26 August, 2017

"අක්කලා එක්ක හාද වුණේ ආදරේට ‍නෙවෙයි – සමලිංගික ආදරය සම්මතයට පටහැණි නෑ" – අකිල ධනුද්දර

akila-dhanuddhara
රංගන, නිවේදන ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන චරිතයක් වන අකිල ධනුද්දර මෙවර රිවිසරසියට ගොඩවුණේ ආදරය ගැන කතා කරන්නයි. ආදරය පිළිබඳ ඔහුගේ අදහස් මෙලෙස ඔහු දිගහැරියා.

පාසල් ප්‍රේමය සුන්දරද?
ඔව්, පාසල් ප්‍රේමය හරිම සුන්දරයි.

ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
ආදරයත් හරියට දැනුම වගේ කාලයත් එක්ක වර්ධනය වෙනවා. අම්මා තාත්තගේ ආදරේට පිටින් ආදරයක් ගැන අවබෝධයක් හිතට දැනෙනකොට වයස 12ක් විතර ඇති.

ආදරය හැමවිටම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයාද?
ආදරයක් ප්‍රකාශ වෙන්නෙම නැතිනම් ගැහැනු පාර්ශ්වයෙන්ද ආදරේ ප්‍රකාශ වෙන අවස්ථා තියෙනවා.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද?
මං ආදරේ හැම අන්තයක්ම විඳලා තියෙනවා. පුංචි කා‍ලේ ඉඳන් ඇතිවුණ හැම ආදරයක්ම කියාගන්න බැරිවුණාම ඒ ආදර කතා අප්‍රකාශිත ආදරයන් බවට පත්වෙලා තියෙනවා.

ආදරේදි පෙම්වතා හැමවිටම වැඩිමහල් විය යුතුද?
වැඩිමහල් වීමට වඩා පරිණතයි විය යුත්තේ. ගැහැනු ළමයෙක් විසින් පරිණතව හසුරුවන ආදරයක් සමාජයම පිළිගන්නේ නෑ. ගැහැනියක් මත පිරිමියෙක් කිසිදු විටෙකත් යැපිය යුතු නැහැ.

ඔබට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන ආදරේ හිතිලා නැද්ද?
‍පොඩි කා‍ලේ ඉඳන්ම වයසින් මුහුකුරා ගිය පෙනුමක් මට තියෙන්නේ. වයසට වඩා වැඩිමහල් අය ගැන ආදරේ නම් හිතිලා නෑ. නමුත් හාදකම් ඇතිවෙලා තියෙනවා. ඒ ආදරේ ‍නෙවෙයි.

පෙම්වතියගෙන් ලැබුණු පළවෙනි තෑග්ග?
කිසිම කෙනෙක්ගෙන් තෑගි බලා‍පොරොත්තු වෙන කෙනෙක් ‍නෙවෙයි මම. ජීවිතේ තෑගි දෙන්න තරම් අවස්ථා මං ඉතුරු කරලා නෑ. ආදරේදි තෑගි බලා‍පොරොත්තු වීම මගේ විදිහ ‍නෙවෙයි.

ඇය ඔබට ආදරේට කියන නම මොකක්ද?
විශේෂ වූ එක නමක් නෑ. මං කතා කරන නමින්ම මට කතා කරනවා. නම වුණත් ආදරේදි විවිධ විය යුතුයි. වෙනස් විය යුතුයි. නමටත් පුළුවන් සුන්දර ආදර කතාවක් ගොඩනගන්න.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
කොච්චර තේරුම් ගැනීමක් තිබුණත් තිබිය යුතු එකම සහ අවශ්‍යම දේ එකට ජීවත්වීම. එකට ඉන්න කෙනෙක්ට ඕනම දෙයක් ආදරෙන් කියලා දෙන්න පුළුවන්.

ආදරය විවාහයෙන් කෙළවර වෙනවාද?
විවාහ වීම ආදරේ ඊළඟ පියවර. විවාහ වෙන්නේ ආදරේ කෙළවරක් දකින්න ‍නෙවෙයි. ආදරේ තවත් විවිධ වූ විකාශයන් දකින්නයි විවාහයක් සිදුවන්නේ. ආදරවන්තයන් වීමේ ඒකාකාරී බව අඹුසැමියන් වීමෙන් මිදෙනවා. නමුත් ආදරේ පවතිනවා. විකාශනයක් විතරයි සිදුවෙන්නේ.

විවාහය නිසා මිනිසුන් වෙනස් වෙන්නේ කොහොමද?
මුලින්ම කීවා වගේ එකට ජීවත් වෙන්න බැරි නම් වෙනස් වීම නවත්වන්න බෑ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
සංස්කෘතියට අනුව නම් විවාහය ලියාපදිංචි කළ යුතුයි. ආදරේ ප්‍රතිඵලය දරුවන් නම් ඔවුන්ට නමක් දෙන්න විවාහය ලියාපදිංචි කළ යුතුයි.

ආදරය හා රාගයට එකවිට පැවැත්මක් තිබිය හැකිද?
අනිවාර්යයෙන්ම එහෙම පැවැත්මක් තියෙනවා. ඇය සමග එකට ජීවත්විය හැකි නම් ආදරේටයි රාගයටයි එකට පවතින්න පුළුවන්.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
මේ ලෝකේ වැඩිපුරම තරහ යන මනුස්සයා තමයි මං. එයා නම් මං එක්ක තරහා වෙන්නේ නෑ. මං තමයි තරහා වෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ එයා ළඟ. ආදරේදි අතපසු වීම් වුණත් මට වැරදීම් වෙලා නෑ. අනුන්ගේ වැරැද්ද ඇතුළේ තමන්ගේ වැරැද්ද හොයන්න පුළුවන් නම් ආදරේ හරි සුන්දරයි වගේම නිදහස්.

ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
වැරැද්දක් වුණා නම් ඒක ඒ වෙලාවෙම නිවැරදි කරගත යුතුයි. වැරදීම්, තරහවන් තියාගෙන සාර්ථකත්වයක් දකින්න බෑ කිසිම දෙයකින්.

විරහව එක පේළියකින් කීවොත්?
ආදරේම අනිත් පැත්ත තමයි විරහව. ඒකත් හැඟීමක්. ආදරේට හරි නිර්වචනයක් නෑ වගේම විරහවටත් මෙන්න මේකයි කියලා නිර්වචනයක් නෑ.

සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැණිද?
සම්මතයට පටහැණි නෑ. ඔවුනුත් මිනිස්සු. නමුත් සමලිංගික ආදරය සම්මතයක් වුණොත් තවදුරටත් ලංකාවක් නම් ඉතුරු වෙන්නේ නැතිවෙයි.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
තනියම ආදරේ කරන්නත් බෑ. ආදරේට ටෙලිපතිත් නෑ. මනුෂ්‍යයාගේ විදිහ අනුවයි ආදරේට සීමා වැටෙන්නේ. හොඳම ගැළපෙන දෙන්නෙක්ගේ බැඳීමක් කියන්නේ ලොකු ශක්තියක්. නිවැරදිව ධන සෘණ ගැළපෙනවා නම් ඒ තමයි ආදරේ.

මේ වෙද්දි ගැහැනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියේද?
මම නම් කිසිම කෙනෙක් දාලා ගිහින් නෑ. මාව දාලා ගියා නම් කෙනෙක් මට ආදරේ කරන කවුරුහරි අන්තිමට ඉතුරු වෙනවා. එයා තමයි ජයග්‍රහණය කරන්නේ මගේ ආදරේ.

ආදරේට නිර්වචනයක් දෙන්න?
ආදරේ කියන්නේ තවත් එක ආරම්භයක් විතරයි. විකාශයන් ඇතිව පියවරෙන් පියවර ආදරේ වර්ධනය වෙන්න ඕන. ඒකාකාරී බවින් තොරව විවිධ වූ ආදරයන්ගෙන් හිත පුරවාගන්න පුළුවන් නම් අන්තිමට මරණයත් සතුටක්.

නදුනි ආරියවංශ (රිවිර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අක්කලා එක්ක හාද වුණේ ආදරේට ‍නෙවෙයි – සමලිංගික ආදරය සම්මතයට පටහැණි නෑ" – අකිල ධනුද්දර"

    Post a Comment