වූවාය. පුංචි පුතුගේ, පුංචි දුවගේ රෝගී පාට තොල්පෙතිවලට හාද්දක් දුන් අම්මාගේ ශරීරයේ ඇති වේදනාවන් ඇයට නොදැනුණි. පුතුගේ ජීවිතේ පළමු ඇඬුමෙන් අම්මාගේ ලෝකයේ සතුටු කඳුළු වැක්කෙරිණි.

ජීවිතේ බර කර පින්නාගෙන මුළු පවුලම තම කර මතට ගත් පියවරුන් පුංචි පුතුගේ ලෝකයේ වීරයා විය. නමුත් එවන් වූ වීර අප්පච්චිට අතපය උස් මහත් වූ දරුවන් මහලු මඩම්වලට ගොස් ඇරලවන්නට තරම් ඒ අත් පව්කාර විය.

අද බොහෝ මාර්ගවල මහලු අම්මාවරු පියවරු අනුන්ගෙන් සිඟමන් අයදිති. හරිහැටි ඇඳුමක් නැතිව කුසට අහරක් නැතිව හිස් වුණු බෙලෙක් ටින් එකත් අතේ ගෙන ඔවුහු හිස් වෙච්චි ජීවිතේ අතීතය දවස ගානේම ආවර්ජනා කරති.
මෙවැනි පියවරු, මව්වරුන්ට මහලු වියේදී මෙසේ දරුවන්ගේ පිහිට නොලැබුණේ ඇතැම් මව්පියන් විසින්ම සිදුකළ ක්‍රියාකාරකම් නිසාද විය හැකිය. අද ඇතැම් පියවරු බිරින්දෑවරුන්ට කුඩා දරුවන්ට නොසලකා හරිති. ඔවුහු මත්පැන්වලට අනියම් ඇසුරට ගිජු වෙති. ඇතැමුන් නීතියෙන් විවාහ වූ තම බිරිඳ හා තමන්ට දාව උපන් දරුවන්ට තාඩන පීඩන කර වෙන කාන්තාවන් ඇසුර පතා ඔවුන්ගේ පහස ලබති. නිත්‍යනුකූල බිරිඳ තම කුඩා දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී හදා වඩා ගනියි. තනි වීරියෙන් ඔවුන්ව උස් මහත් කරයි.

අවසානයේදී තම මවගේ පමණක් වීර්යයෙන් ලෝකය ජයගත් දරුවන්ට පිය සෙනෙහසක අරැමය කියා දීමෙන් පලක් වේද? කුඩා කල නොතිබූ ආදරය ඔවුන් දවසක වෛරයක් කර ගත්තාට එය අරුමයක් නොවේ. නමුත් දරුවන් කුඩා කල අනියම් කාන්තාවන්ගේ ඇසුර ලැබූ පියාට ජීවිතේ හැමදාමත් අනියම් ඇසුර පවත්වාගෙන යා නොහැක. නමුත් නැතිබැරි කල වයසට ගිය පියාට, උස් මහත් වුණු අමාරුවෙන් ලෝකය ජයගත් දරුවන්ගේත් ආදරය සෙනෙහස නැවත ලබාගත හැකිද....? අවසානයේදී එවැනි පියවරුන්ට උරුම වන්නේ මහලු මඩම්ය. නැතහොත් මහපාරය. මෙය බොහෝ දෙනකු නොසිතන නමුත් මේ සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයකි.

කුඩා කාලයේදීම තම දරුවන්ගේ ගෙල මිරිකා මරන්නට තැත් කරන, ළිඳකට, ගඟකට අතහරින පාපකාරී මව්පියන් අප සමාජයේ නැතිවා නොවේ. ඇය එම උතුම් මාතෘ පදවියටත් අපහාසයකි.

අද වෙද්දී හතු පිපෙන්නා සේ මහලු මඩම් බිහිවෙමින් පවතී. දරුවන්ගේත් මාපියන්ගේ ක්‍රියා කලාපයන් ඊට හේතු වේ. මව්පියන්ගේ වටිනාකම් නොදත් අධම දරුවන් මෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය කලකදී තම ආදරය සෙනෙහස නොදුන් අවාසනාවන්ත මව්පියන් හේතුවෙන්ද මෙම වැඩිහිටි නිවාස බිහිවෙමින් පවතී.

අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූදේ ගැන පසුතැවිලි වෙති.

අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූ දේ ගැන පසුතැවිලි වෙති.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාස සංඛ්‍යාව තුන්සිය හයකි. එයින් වැඩිහිටි නිවාස හයක් රජයේ වැඩිහිටි නිවාස ලෙසින් හඳුන්වන අතර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩිහිටි නිවාස තුන්සීයක් පාලනය කරයි.

මේ සම්බන්ධව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධක අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක සුමින්ද එස්. සිංගප්පුලි මහතා (දේශයට) මෙසේ අදහස් දැක්වීය.

“අද වෙද්දී වැඩිහිටි නිවාස රජයේ පමණක් නොව පෞද්ගලික වැඩිහිටි නිවාසද ඇතිවෙලා තියෙනවා. මේ වෙද්දී ලියාපදිංචි වී ඇත්තේ තුන්සිය හයයි. එයින් රජයේ වැඩිහිටි නිවාස 6යි. අනිත් සියල්ල රාජ්‍ය නොවන සංවිධාන, පදනම් මගින් කරනු ලබන හා පෞද්ගලික අංශ මගින් කරනු ලබන වැඩිහිටි නිවාසයි. මීට අමතරව ලියාපදිංචි නොවුණ වැඩිහිටි නිවාසයන්ද අද වෙද්දී බිහිවෙලා තියෙනවා.”

මෙම වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් මේ වෙද්දී අටදාස් පන්සීයකට ආසන්න පිරිසක් ජීවත්වන බව නිගමනය කොට ඇත. වැඩිහිටියන් සේ සලකන්නේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ය. මෙම වැඩිහිටියන්ගේත් දරුවන් සිටින සහ දරුවන් නොසිටින වැඩිහිටියන් ලෙස වර්ග කිරීමක් කළ නොහැකි වුවත් වෙනත් වර්ගීකරණ කිහිපයකට යොමු කිරීමට පුළුවනි.

මේ අතර ඇතැම් වැඩිහිටියන්ට දරුවන් ජීවත්ව සිටියද, දරුවන්ගෙන් සැලකුම් ලැබීමට නොහැකිව සිටී. ඇතැම් වැඩිහිටියන්ගේ දරුවෝ පිටරට ජීවත් වෙති. එබැවින් හුදෙකලා ජීවිත ගත කරන වැඩිහිටියන්ව ඔවුහු වැඩිහිටි නිවාසවල නතර කරති. මේ අතර කාත් කවුරුවත් නැති අවිවාහක අසරණ වැඩිහිටියන්ද, දරුවන් නොසලකා හැරීම නිසා වැඩිහිටි නිවාසවල පිහිට පතන අසරණ වැඩිහිටියන්ද මේ අතර සිටිති.

අද ඇතැම් දරුවෝ තම අසරණ මව්පියන් මහමඟ දමා යති. මෑතකාලයේදී වෙසක් බලන්නට, බෙහෙත් ගන්නට යැයි පවසා මහමඟ දමා යන්නට තරම් ඇතැම් දරුවන්ගේ හිත් කුරිරැ වී තිබීම බරපතළ තත්ත්වයකි. මෙවැනි අතරමං වුණු මව්පියන් පිළිබඳව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයට දැනුම් දීමක් කළහොත් එවැනි මව්පියන්ට සුදුසු වැඩිහිටි නිවාසයකට යොමු කිරීමට පියවර ගැනෙයි.

“මේ මව්පියන්ගෙන් ඇතැමුන් දරුවන් කුඩා කාලයේදී දරුවන්ට සැලකීමත් අවශ්‍ය යුතුකම් සහ තමන්ගේ වගකීම් නිසි අයුරින් කර නැහැ. ඇතැමුන් මත්පැනට යොමුවෙලා. මේ නිසා කුඩා කාලයේදීම දරුවන්ගේ හිතේ තම පියා ගැන මව ගැන ඇත්තේ වෛරයක්. කාලයක් ගියාට පසුව එම තාත්තාව එම අම්මාව අසරණ වෙලා දරැවන් ළඟට ආවාම එදාට දරුවන් බාරගන්නේ නෑ. මේ අතර තවත් සමහරු කුඩා කාලයේදී තමන්ට සෑම යුතුකමක් කළ මව්පියන්ට සලකන්නේ නෑ. මෙවැනි කොට්ඨාස දෙකේම අය අවසානයේදී වැටෙන්නේ මහපාරට.”

සිංගප්පුලි මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

අධ්‍යාපන ක්‍රමයත් සමඟ අද බොහෝ දෙනා විදෙස් ගත වෙති. මේ නිසා මව්පියෝ තම උපන් රටේ හුදෙකලා වෙති. බොහෝ මව්පියන් තම ජීවිතයේ අවසන් කාලයේදී විදෙස් ගතවන්නට අකමැතිය. මේ නිසා ඇතැම් දරුවන්ට සිදුවනුයේ මුදල් ගෙවා තම මව්පියන් වැඩිහිටි නිවාසයක නතර කිරීමය. අවුරුද්දකට වරක් හෝ අවුරුදු දෙකකට වරක් දරුවෝ මව්පියන් බලන්නට ලංකාවට පැමිණෙති. නමුත් ඇතැම්විට දරුවන් ලංකාවට එද්දී මව්පියන්ගේ අවසන් හුස්මද මේ වා තලයට මුසු වී හමාරය.

“බොහෝ වැඩිහිටියන්ට වයස්ගත වීමත් සමඟ මතකයද අඩුවී යයි. ඇතැම්හු මානසික රෝගී බවින් පීඩා විඳිති. මේ නිසා එවැනි මවුපියන්ට උරුම වන්නේ මහපාරය. වැඩිහිටියන්ට මානසික රෝගී තත්ත්වයක් ඇතිවෙද්දී දරුවන් එය වැරදියට තීරණය කරනවා. ඔවුන් තුළ “අම්මා තාත්තා අපිත් එක්ක තරහයි” යනුවෙන් අනවබෝධයක් ඇතිවෙනවා. රෝගී තත්ත්වය නිසා කළහකාරී වුවත් දරුවන් ඒ අනවබෝධයත් එක්ක වැඩිහිටියන් නිවාස වෙත යොමු කරනවා...”

සිංගප්පුලි මහතා වැඩිදුරටත් පැවසීය.

“මේ වනවිට රටේ තිබෙන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට නිවාසවලින් තාඩන පීඩන හෝ නිසියාකාර පිහිටක් ආරක්ෂාවක් නොමැති බවට අප කාර්යාලයට දැනුම්දීමක් සිදුවුවහොත් වහාම ඒ පිළිබඳව සොයාබලා ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අපි වගබලා ගන්නවා. ඇතැම් විට එම වැඩිහිටි නිවාස නතර කරන්නට පවා හැකියාවක් තිබෙනවා. වැඩිහිටියන් යනු අසරණ වූවා යැයි නොසලකා හැරිය යුතු කෙනෙක් නොවේ.”

වැඩිහිටියකු සිටිය යුත්තේ තම නිවසේය. මේ නිසා මව්පියන් තම ලෝකය දරුවන් කරගත්තා සේම තම ලෝකය මව්පියන් කරගන්නේ නම් එවිට ගෙදර ලෝකය නිතැතින්ම සුන්දර වනු ඇත.

♦ දිශානි ජයමාලි කරුණාරත් (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදරණීය දරුවනේ අම්මලා මහපාරේ"

    Post a Comment