18 May, 2017

අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?

Mysterious beauty gost

මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මැයි 08 වන ඉරිදා ය.

කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 08 වන ඉරිදා උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.

ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි.

එහෙත් මෙම ප‍්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු ලක්බිම ඔන්ලයින් එම දියඇල්ල ආසන්නයේ ඇති උඩුවැල්ල ග‍්‍රාමයේ පදිංචි අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එවිට ඔහු කියා සිටියේ පෙර සඳහන් කළ ආකාරයේ සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය. මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය.
නිමල් රාජපක්ෂ මහතා දුටු තරුණිය සිටි ස්ථානය

උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේ මෙලෙසිනි.

‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’
ඇල්ලේ පහළ ඇති නැරඹුම් කුටිය

මෙහිදී පසුගිය 08 වන දා මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇයගේ මිතුරන් ඉන් පෙර මෙම ප‍්‍රදේශයේ ගැමියන් අත්දැක තිබූ මෙබඳු අද්භූත සිද්ධියක් ගැන මින් පෙර කිසිදු අවස්ථාවක අසා නොතිබුණු අතර ඔවුන් ඒ ප‍්‍රදේශයේ ගැමියන් දැන හඳුනන්නවුන් නොවීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම තරුණියට වළාකුලක් සේ ද අබේරත්න මහතාගේ බිරිඳට තමන්ට පිටුපා යන කාන්තාවක සේ ද නිමල් රාජපක්ෂ මහතාට රූමත් තරුණියක සේ ද දිස්වූයේ එකම කාන්තා රුවක් ද යන්න නිශ්චය කිරීමට හෝ එම සංසිද්ධින් පිළිබඳ අර්ථ විවරණයක් දීමට අපට නුපුළුවන. කෙසේ හෝ මෙම අද්භූත සිදුවීම පිළිබඳව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර විමසුම් සිදුවිය යුතු බව අපගේ හැඟීමයි.

ශ‍්‍රියාණි කොඩිතුවක්කු (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?"

    Post a Comment