30 May, 2017

සැලකිලිමත් වන්න මේ පලතුරුත් ඇඟට ගුණයි

healthy fruits

පලතුරු යනු සිරුරට විටමින් සහ ඛණිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පලතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි ලොල් බවක් දක්වනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට, අපේ රට තුළදීම සපයා ගන්න පුළුවන්, ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉන් කිහිපයක්.

* කෙසෙල්

කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතා ම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වන ජනප්‍රිය පලතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම, විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල්වල අඩංගු තන්තු මඟින් මළබද්ධය වැනි තත්ත්ව මඟ හරවනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳ යම් සංතෘප්තතාවක් ලබා දෙන නිසා, ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, ඒ ඉලක්කය වෙත ළඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා. බොහෝ කෙසෙල් ප්‍රභේධවල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. ඒත්, රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේධයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි.

* තැඹිලි


තැඹිලි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි, ශ්‍රී ලාංකේයයන් අතර ජනප්‍රිය පලතුරක්. උණුසුම් දිනවලදී විජලනය වීම වළකා, ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිත කෙරෙනවා. ඒ වගේම, තැඹිලි වතුරවල ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි. තැඹිලි වතුරේ අන්තර්ගත ඛණිජ ලවණ මඟින්, රුධිර පීඩනය අඩු කරන බවත්, වකුගඩුවල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා. ඒ වගේ ම, දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කළ හැකි ආකාරයෙන් පවතින නිසා, ජීර්ණය අපහසු පුද්ගලයන්ට අතිරේක පෝෂණ පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි.

* නෙල්ලි

නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ තිත්ත රස නිසයි. ඒත්, ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිත කරන නෙල්ලි, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා.ඒ, ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර, ශරීරයට අහිතකර, අඩු ඝණත්ව ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟිනුයි. ඒ වගේම, දියවැඩියාව, පිළිකා, අජීර්ණ, හන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත්, ආයූර්වේදයේ නෙල්ලි යොදා ගන්නවා.ඒ වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන් ම, කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා.

* දෙළුම්

දෙළුම්, ඉතාමත් ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම්වල අඩංගු වෙනවා.නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීමට මෙන් ම, සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මේ පලතුර සමත්කම් දක්වනවා.

* වරකා

පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැහැ. මෙහි ඇති ආවේණික පැණි රසය නිසා ඇතැමුන් මෙය පලතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය, ඉතාමත් අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. පෝෂ්‍ය පදාර්ථ විදිහට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන් ම, තන්තු බොහෝ ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතයි. වරකාවල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර, මළබද්ධය ඇති වීම වළක්වනවා. ඒ වගේ ම, ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමටත්, වයස්ගත පෙනුම අඩු කර වීමටත් මෙය සමත්. එසේ ම, වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත් සිදු වෙනවා.

මිල අධික ආනයනික පලතුරුවලට වඩා, අපට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ වගේ සරල පලතුරු වර්ග අතුරුපස විදියට ආහාර වේලට එකතු කර ගැනීමෙන්, ආහාරයේ වටිනාකම වැඩි වනවා වගේම, සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමටත් එය හේතුවක්.

යශෝදා ඉන්දීවරී (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැලකිලිමත් වන්න මේ පලතුරුත් ඇඟට ගුණයි"

    Post a Comment