27 August, 2017

කටුනායක ගුවන් තොටුපොළේ නීතිවිරෝධී සංචාරය කිරීම් නැවැත්වීමට ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

srilankan-airlines
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් වංචාකාරි සහ වෙනස්කළ සංචාරක ලියකියවිලි මත පුද්ගලයන් නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ සාර්ථක ලෙස මෙහෙයුම් දියත් කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම භූමි කටයුතු (ground handling) මෙහෙයවන්නා වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ සංචාර කරන්නන්ගේ වංචනික හෝ වෙනස්කළ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂාව,වීසා සහ පිවිසුම් පත් නිකුත් කිරීම සම්බන්ධව විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබයි.

ගුවන් සමාගම සතුව විශේෂයෙන් පුහුණු කරන ලද ලියකියවිලි පරීක්ෂා කරන ආරක්ෂක කාර්ය මණ්ඩලයක් සිටින අතර මොවුන් විදේශ තානාපති කාර්යාල හරහා ව්‍යාජ සංචාරක ලියකියවිලි හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය මෙම අපරාධ කල්ලි හඳුනාගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ (BIA) බලධාරීන් වන ශ්‍රී ලංකා පොලීසිය සහ රේගු සහ ආගමන අංශ සමග එකතුව කටයුතු කරනු ලබයි. පසුගිය කාලයේ ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදා ගුවන් ගත වීමට තැත්කළ පුද්ගලයින් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී හසුකර ගැනීමට ගුවන් සමාගමට හැකිවිය.

නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් ලොව පුරා ඇති උද්ගත වී ඇති විශාල ගැටලු සහගත තත්ත්වයකි. ගුවන් මගියකු ව්‍යාජ වීසා හෝ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් හරහා ගුවන් ගත වී අසු වූ විට විදේශ රාජ්‍යයන් මගින් විශාල දඩයක් ගුවන් සේවා සඳහා පනවනු ලැබේ. මේ සඳහා ආගමන බලධාරීන් විසින් ගමනාන්තය කරා පැමිණෙන රටින් අවසර ලබාදුන්නේ ද යන්න නොසළකයි. මේ සඳහා එක් මඟියකු වෙනුවෙන් ගුවන් සමාගමට යුරෝ 5,500 (රු. 900,000) මුදලක් යුරෝපීය රටවල්වලට ගෙවීමට සිදුවේ.

2016 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවැනි නීතිවිරෝධී සංචාර සඳහා ගෙවීමට සිදුවන දඩ මුදල් වලින් පෙර වසරට වඩා 46% වාර්තාගතව අඩුකරගෙන ඇත. මේ අනුව ගුවන් සමාගම කිසිදු ආකාරයේ නීතිවිරෝධී සංචාර සිදුනොවීමට වගබලා ගන්නා අතර ගෝලීය වශයෙන් සංවිධානගත ලෙස සිදුකරන නීතිවිරෝධී ලෙස සංචාරය කිරීම් වැළැක්වීමේ අසීරු කාර්යයේ නිරතුරුවම බැදී සිටියි. මෙසේ නීතිවිරෝධි ලෙස සංචාරය කරන්නන් ලෙස ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ජාතිකයන් යුරෝපය, මැද පෙරදිග, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව උතුරු අමෙරිකාව යනාදි රටවල් සඳහා රැකියා සඳහා පිටත්වීමට මෙසේ වංචනික ලෙස කටයුතු කරනු ලබයි. (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කටුනායක ගුවන් තොටුපොළේ නීතිවිරෝධී සංචාරය කිරීම් නැවැත්වීමට ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ"

    Post a Comment