22 March, 2017

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

kiri peni bulath milk honey Betel new year wish

“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම අපට නොවරදවාම අසන්නට ලැබෙන්නකි.

මෙම පළමු සුබ පැතුමේ කිරියෙන් හෝ පැණියෙන් යනුවෙන් හැඟවෙන දෙය පිළිබඳව සෑම දෙනකුම පවසා සිටිනුයේ රසවත් අතුරුපසක් වන ‛කිරි-පැණි‛ සුසංයෝගය මෙන් ප්‍රණීත වූ ඉදිරි වසරක් ඉන් අපේක්ෂා කරන බවය. එහෙත් මෙම ‛කිරි-පැණි‛ කතාව තුළ ඊට වඩා ගැඹුරු මානව විද්‍යාත්මක අරුතක් පළවන බව මගේ නිගමනයයි. ඊට මූලික නිමිත්ත වනුයේ මෙම ආශිංසනයේදී ‛කිරි-පැණි‛ යන්න “කිරියෙන්-පැණියෙන්‍”යනුවෙන් වෙන්කොට දැක්වීමය.

භාරතීය සංස්කෘතිය අනුව කිරි යනු පාරිශුද්ධිය සංකේතනය කරන්නකි. අප ජන විඥානයට අනුව බත මගින් සෞභාග්‍යය සමෘද්ධිය සංකේතනය වන අතර කිරි බතේ දී ඉන් පාරිශුද්ධියද සංකේතනය වේ.

විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොටගනිමින් කිරි මුහුද කැළඹ වූ විෂ්ණු හට ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වේ. ඇතැම් හින්දු ඉගැන්වීම්වලට අනුව ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන්නී ලක්ෂ්මියයි. විෂ්ණුට ඇය හිමිවනුයේ ද කිරි මුහුද කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කිරි ඉතිරවීම සම්බන්ධ තවත් පුරානෝක්තියකින් පත්තිනි‍ දේවිය පිළිබඳව පැවසේ. කන්නගී නම් මිනිස් කාන්තාව පත්තිනිය ලෙසින් දේවත්වයට පත්වීමෙන් පසු දක්වන පළමු පෙළහර වන්නේ තමන් වෙත ලැබුණු එළදෙනකගේ සමකින් එළදෙනක මවා ඇගේ කිරි එවකට තම ශාපයෙන් දැවෙමින් තිබූ පඬිරට පුරා ඉසීමය. එවිට ඒ අනුහසින් යළි පඬිරට සමෘද්ධිමත් වේ.

මෙම පුරාවෘත්ත පසෙක තැබූව ද ලෞකික ජීවිතයේ සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම ඉන්දියාවේ මෙන්ම අප රටේ අද සුලබව සිදු කෙරේ. මෙම කිරි ඉතිරවීම සිංහල බෞද්ධජන සමාජයේ කෘෂිකාර්මික, ව්‍යාපාරික, ගෘහස්ථ ආදී සෑම කටයුත්තක් ආරම්භයේදීම සිදුවන අභිචාරාත්මක ක්‍රියාවකි.

කුඹුරු ගොවිතැනේ කන්න අවසානයේ සිදු කෙරෙන විශේෂ කිරි ඉතිරවීම “කිරිඉතුරුම් මංගල්‍යය” වශයෙන් හැඳින්වේ. එමෙන්ම සිංහල බෞද්ධයෝ ගෘහස්ථ ජීවිතයේ බොහෝ සුබ කටයුතු ආරම්භයේදී කිරි ඉතිරවීම කරනු දක්නට ලැබේ.

මේ අතර අප රටේ ඇතැම් ප්‍රදේශවල අවමංගල චාරිත්‍ර අතර ද කිරි ඉතිරවීමක් දැකිය හැකිය. ඒ මෘත දේහයක් සුසානය සඳහා නිවසින් පිටතට ගත් පසු එය තැන්පත්කොට තැබූ ස්ථානයේ හෝ එම නිවසේ ආලින්දයේය. ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මා හට දැනගත හැකිවූයේ එසේ ඉතිරීම පිණිස යොදා ගැනෙනුයේ පොල් කිරි මිස එළකිරි නොවන බවය.

ඒ අනුව පොදුවේ ගත් විට ‛එළකිරි ඉතිරීම’ යන වදන ලෞකික සෞභාග්‍යයේ කූඨප්‍රාප්තිය වශයෙන් නිර්වචනය කිරීමේ වරදක් නැත.

මෙහි දී මෙම පැණි යන්න ද මා ඉහත සඳහන් කළ පරිදි මුදවාපු කිරි සමග ආහාරයට ගන්නා පොල් පැණි හෝ කිතුල් පැණි නොවේ. පහළොස්වන සියවසේදී ලියැවුණු“රුවන්මල් නිඝණ්ඩුවේ” පැණි යන්න අර්ථ ගන්වා ඇත්තේ “පැසුණු ගෙඩිවලින් කකාළඉස්ම”වශයෙනි.
“මධු”යනු ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් පැණි හැඟවෙන වදනකි. එමෙන්ම මෙම “මධු”යන්න සුරාව හැඟවීම සඳහා ද යම් තරමකින් ආදේශ කළ හැකිය. නමුත් මධු යන්න මිදියුෂවලින් පෙරාගන්නා ‛වයින්‛ ආදිය සඳහා මිස අරක්කු, කසිප්පු, විස්කි, බ්‍රුන්ඩි, ජින්, වොඩ්කා ආදී සුරා ගණයට වැටෙන සැර මත්පැන් සම්බන්ධයෙන් යෙදිය හැකි නොවේ. සිංහල භාෂාවෙහි ඒවා හැඳින්වෙනුයේ ‛මද්‍ය‛ නමින් බවට දොළොස්වන සියවසේ පමණ ලියැවුණු බව සැලකෙන ‛වෙසතුරුදා සන්නය’, දොළොස්වන සියවසේ ලියැවුණු ‛ධර්ම
ප්‍රදීපිකාව’ ආදී කෘතිවලින් පැහැදිලිය.

කිරි මගින් ලෞකික සමෘද්ධිය සංකේතය වනුයේ යම් සේද පැණි හෙවත් “මධු” මගින් එම සමෘද්ධිමත් බව ඔස්සේ මතුකර ගත හැකි, ආශ්වාදනය කළ හැකි ලිංගිකත්වය මුල්කොට ගත් පස්කම් සැපය සංකේතනය කෙරෙන බව මගේ පිළිගැනීම ය.

මේ සඳහා ගත හැකි හොඳම නිදසුන වනුයේ අතීතයේ අප රටේ ද පැවැති බව පැවසෙන මධුපානෝත්සවයයි. භාරතයෙන් අප සමාජයට පැමිණි “කාම දෙවියන්”හෙවන් “අනංගයා”මුල් කොට ගත් අභිචාරාත්මක සැණකෙළියක් ලෙස විස්තර කළ හැකි රාජකීයයන්ගේ සිට සාමාන්‍ය නුවර වැසියන් දක්වා සහභාගී වූ මධුපානෝත්සවයක් පිළිබඳව දහතුන් වනසියවසේදී ලියැවුණු “කව් සිළුමිණ”කෘතියෙන් මනා ලෙස විස්තර කෙරේ. සංගීතය, මධුපානය සහ ස්ත්‍රී සම්භෝගය වැනි කාමභෝගිත්වයේ සංකේත අරමුණු කර ගත් මෙම මධුපානෝත්සවවල දී භාවිතයට ගැනුණේ මල් පැණි, මී පැණි ආදී ප්‍රණීත දෙයින් පෙරන ලද “මධු” මිස ව්‍යවහාර භාෂාවෙන් කිවහොත් “සූර්" වනසුරාව නොවේ.

පැණි හෙවත් මධු යන්න අනුරාගයේ සහ ලිංගිකත්වයේ සංකේත ලෙස දක්වා ඇත්තේ පෙරදිග සංස්කෘතිය තුළ පමණක් නොවේ. විවාහක නව යුවළකගේ පළමු සංචාරය ඉංග්‍රීසියෙන් හඳුන්වනුයේ “හනිමුන්” (Honeymoon) යනුවෙනි. වචනාර්ථ වශයෙන් මෙම වදන් දෙක විමසා බැලුවහොත් “පැණි සඳ” යන අරුත පළවේ. එමෙන්ම මෙම අවස්ථාව හඳුන්වන සිංහල වදන “මධුසමය”වීමෙන් මෙම පැණි, මධු සහ අනුරාගය අතර ඇති අපූරු මානව විද්‍යාත්මක සබැඳියාව කදිමට වටහා ගත හැක. එසේම සමාජයේ විවිධ පුද්ගලයන් ලිංගිකව නම්මවා ගැනීමෙන් පසු ඔවුන් අවමාන තර්ජනයට (Blackmail) ලක්කරනු පිණිස කාන්තාවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Honey Trap හෙවත් “පැණි උගුල”ලෙසිනි. එය ද “පැණි”යන්නෙන් ලිංගිකත්වය සංකේතය වන බවට කදිම නිදසුනකි.

ඒ අනුව මෙම මධු සහ සුරාව පටලවා ගනිමින් මෙම මධුපානෝත්සව “සුරාපානෝත්සව”ලෙස හැඳින්වීම ලොකු වරදකි. එමගින් ස්ත්‍රිය, සංගීතය, මධුවිත යන අරමුණු ඔස්සේ ජීවිතයේ දාහය නිවාගත හැකි බවට අපූරු චින්තනයක් ඉදිරිපත් කළ එකොළොස්වන සියවසේ පර්සියාවේ විසූ ඕමාර් ඛයියම් ද නිරපරාදේ “බේබද්දකු”බවට පත්කොට ඇත. නමුදු මත්පැන් පානය පිරිමියකුගේ ජීවිතයේ සෙසු බොහෝ කටයුතු සේම ලිංගිකත්වය ද අඩාල වන බව දන්නෝ දනිති. ඒ කෙසේ හෝ මෙහි මධු නමින් හැඳින්වෙනුයේ කාමෝද්දීපක පානයකි. එසේම ශරීරයේ ස්නායු අඩපණ කෙරෙන සුරාවෙන් සංගීතයේ සැබෑ රසය විඳගත නොහැකි බවද අමුතුවෙන් කිව යුතු නැත.

ඒ කෙසේ හෝ මෙහි මුලින් පැවසුණු අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරේවා’ යන්නෙහි මානව විද්‍යාත්මක අරුත හුදෙක් මී කිරි සහ පොල් හෝ කිතුල් පැණි ඉක්ම වන්නක් බවත් ඉන් අදහස් වනුයේ උතුරා යන ලෙස හිමිවන ලෞකික සමෘද්ධිය (කිරි) පදනම් කරගනිමින් සිතේ හැටියට ලිංගිකාශ්වාදය මුල්කොට ගත් පස්කම් සැප (පැණි) භුක්ති විඳීමට අවස්ථාවක් උදාවේවාය යන්න බව මගේ නිගමනයයි.

එමෙන්ම මෙහි දැක්වුණු ඊළඟ ආශිංසනයේ දැක්වෙන "බත - බුලත" යන්නෙහි බත යන්න සමෘද්ධිය සෞභාග්‍යය මුල්කොටගත් ලෞකික සංවර්ධනය සංකේතනය කෙරෙන අතර බුලත යන්නෙන් සංකේතනය වනුයේ සාමය සමගිය පදනම් කොටගත් සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික සංවර්ධනයයි.

අප රටේ ඇති නොයෙකුත් ශාක පත්‍ර අතරින් සදාචාරාත්මක බව සංකේතනය වන එකම ශාක පත්‍රය බුලත් බව ද කිව යුතුය. බුලතේ උපත නම් ජනකාව්‍යයේ සඳහන් වන පරිදි බුලත් මෙලොවට පැමිණ ඇත්තේ නා ලොවනි. නා ලොවින් මෙලොවට ලැබුණු (භූ+ ලත්) පසුව බුලත් වූ බව පැවසේ. ඒ අනුව ඉදිරියේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ දී “කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යනුවෙන් අන්‍යයන්ට සුභ පැතීමට පෙර එම සුභ පැතුම් වල සැඟවුණු මෙම යටි අරුත දැන සිටීම ඉතා වැදගත්ය.

-තිලක් සේනාසිංහ_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි"

    Post a Comment