27 August, 2017

'තරගය දිනා ගන්න වෙනස්‌ වෙනස්‌ පන්දු යෑව්වා' - පන්දු 18 කින් කඩුලු හයක්‌ දවා ගත් අකිල කියයි

akila-dananjaya
- 'විවාහ උත්සවය ඉවරවෙලා හෝටලයට එනකොට රෑ 11.00 විතර වුණා'

අකිල ධනංජයගේ කාලෝචිත පන්දු යෑවීමෙන් පල්ලකැලේ පෙරේදා (24දා) පැවැති දෙවැනි එක්‌දින තරගයේදී ඉන්දියානුවන්ට සටනක්‌ දී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. නමුත් ධනංජය පවසන්නේ තමා කඩුලු දවා ගැනීමත් සමග ජයග්‍රහණයකින් තරගය අවසන් කරන්න හැකි වූවානම් සතුටින් පිටව යැමට අවස්‌ථාව තිබූ බවයි.

''ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දෙන්නා පළමු කඩුල්ලට ලකුණු සියයකට වැඩි සබඳතාවක්‌ පිහිටවූවා. තරගය දිනාගන්න නම් ඉක්‌මනින්ම කඩුලු ගන්න ඕන කියල මම හිතුවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් යවන පිට දඟ පන්දුව වෙනුවට වෙනස්‌ වෙනස්‌ පන්දු යෑව්වා. පාදඟ පන්දුවත් අනිත් පන්දුත් යෑව්වා. ගුග්ලි පන්දුත් යෑව්වා. කොහොම වුණත් තරගය දිනා ගෙන යන්න තිබුණනම් තමයි මම ගොඩක්‌ම සතුටු වෙන්නේ.''

කෙසේ වෙතත් මේ වන විටත් එක්‌දින තරගාවලිය 2-0 ක්‌ ලෙසින් පෙරමුණ ගෙන සිටින ඉන්දියානුවන් හෙට (27 දා) පල්ලකැලේදී පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ජයගතහොත් කලින්ම තරගාවලි ජය සන්තකයට ගනු ලබයි. දෙවැනි එක්‌දින තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි සහ භුවනේෂ්වර් කුමර් අටවැනි කඩුල්ලට පිහිටවූ ශතක සබඳතාව ඉන්දියානුවන්ගේ වාර්තාවක්‌ වෙද්දී ඔවුන් දෙදෙනාව කඩා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තරගයේ වීරයා වූ අකිල ධනංජය මෙසේ පවසයි.

''මහේන්ද්‍ර සිං දෝනි සහ භුවනේෂ්වර් කුමාර් 'සෙට්‌' වෙලා හිටියේ. ඒ වෙලාවෙ මට ඕවර දෙකක්‌ ඉතිරි වෙලා තිබ්බා. නමුත් මම හිතන්නෙ නැහැ ඒ ඕවර දෙකත් එක දිගට යෑව්වනම් හොඳයි කියලා. මොකද මම ඒ වෙලාවෙ ටිකක්‌ පැත්තකට වෙලා ඉන්න කොට තව කඩුල්ලක්‌ ගියා නම් අපිට වාසි වෙනවා.''

අකිල ධනංජය පන්දු 13 ක්‌ ඇතුළත කඩුලු පහක්‌ දවා ගත්තේය. අනතුරුව තවත් පන්දු පහක්‌ ඇතුළතදී සිය හය වැනි කඩුල්ලද ඩැහැ ගැනීමට ඔහුට හැකිවිය. ධනංජයට ඉදිරියෙන් අඩුම පන්දු ගණනක්‌ තුළදී කඩුලු පහක්‌ දවා ගෙන ඇත්තේ පකිස්‌තානයේ මොහොමඩ් සාමීය. ඔහු 2000 වසරේදී නවසීලන්තය සමග පැවැති තරගයකදී පන්දු 11 කදී කඩුලු පහක්‌ දවාගෙන තිබේ.

''මම පුහුණුවීම්වලදී වැඩියෙන්ම යවන්නෙ පිට දඟ පන්දුව. කොහොම වුණත් පුහුණුවීම් ඉවර වෙනකොට මම අනිත් හැම පන්දුවක්‌ම යවනවා. අපේ දඟ පන්දු පුහුණුකරු පියල් සර් එක්‌ක තමයි මම වැඩ කරන්නෙ.'' යනුවෙන් ධනංජය පවසයි.

පැවැති මාධ්‍ය හමුවට පැමිණි දඟ පන්දු පුහුණුකරු පියල් විඡේතුංග පවසා සිටියේ, ''අකිල පසුගිය කාලයේ සතියකට දින තුනක්‌ විතර පුහුණුවීම් එනවා. එහිදී ඔහු විනාඩි අසූවක්‌ විතර පන්දු යවනවා. පහුගිය කාලයේදී අකිලට එක්‌දින කණ්‌ඩායමට එන්න අවස්‌ථාව නොතිබුණේ සචිත්‍ර සේනානායක හොඳින් දක්‍ෂතා දක්‌වපු නිසා. පස්‌සෙ පන්දු යෑවීමේ ඉරියව්වත් එක්‌ක ඔහුට අවස්‌ථාව නැති වුණාම තමයි ධනංජයට අවස්‌ථාව ලැබුණේ.' යනුවෙනි.

23 හැවිරිදි අකිල ධනංජය විවාහ වී පැය 24 ක්‌ යැමට මත්තෙන් තරගයට සහභාගි වී වීරයා විය. ඔහු තරගයට පෙර දවසේ කණ්‌ඩාමට එකතුවන විට හොඳටම රෑ බෝවී තිබුණි. ''මගේ විවාහ උත්සවය තිබුණේ මොරටුවේ. විවාහ උත්සවය ඉවරවෙලා හෝටලයට එද්දි රාත්‍රී 11.00 විතර වුණා. මොකද කලින් එන්න හිටියත් එන්න වෙලා ගියා. විශේෂයෙන් මම රංගන හේරත්ට සහ අජන්ත මෙන්ඩිස්‌ට ගොඩක්‌ ආසයි. රංගන අයිය දැන් අපේ අංක එක. ඒ නිසා ඒ දෙන්නට කියල මගේ විවාහ උත්සවය අත්සන් කරගත්තා.'' යනුවෙන් ධනංජය වැඩිදුරටත් පැවසීය.

2012 වසරේ ශ්‍රී ලංකා පැවැති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජාත්‍යන්තර තරග බිමට පිවිසි අකිල ධනංජයට අනතුරුව යළිත් කණ්‌ඩායමට පැමිණීමට හැකිවූයේ ඉකුත් ජුනි මාසයේ සිම්බාබ්වේ සමග පැවැති එක්‌දින තරගාවලියේදීය. ඔහු ක්‍රීඩා කළ සිව්වැනි එක්‌දින තරගයද මෙය වූ අතර එහිදී ලකුණු 54 කට බිඳ දැමූ කඩුලු හය හේතුවෙන් ඔහු ගැන ඉන්දියානුවන් හෙට තරගයේදීත් ඇස ගසා සිටිනු ඇත.

තරගය අවසන් වී දෝනි ක්‍රීඩාගාරයට යන විට මේ යොවුන් ක්‍රීඩකයාගේ පිටට තට්‌ටුවක්‌ දමා 'මල්ලී උඹ නියමයි' කියන්නාක්‌ මෙන් සිනහ මුසු මුහුණින් පිටව ගියේය.

පානදුර මහානාම විදුහලෙන් ක්‍රිකට්‌ පිටියට පිවිසි අකිල ධනංජය පළමු පෙළ තරග 34 කදී කඩුලු 98 ක්‌ද පළමු පෙළ එක්‌දින තරග 42 කදී කඩුලු 47 ක්‌ද දවා ගැනීමට සමත්ව තිබේ. ධනංජය ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම වෙනුවෙන්ද තෝරාගත් ක්‍රීඩකයෙකි. (අසේල විතාන පල්ලකැලේ සිට-දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'තරගය දිනා ගන්න වෙනස්‌ වෙනස්‌ පන්දු යෑව්වා' - පන්දු 18 කින් කඩුලු හයක්‌ දවා ගත් අකිල කියයි"

    Post a Comment