19 April, 2017

අධික ලෙස ආහාර ගැනීමෙන් ආරක්ෂක සෙබළා මරුට - රෝහල් ගතකරන්න කවුරුත් ඉදිරිපත්වී නැහැ

dead-body-road

වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය ගැනීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි වූ තරුණ සිවිල් ආරක්ෂක බළකා සෙබළකු හදිසියේ රෝගාතුර වී මහමඟ ඇදවැටී මියගොස් තිබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 16දා රාත්‍රියේ හදිසියේ රෝගී වී රෝහල්ගත කිරීමට රැගෙන යමින් සිටියදී මරණයට පත්වී ඇත්තේ තන්තිරිමලය තම්බියාව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවයේ නිරත නෙළුම්විල තන්තිරිමලය ලිපිනයේ පදිංචිව සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළ (ටී.79439) ජයතිලකගේ ලලිත් සුමිත් ජයතිලක (27) එක්දරු පියායි.

මියගිය සිවිල් ආරක්ෂක සෙබළා අනුරාධපුර තිසාවැව ගල්වල පාරේ පිහිටි සිය වැඩිමහල් සොයුරාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් පසුව තිසාවැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු බාල සහෝදරයාට කෑම පාර්සල් රැගෙන ගොස් එය ලබාදී නැවතත් වැඩිමහල් සහෝදරයාගේ නිවසට පැමිණෙද්දී හුස්ම ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බව පරීක්ෂණ සිදුකළ ‍පොලීසිය පැවැසීය.

ඔහු බත් පාර්සලය සහෝදරයාට ලබාදී පැරණි පුත්තලම් මාර්ගය ඔස්සේ යතුරු පැදියෙන් නැවතත් නිවසට පැමිණෙමින් සිටියදී ශරීර අපහසුතාවක් ඇතිවීම නිසා යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා ඇති බව ‍පොලීසිය පැවැසුසීය. හුස්ම ගැනීමට නොහැකිව යතුරුපැදිය නවතා ඔහු බිම වාඩි වී අපහසුතාවෙන් පසුවුවත් එම ස්ථානයට පැමිණි කිසිවකු ඔහු රෝහල්ගත කිරීමට ඉදිරිපත් වී නැති බව ද ‍පොලීසිය කීය.

එම සිද්ධිය දැක එහි පැමිණි ප්‍රදේශවාසියකු සෙබළා පිළිබඳව ‍පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබෙන බවත් එම ඇමතුම අනුව එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ‍පොලිස් කොස්තාපල්වරුන් වන 48290 බණ්ඩාර හා 48309 රත්නායක යන නිලධාරීන් මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් නවතා ඔහුව රෝහල කරා රැගෙන ගොස් ඇති බව ‍පොලීසිය පැවැසුවේය.

16දා රාත්‍රියේ සිවිල් ආරක්ෂක බළකා සෙබළා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබූ අතර සෙබළා කඩිනමින් රෝහලට ගෙන ආවේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

මියගිය සිවිල් ආරක්ෂක සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්. සේනානායක මහතා පසුගිය17 දා උදෑසන පැවැත්වූ අතර අධික ලෙස ආහාර ගැනීමෙන් ශ්වසන අපහසුතාවයට පත්වීම නිසා ඔහු මියගොස් තිබෙන බව නිගමනය කළේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අධික ලෙස ආහාර ගැනීමෙන් ආරක්ෂක සෙබළා මරුට - රෝහල් ගතකරන්න කවුරුත් ඉදිරිපත්වී නැහැ"

    Post a Comment