05 May, 2017

සංගීතයෙන් හිසරදය සැනින් දුරලන හැටි මෙන්න

Nipun Thisun Kovida

වර්තමාන සමාජයේ සුලබම රෝග අතරින් ආතති හිසරදය(Tension Headaches)ට හිමි වන්නේ මුල් තැනකි. සිතට කුමක් හෝ පීඩාවක් දැනුණු සැනින් වැළඳෙන එම හිසරදය අද වන විට බොහෝ දෙනෙකු ගේ එදිනෙදා කටයුතු අඩාල සහ අක්‍රමවත් කරවීමට තරම් ප්‍රබල වී තිබේ. එනිසාම අද පැරසිටමෝල් ගණයේ වේදනා නාශක පෙති පැකට්ටුද බොහෝ දෙනෙක් තම අත්බෑග් තුළ පවා රඳවාගැනීමට පුරුදු වී සිටිති. 

එහෙත් එම පෙති ඒ හිසරද තත්වයන්ට නිශ්චිත ප්‍රතිකාර නොවනුයේ ඒවා මගින් තාවකාලික සහනයක් හිමි වුවද යළි දැඩි මානසික ආතතියක් පිවිසි සැනින් එම හිසරදය පෙර පරිදිම යළි ඉස්මතු වී ඒමය. ඒ අනුව අද සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින හිසරදය සහ වේදනා නාශක පෙති භාවිතය අතර නොබිඳිය හැකි සබඳතාවක් ගොඩ නැගී තිබේ.

එහෙත් මා ඉහත සඳහන් කළ ආතති හිසරදයේ සිට අපට එදිනෙදා ජීවිතයේ වැළඳෙන නොයෙකුත් රෝග පීඩා සඳහා ඖෂධ භාවිතයකින් තොරව නිශ්චිත සුවපත් බවක් ලබා දීමේ හැකියාවක් උත්තර භාරතීය රාගධාරී සංගීතය සතුව පවතින බව ඔබ මෙතෙක් දැන සිටියාද?

පෙරදිග සංගීතයේ එන ‘රාගය’ සාමාන්‍ය වශයෙන් නිර්වචනය කළ හැක්කේ යම් මනෝ භාවයක්, හැඟීම් සමුදායක් සෞන්දර්යාත්මක ලෙස ප්‍රකාශ කිරීම පිණිස යොදා ගනු ලබන නාද රටා සහ ස්වර සංකලනයයි. එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීතය පිළිබඳව මානව විද්‍යාත්මකව විමසා බැලීමේ දී ඉන් ඊට වඩා ගැඹුරු දාර්ශනික හරයක් ඉස්මතු කර ගත හැකිවෙයි. 

එනම් ක්‍රි.පූ.1500- 500 දක්වා අතීතයකට දිව යන ඉතිහාසයකට යොමු වන පූර්ව වෛදික යුගයේ ඇරඹුණු වේදමන්ත්‍ර (Vedic chants) වල සිට විකාශනයට සංවර්ධනයට සහ පරිනාමයට ලක්වූ විශ්වයේ පවත්නා අනේක විධ ශබ්ද සහ නාද රටා සෞන්දර්යාත්මක ආරෝපණයකට ලකිරීම් තුළින් මෙම භාරතීය රාගධාරී සංගීතය බිහි වී ඇති බවය. 

අප ජීවත්වන විශ්වයේ පවත්නා අනන්ත අපරිමාන ශක්ති ප්‍රභවයන් අතීතයේ විසු මහා ප්‍රඥා සම්පත්තියක් සේම සුවිශේෂ ප්‍රතිභාවක් සහ සංගීත රසඥතාවයන් ගෙන් යුතු සෘෂිවරුන් විසින් බිහි කරන ලද මෙම රාගධාරී සංගීත සම්ප්‍රදාය මිනිසාට සොබාදහම හා ඒකාත්මික වීමේ නිවැරදි මං පෙතක් ලෙස සහ විෂය පථයක් ලෙස ප්‍රකට වී ඇත. ලොව බොහෝ සංගීත සම්ප්‍රදායන්ට පුර්වගාමී සහ ආධ්‍යාත්මික ලක්ෂණ වලින් සපිරි මෙම රාගධාරී සංගීත සම්ප්‍රදායට සොබාදහම ආමන්ත්‍රණය කිරීමේ විස්මිත හාස්කම් බලයක් ඇතැයි විශ්වාස කෙරේ.

නිදසුනක් ලෙස දීපක් නම් රාගය (raag Deepak)ඉතා නිවැරදි ලෙස ගායනා කිරීමෙන් හෝ වැයීමෙන් උණුසුම ද මේග් මල්හාර් (raag megh malhar)නම් රාගය ඉතා නිවැරදි ලෙස ගැයීමෙන් හෝ වැයීමෙන් වර්ෂාවද ලබා ගත හැකි බවට ද විශ්වාසයක් පවති.

ක්‍රිස්තු වර්ෂ දහසය වන සියවසේ අගභාගයේ ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය පාලනය කළ නරපතියා වන අක්බර් රජු (මෙම රජුගේ පුරාවෘත්තය සහිත ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය කෙරේ) සමීපයේ හින්දුස්ථාන් සංගීත නිපුනයකු වන තාන් සෙන් සහ ඔහුගේ ගුරුවරයා වන ස්වාමි හරිදාස් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන මෙම හාස්කම් බලය මනාව ඔප්පු කළ බවට ඓතිහාසික සාක්ෂි තිබේ.

මේ තත්වය යටතේ භාරතීය රාගධාරී සංගීතය මුල් කොට මිනිසුන් තුළ ඇති කායික මානසික විෂමතාවයක් සමනය කිරීමේ හැකියාව(healing) පිළිබඳව අද ද ඉන්දියාවේ නවීන විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරේ. මෙහිදී එක් පාර්ශවයක් සංගීත මාධ්‍යය ඇසුරු කරමින් ද තවත් පාර්ශවයක් ධවනි විද්‍යාව (phonetice phonology) මුල් කොට ගෙනද පර්යේෂණ මෙහෙයවති. 

මෙය පුරාතන භාරතීයයන් හඳන්වන ලද්දේ නාද යෝග ලෙසිනි. මේ සඳහා ගත හැකි සරළම නිදසුන වනුයේ ස-රි-ග-ම-ප-ධ-නි-ස යනුවෙන් සප්ත ස්වරය ආරෝහණ ලෙස හඬ නැංවීමේදී යමකු තුළ ස්වභාවිකව ඇතිවන මානසික උද්දීපනය ස-නි-ධ-ප-ම-ග-රි-ස යනුවෙන් අවරෝහණ ලෙස හඬ නැංවීමේ දී අවම වී යාමය.

පසුගිය කාලයේ දී ඉන්දියාවේ සංගීත චිකිත්සක පර්යේෂණ ආයතනයක් විසින් අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සිය දෙනකුගේ එම රුධිර පීඩන මට්ටම මනින අතරේ ඔවුන්හට පැයක පමණ කාලයක් උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදායට අයත් හංසද්වනි නම් රාගය (Raag Hansadhwani) අයත් සංගීත ඛණ්ඩයක් ඇසීමට ඉඩ සලස්වන ලදී. 

එම සංගීත ඛන්ඩය ශ්‍රවණය කිරීමෙන් පසු ඔවුන්ගෙන් හැත්තෑ තුන් දෙනකු තුළ තිබූ අධික රුධිර පීඩන තත්වය සාමාන්‍ය තත්වයට පත්ව ඇති බව අනාවරණය විය. මෙහි දී උත්තර භාරතීය රාගධාරී සංගීතය චිකිත්සක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ කැපී පෙනෙන විද්වතකු ලෙස නවදිල්ලියේ හරි නගර් හි සංගීත චිකිත්සාව පිළිබඳ නාද මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය ටී.වී.සායි රාම් විශේෂයෙන් කැපී පෙනෙයි.

දැනට භාරතයේ සිදු කෙරී ඇති පර්යේෂණ අනුව මා ඉහත සඳහන් කළ මානසික ආතතිය මුල්කොට ගත් හිසරදය වලක්වා ගැනීම පිණිස ඉහත සඳහන් කළ හංසද්වනී රාගයට අමතරව ඩර්බාරි කානඩා (Raag Darbari kangda) කමාජ් (raag Khamaj) පූරියා (Raag Pooria) වැනි රාග සම්බන්ධ ගායන වාදන යොදා ගත හැක. මීට අමතරව හිසරදය මුල්කොට ගත් ශරීරයේ ඉන්ද්‍රිය වේදනා සහ දුබලතා දුරු කරවන රාගයක් ලෙස මාල්කවුන්ස් (Raag malkauns) යොදා ගත හැක. 

මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීමක් ලැබිමට කැමති ඔබට අන්තර්ජාලයේ youtube වෙබ් අඩවිය ඔස්සේ ඉහත සඳහන් රාග ආශ්‍රිත ගායනවාදන රැසකට කන් දීමට පුළුවන; එය සැබැවින්ම හිසරදයට පමණක් නොව කායික මානසික රෝග රැසකට මුල්වන මානසික පීඩාව, ආතතිය දුරලන ක්ෂණික මනෝ චිකිත්සක ප්‍රතිකාරයක් බව මම පෞද්ගලිකව ද අත් දැක ඇත්තෙමි. එමෙන්ම එය පැරසිටමෝල් පානයේදී මෙන් නැවත නැවතත් මතු වන හිසරදයක් නොවනුයේ එම රාග ශ්‍රවණය කිරීමට හුරු වීමෙන් ඊට මුල් වූ මානසික ආතතියද කෙමෙන් පහව යන බැවිනි.

Hari om (Raga Malkauns ) From film ‘Baiju Bawra’ යන සෙවුම ඔස්සේ අන්තර් ජාලයට පිවිසෙන ඔබට බයිජු බව්රා නම් හින්දි චිත්‍රපටයේ එන සංගීත චිකිත්සක බලයක් ඇති ගායනයකට සහ ඊට අදාල රූප රාමු පෙළකට යොමු වීමට අවකාශ ලැබේ. එම සුවිශේෂි ගායනය ඉදිරිපත් කරනුයේ ලෝක ප්‍රකට භාරතීය ගායක මොහොම්මද් රාෆි විසිනි.

තවත් රෝග සඳහා සංගීත චිකිත්සක ප්‍රතිකාර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

ශාස්ත්‍රපති වාද්‍ය නිපුන් තිසුන් කෝවිද වෛද්‍යරත්න
දුශ්‍යකලා , සැලසුම්කරණ සහ ප්‍රාසංගික කලා අධ්‍යයන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය, කැලණිය (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගීතයෙන් හිසරදය සැනින් දුරලන හැටි මෙන්න"

    Post a Comment