19 April, 2017

අවුරුද්දට ගෙදර එමින් සිටි තරුණයකුගේ මළ සිරුර කෝච්චි පාරේ - එකට පැමිණි යහළුවන් ඇත්ත වසන් කරයි

Dead body in railway track

රැකියා ස්ථානයේ සිට අලුත් අවුරුද්දට නිවෙස කරා යමින් සිටි 20 හැවිරිදි තරුණයකු ගම්පොළ උලපනේ ගඩොල් බෝක්කුව අසල දුම්රිය මාර්ගය අද්දර මියගොස් සිටියදී නාවලපිටිය පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

මොහු සොයා ගන්නා අවස්ථාවේ ඒ අසල හිස් වැසුමක් හා පාවහන් යුගලක්ද තිබී සොයා ගෙන ඇති අතර මුදල් පසුම්බියේ තිබී දුම්රිය ප්‍රවේශපත් 2ක් ද සොයා ගෙන ඇත.

එම දුම්රිය ප්‍රවේශපත් දෙක රැගෙන තිබුණේ මහනුවර සිට හැටන් කොටගල දක්වා වන අතර කුරුණෑගල සිට මහනුවර දක්වා ගමන් ගත් බස් ටිකට් පතක්ද එහි තිබී හමුවී ඇත.

තවදුරටත් පරීක්ෂා කිරීමේදී ලියුම් කවරයක බහාලූ රුපියල් 18,100 ක මුදලක් සොයා ගත් අතර මොහු සතුව හැඳුනුම්පතක් නොතිබිණි.

බිඳී පුපුරා ගොස් තිබූ මොහුගේ ජංගම දුරකතනයට ලැබුණු පණිවුඩයකට අනුව මොහු කොටගල ප්‍රදේශයේ පදිංචි ගුණසේකරම් කේසමූර්ති නමැත්තකු බව පැවසේ.

නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. ඉමිටියාස් මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වමින් මොහු ළඟ තිබූ දුම්රිය ප්‍රවේශපත් දෙක අනුව අනික් තැනැත්තා කවරකුද යන්න සොයා බලන ලෙස නාවලපිටිය පොලිසියට නියෝග කරනු ලැබීය.

මොහුගේ හිසේ තුවාලයක් තිබූ අතර මහෙස්ත්‍රාත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාවලපිටිය රෝහල වෙත යොමු කෙරිණි.

මොහු සතුව තිබූ ජංගම දුරකතන අංක ඔස්සේ කළ සොයා බැලීමෙන් අනතුරුව කොටගල ප්‍රදේශයේ පදිංචි භාරකරුවන් පැමිණ සිරුර හඳුනාගෙන ඇත.

ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ සේවය කොට ඇති මොහු සේවය නිම කොට අලුත් අවුරුදු සඳහා සිය මිතුරන් සමඟ රාත්‍රි බදුල්ල දුම්රියෙන් පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

කෙසේ නමුත් මෙම තරුණයාට වූ සිදුවීම අනාවරණය නොකිරීම නිසා මොහු සමඟ පැමිණි අනෙකුත් මිතුරන් පිළිබඳව නාවලපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නාවලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. ෆයිසාල් මහතා හිසට සිදුවූ තුවාල හේතුවෙන් අභ්‍යන්තරයට රුධිරය ගලා යෑමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කොට තිබිණි.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ, ස්ථානීය පරික්ෂණ අංශයේ ප්‍ර. පො. ප. බස්නායක, අපරාධ විමර්ශන අංශයේ උ.පො.ප. ගුණවර්ධන, පො.සැ. මෙන්ඩිස්, පො.කො. අස්වර් (68008), චන්ද්‍රසිරි (24216) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. (ගම්පොළ - මාධව බණ්ඩාර
- mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුද්දට ගෙදර එමින් සිටි තරුණයකුගේ මළ සිරුර කෝච්චි පාරේ - එකට පැමිණි යහළුවන් ඇත්ත වසන් කරයි"

    Post a Comment