22 April, 2017

රිටක් අතට ගෙන හෙටක් ගැන හිතන අනීතා

Anitha Jegatheeswaran

රිටක් අරගෙන රටක් ජයගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ මෙරට මලල ක්‍රීඩාවේ අතීතය තුළ අසා ඇතත් තමන් බිහිකළ වාර්තා කිහිපවරක්ම බිඳ දමමින් නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියූ ක්‍රීඩිකාවක් ගැන මින් පෙර අසා නැති තරම්ය.

2014 වසරේදී පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 3.32ක උසක් තරණය කරමින් රිටි පැනීමේ බාලිකා ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත් යාපනය මහජන විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇය එවකට තිබූ ශ්‍රී ලංකා පාසල් වාර්තාවද සම කළාය. ඉන් වසර දෙකකට පසුව පැවැති සර් ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 3.35ක් දක්වා තම හැකියාවන් වර්ධනය කරගත් ඇය එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තා පමණක් නොව නව තරග වාර්තාවක්ද සමඟ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද තැබුවාය. 

ඉන්පසුව එම ශ්‍රී ලංකා වාර්තා වෙනත් ක්‍රීඩිකාවක් අතින් බි¼දවැටුණද ඉන් අධෛර්යවත් නොවූ ඇය පසුගිය 2016 වසරේ යාපනයේදී පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 3.41ක උසක් රිටි පැන නැවතත් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවකට හිමිකම් කී අතර මීට සති දෙකකට පමණ පෙර දියගම ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ මීටර් 3.45ක උසක් වාර්තා කොට ඇයගේම වාර්තාව නැවතත් අලුත් කරමිනි.

පනින්නට රිටක් ඇතත් හෙටක් නැති අවදානමෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඕනෑ තරම් ඉන්න අපේ රටේ මේ ධෛර්යවත් ශිෂ්‍යයාව වයස අවුරුදු 20ක් වන විටම ජාතික වාර්තාවක් කරපින්නා ගන්නට තරම් සමත්වීමේ දක්ෂතා නිසාම අද ඇය හෙටක් ඇති ක්‍රීඩිකාවක් බවට පත්වීමේ ලක්ෂණ පහළ වෙමින් පවතින බවක් පේනවා. නමින් අනීතා ජගතීෂ්වරන් වන මේ ක්‍රීඩිකාව යාපනය මහජන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද මහජනයාට සම්පතක් කීවත් නිවැරැදිය. 

ආච්චිගේ සෙවණේ හැදිලා තම පියාගේ පිහිටෙන් යැපෙන පවුලක අයියටත් නංගිල දෙන්නටත් මැදිවෙලා ඉන්න මේ අනීතා ක්‍රීඩාවේ අනාථයෙක් නොවී මෙතරම් උසක් තරණය කරන්න දිරිය ලබාගත්තේ පවුලේ අගහිඟකම් මතින් ජනනය කරගත් ශක්තියෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන්, හිතවතුන්ගෙන් හා පාසලෙන් ලැබුණු තල්ලුව නිසා බව අනීතාගේ කතාවෙන් අපිට තේරුම් ගියා.

දිරිය දියණිය ක්‍රීඩාවෙන් පමණක් නොවෙයි අධ්‍යාපනය පැත්තෙන්ද ලබා ඇති ජයග්‍රහණය, ක්‍රීඩාව කළොත් අධ්‍යාපනයට බාධා සිදුවෙනවාය යන සිතිවිල්ල හිතට ගත්ත පාසල් දරුවන්ටත් මවුපියන්ටත් මහඟු ආදර්ශයක් බවත් කිවයුතුයි. එනම් යාපනය මහජන විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අනීතා කලා අංශයේ විෂයන්ගෙන් විශිෂ්ට ලෙස සමත්ව උපාධි අපේක්ෂිකාවක් ලෙස දැනටමත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී ඇත. 

එහෙත් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබීම පිළිබඳව අනීතාට සතුටු විය හැකි වුවද තමාගේ ගම්පළාත වන යාපනයෙන් බැහැරව යෑමට සිදුවීමෙන් ඇයගේ පුහුණුවීම් කටයුතු පරිහානියට ලක්වේ යැයි යන සැකය නිසාම ඇය අසතුට මුසුවූ අතරමං වීමකට ලක්ව ඇත. උසස් පෙළ ප්‍රතිඵලයට ලැබුණු ලකුණු (ඛ-ඉජධපඥ) අනුව අනීතාට සබරගමුවට යෑමට සිදුවුවද ක්‍රීඩාවෙන් ඉහළටම ගොස් ඇති අනීතාට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නව සංකල්පයන්ට අනුව නම් තවත් ලකුණු එකතු විය යුතුය. 

අනීතාගේ අදහසට අනුව තමන්ගේ ඉදිරි පුහුණු කටයුතු පහසුකර ගැනීමට නම් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් සාදාගත හොත් වඩාත් සුදුසුය. එවිට වවුනියාවේ සිටින වත්මන් පුහුණුකරු සුභාෂ්කරන් මහතාට සතියකට වරක් හෝ කොළඹ පැමිණ පුහුණු කටයුතු කරගෙන යා හැකි බව අනීතාගේද අදහසය. කෙසේ වෙතත් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය ගැනත් අනීතාගේ ක්‍රීඩා දිවියේ තොරතුරු ගැනත් හෙළිදරව් වූ කාරණා මෙසේ පළකරමු.

• ඇයි මේ ක්‍රීඩාවම තෝරා ගත්තේ?
මුලදී මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මුලදී මම වෙනත් ක්‍රීඩාවන් කළා. ඒත් පුහුණුකරු තමයි රිටිපැනීම තෝරා ගන්න කිව්වෙ. මුලදී කැමැත්තක් නැති වුණත් කරන්න පටන් ගත්තාට පසුව මේ ක්‍රීඩාවට ආශාවක් හිතුණා.

• ඔබ කළ පළමු ක්‍රීඩාව මේකද?
නැහැ. මම 6 වසරේ සිට මීටර් 100 දිවීම, උස පැනීම, දුර පැනීම වගේ ඉසව් කළා. අවුරුදු 17න් පහළදී රිටිපැනීම තෝරා ගත්තා. කමල් මෝගන් සර්ගෙ ඉල්ලීමට අනුවයි එහෙම කළේ.
• දිගටම අධ්‍යාපනය ලැබුවේ එම විද්‍යාලයේද ?
නැහැ. එක වසරේ සිට 5 වසර වන තෙක් මේනන්දා මහා විද්‍යාලයෙ හිටියෙ. 6 වසරෙ ඉඳල උසස් පෙළ දක්වාම යාපනයේ මහජන විද්‍යාලයේ ඉගෙන ගත්තේ.
• දුර පැනීමේ උස පැනීමේ ඉසව් තරග කරල ජයග්‍රහණ ලබාගත්තාද ?
ප්‍රාදේශීය මට්ටමෙන් විතරක් ජයග්‍රහණ ලබාගත්තා. ඒ හැර වෙනත් තරගවලට සහභාගි වුණත් ජයග්‍රහණ ලැබුණේ නැහැ.
• රිටි පැනීමේ ඉසව්වට සහභාගි වුණාට පසුව ප්‍රථම ජයග්‍රහණය ලබාගත්තේ කුමන තරගයේදීද?
කලාප පාසල් තරගාවලියේදී ජයග්‍රහණයක් ලැබුණා.
• පාසල් යන කාලේ පළමු පුහුණුකරුවා කමල මෝගන් ඒ වගේම වත්මන් පුහුණුකරු සුභාෂ්කරන් ඔබට හමුවන්නේ මොන කාලෙදිද?
මෝගන් සර්ගෙ පුහුණුවෙන් පස්සෙ 2013 වසරේදී යාපනයේ මහජන විද්‍යාලයට ආව සුභාෂ්කරන් සර් රිටි පැනීම පුහුණු කරන්න පටන් ගත්තා.
• ඒ විදියට තමන් කළ ක්‍රීඩා ඉසව් මාරු කළා. ඒක හොඳයි කියල හිතෙනවාද?
ඔව්. මුලදී මට ජයග්‍රහණ ලබාගන්න බැරිවුණා. ඒත් ගොඩක් කැපවෙලා පුහුණුවීම් කරල 2013 වෙනකොට ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ජයග්‍රහණයක් ගන්න පුළුවන් වුණා.
• වඩාත්ම ඇඟට දැනුණ ජයග්‍රහණය කුමක්ද?
2014 ජාතික පාසල් මලල ක්‍රීඩා උළෙලේදී ලැබූ ජයග්‍රහණ අමතක වෙන්නෙ නැහැ. ඒකෙදි මම පළමුවැනියා වුණා. මුලදී කීවා ඒක නව ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් කියලා. පැය 2කින් විතර පසුව ඒක තිබුණ වාර්තාව (මීටර් 3.32) සමකළා පමණයි කීවාම මට දුකක් හිතුණා.
• ඊට පසුව තරගවලදී එම වාර්තාව බිඳ හෙළන්නට අවස්ථාව ලැබුණා නේද?
වෙන ක්‍රීඩිකාවක් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 3.40ක උසක් පැනපු වාර්තාවක් තිබුණා. ඉන් පසුව ගිය අවුරුද්දේ ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ඒ වාර්තාව බිඳල මම මීටර් 3.41ක උසක් වාර්තා කළා. ඉන්පසුව පසුගියදා තිබුණ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ඒ තිබුණ නව ශ්‍රී ලංකා වාර්තාව මමම අලුත් කරල මීටර් 3.45ක් පැන්නා.

• අවුරුදු 20ක් වැනි වයසකදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තියන්න හැකිවීම ගැන මොනවද හිතෙන්නෙ?
මහන්සි වෙලා කැප වෙලා පුහුණුවීම් කරපු නිසා එහි නියම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වුණා කියල ලොකු සතුටක් දැනෙනවා.

• ක්‍රීඩාවයි අධ්‍යාපනයයි සමබරව කරගෙන යෑමට හැකියාව ලැබුණෙ කෙසේද?

පාසල් වේලාවෙ උදේ සිට සවස දක්වා පුහුණුවීම් කරන්න වෙන නිසා පුහුණුවීම්වලින් පසුව විශේෂ පන්ති තියල මට විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙන්ම පහසුකම් සලසල දුන්නා. ගෙදරිනුත් මට ගොඩක් උදවු ලැබෙනවා. මගේ පියා ගොවියෙක්. අයියා විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්නවා. නංගිලා දෙන්නත් අයියත් මමත් බලාගෙන තාත්තා අපේ ජීවිතයට ලොකු ශක්තියක්. ඒ වගේමයි පාසලේ ගුරු මණ්ඩලයේ කවුරුත් අපිට උදවු කරනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් මෙල්වා සමාගමත් වෙනත් ආයතනත් මට ගොඩක් උදවු කරනවා.
• පවුලේ තවත් අය ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්නවද?
නැහැ වෙන කවුරුත් නැහැ. ඒත් අයියා, නංගිලා මට ගොඩක් උදවු කරනවා.
• කොහොමද ඔබ පමණක් ක්‍රීඩාවට යොමු වුණේ ?
පොඩි කාලෙ සිටම අපිව හදා බලාගන්නෙ අපේ ආච්චි. මම පමණයි ක්‍රීඩාවට යොමු කරල තියෙන්නෙ.
• අනාගත බලාපොරොත්තු?
(සිනාසෙමින්) බොහෝ දේ තියෙනවා. මම දැනටත් උදෙන්ම පාසලට ගිහිල්ල ළමයින්ට පුහුණු වෙන්න කියල දෙනවා. ඊට පසුවයි මම පුහුණුවීම් ආරම්භ කරන්නෙ. දැන් තියෙන මගේම වාර්තා කඩන්නත් මම බලාපොරොත්තු වෙනවා. උපාධියක් දක්වා ඉගෙනගෙන මේ ක්‍රීඩාවට තවත් අය පුහුණු කරන්නත් මම හිතාගෙන ඉන්නවා. ක්‍රීඩා පුහුණු ගුරුවරයෙක් වෙන්නම කියලා මගේ අදහසක් නැහැ.
• ඔබේ ක්‍රීඩාවට අතදුන් අය ගැන මේ මොහොතේ කතා කළොත් ?
මගේ පාසල මට නිතරම උදවු කළා. මගේ පුහුණුකරුවන් වගේම තාත්තා සහ පවුලේ අය මට මේ තත්ත්වයට එන්න මා සමඟ සිටියා.
• මීට පෙර සිංහල පත්තරේකින් කතා කරල තියෙනවාද?
නැහැ. දෙමළ පත්තරයකින් කතා කළා. ඒත් සිංහල පත්තරයකින් කතා කරපු පළමු අවස්ථාව මේකයි.
• දැනට සබරගමුව විශ්වවිද්‍යාලයට තේරිල තියෙනවා. එහෙත් ඔබගේ වැඩි කැමැත්ත කොළඹ 

විශ්වවිද්‍යාලයටද සබරගමුවටද?
කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ලැබුණොත් ගොඩක් හොඳයි. මොකද මට උදවු කරන්න ගොඩක් කට්ටිය කොළඹ ඉන්නවා. මට එතකෙට පුහුණුවීම් වගේම අධ්‍යාපන කටයුතුත් කරගෙන යන්න පුළුවන්.

• රැකියාවක් ලැබුණොත් කොළඹටද යාපනයටද කැමැති?
රැකියාවක් ගැන මට දැන්ම අදහසක් නැහැ. ඒත් ඉතිං රැකියාවක් ලැබෙනවා නම් යාපනේම ඉන්න කැමැතියි.
ඡායාරූප - නුවන් අමරවංශ (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රිටක් අතට ගෙන හෙටක් ගැන හිතන අනීතා "

    Post a Comment