30 June, 2017

අනියම් අඹුසැමියන් අතර අපරාධ බහුල ඇයි?

Couple fight - beaten - crime

අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.

ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.

එහෙත් අනියම් අඹුසැමියන් අතර මෙවන් සාපරාධී ක්‍රියා බහුල වීමට බලපාන මනෝ විද්‍යාත්මක හේතූන් පිළිබඳව මෙතෙක් විවෘත කතිකාවක් හටගෙන නැත. ‍‍

කවර හෝ සමාජ සංස්කෘතික පසුබිමක් තුළ සම්මත සදාචාරයට එරෙහි අනියම් සබඳතා වලට කිසිදු පිළිගැනීමක් හිමි නොවේ. ලොව සෑම ආගමකින්ම පාහේ ද අනියම් සබඳතා තරයේ ප්‍රතික්ෂේප කෙරේ. එවන් සමාජ සංස්කෘතික පසුබිම තුළ හටගන්නා මානසික ගැටුම්කාරී තත්ත්වයන් මූලික වශයෙන් මානසික සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. එමෙන්ම සාමාන්‍ය විවාහ ජීවිතයක පවත්නා සහනශීලී ස්වභාවය අනියම් සබඳතා තුළදී ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වීමට පුළුවන.

සාමාන්‍යයෙන් විවාහයක දී මෙන් නොව අනියම් සබඳතාවයක දී ලිංගිකත්වය ප්‍රධාන තැනට පත්වීම බොහෝ විට සිදුවෙයි. නොඑසේ නම් බොහෝ අනියම් හාදකම් පවත්වනුයේ ලිංගිකත්වය කේන්ද්‍ර කර ගනිමිනි. එමෙන්ම අප ජීවත්වන සමාජ සංස්කෘතික රටාව තුළ අනියම් සබඳතා සඳහා සමාජීය වරප්‍රසාදයන් හිමිනොවන තරම්ය. එනිසා අනියම් සබඳතාවය යනු එක්තරා අන්දමක ‘සංස්කෘතිකමය සොරා කෑමකි’. මේ තත්ත්වය යටතේද කෙනෙකු තුළ තිබිය හැකි මානසික සහනශීලිත්වය අවප්‍රමාණ වීමට බොහෝ ඉඩකඩ තිබේ.

අනියම් සබඳතා පවත්වන්නවුන් තුළ මානසික ව්‍යාකූලතා ඇතිවීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ඔවුන් තුළ පහසුවෙන් රෝපණය වීමට ඇති ලිංගික ඊෂ්‍යාවයි. තමන් ඇසුරුකරන අනියම් බිරිඳ හෝ සැමියා පූර්ණ ව‍ශයෙන් තමන්ට අයත් නොවන බවත් ඔහු හෝ ඇය සම්බන්ධ තවත් ලිංගික හිමිකරුවෙකු, හිමිකාරියක හිඳින බවත් හැඟීයාම මෙම ලිංගික ඊෂ්‍යාවට පදනම් විය හැක.

එමෙන්ම සෑම විටකම අනියම් සබඳතාවයක් ගොඩනැගෙනුයේ සම්මත නීතිය සහ සදාචාරය උල්ලංඝනය කරමිනි. එනිසාම එවන් සබඳතා‍ පවත්වන සෑම කෙනෙකු තුළම කිසියම් වරදකාරී හැඟීමක් ඇති වීමේ පහසු අවකාශයක් තිබේ. මෙය තවදුරටත් වර්ධනය වීමෙන් අනියම් සැමියා හෝ බිරිඳ පිළිබඳව අනෙකා තුළ ලිංගික ඊෂ්‍යාවක් සහ සැකයක් හටගැනීමට පුළුවන. තම අනියම් සැමියා හෝ බිරිඳ තමන් වෙතට පැමිණ ඇත්තේ සිය නීත්‍යානුකූල සහකරු හෝ සහකාරිය සිටිය දී බව අනෙකා දනී. 

මේ තත්ත්වය යටතේ තමන්ට වඩා ගැලපෙන වෙනත් සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමෙන් පසු ඔහු හෝ ඇය තමන් හැර යනු ඇතැයි යන සැකය මෙවන් අනියම් සබඳතා පවත්වන අඹුසැමියන් අතර බහුලවම හට ගනී. ඒ අනුව තම අනියම් සහකරු හෝ සහකාරිය වෙනත් කාන්තාවක හෝ පිරිමියකු දෙස බැලීම කතා කිරීම මුල‍්කොට පවා අනිකා තුළ ලිංගික ද්වේශයක් ඇතිවීම ස්වභාවිකය. එවන් ලිංගික ද්වේශයක් පිබිදීම අපරාධ වලට පහසු ඉඩකඩක් සලසයි.

සාමාන්‍යයෙන් අනියම් සබඳතා‍වයක් ගොඩ නැගෙනුයේ යුග ජීවිතය තුළ පවත්නා කිසියම් අඩුවක් අතෘප්තියක් නිසා බව පොදු පිළිගැනීමකි. එහෙත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විමසා බැලීමේ දී පෙනී යන්නේ එය පිළියම් යොදා නැවත සකස් කළ හැකි තත්ත්වයක් බවය.

එවන් පසුබිමක් තුළ මානසික සෞඛ්‍යය කෙරෙහි අයහපත් ලෙස බලපාන අනියම් සබඳතා ප්‍රවර්ධනය වීම පුද්ගල, පවුල් සහ සමාජමය වශයෙන්ද අහිතකර ප්‍රතිඵල ‍ගෙන එන්නක් බව මනෝවෛද්‍යවරුන්ගේත්, පවුල් උපදේශකයන්ගේත්, මනෝවිද්‍යාඥයන්ගේත්, සමාජවිද්‍යාඥයන්ගේත් පොදු අදහස වී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් අඹුසැමියන් අතර අපරාධ බහුල ඇයි?"

    Post a Comment