06 June, 2017

කටාර් අර්බුදය: ගුවන් මගීන් දැන ගත යුතු දේ

Qatar Airways - 02

ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ගුවන් සේවා විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීමත් සමගය.

කටාරය ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට ඉහත කී රටවල් චෝදනා කරන අතර කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඒ අනුව කටාර් ගුවන් සේවයට අයත් යානා සිය ගුවන් කලාපයට ඇතුළුවීම ඉහත කී රටවල් විසින් වළකනු ලැබ ඇත.

මෙම තත්වය සෘජුවම බලපා ඇත්තේ කාටද?

කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය යන රටවල් අතර සෘජුව ගමන් ගන්නා මගීන්ට ඉන් සෘජු බලපෑමක් එල්ල වනු ඇත.

එමෙන්ම එම රටවල සිට ඩෝහා අගනුවර හරහා වෙනත් ගමනාන්තයන් වෙත පියාසර කරන මගීන්ට ද ඉන් බලපෑම් එල්ල වේ.

මේ අතර කටාර් ගුවන් සේවය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව යන රටවල් වෙත සිදු කරන ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලැබීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව හෝ බහරේනය යන රටවල සිට කටාරය වෙත හෝ කටාරයේ සිට එම රටවල් වෙත ද ගුවන් ගමන් සිදු නොවේ.

එතිහාඩ්, එමිරේට්ස්, ෆ්ලයිඩුබායි, එයාර් ඇරබියා, ගල්ෆ් එයාර්, සෞදි ඇරබියන් එයාර් ලයින්ස් සහ ඊජිප්ට් එයාර් යන ගුවන් සේවා ඉහත කී මාර්ගවල මෙහෙයුම් සිදු කරන ගුවන් සේවාවලට ඇතුළත්ය.

මගීන් සිදු කළ යුත්තේ කුමක්ද?

ඉහත කී තහනමට යටත් නොවන ගුවන් තොටුපලකට පියාසර කර ඒ ඔස්සේ මගීන්ට සිය ගමනාන්තයට ළඟා වීමේ හැකියාව පවතී.

උදාහරණයක් වශයෙන් ඕමාන් එයාර් සහ කුවේට් එයාර් යන සමාගම් ඩෝහා වෙත සිය ගුවන් ගමන් සිදු කරන බැවින් මගීන්ට මස්කට් හෝ කුවේට් නගරය හරහා සිය ගමනාන්ත කරා ළඟා විය හැක.

ගුවන් තහනම කෙතරම් කාලයක් බලපැවැත්වේ ද යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ ඩෝහා සහ කටුනායක අතර ගුවන් සේවා සාමාන්‍ය පරිදී සිදු වන බවය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කටාර් අර්බුදය: ගුවන් මගීන් දැන ගත යුතු දේ"

    Post a Comment