22 March, 2017

තියුණු සටනකින් ප්‍රමුඛ එකට

Pramukha Sesath Bike Rider

කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා ගැනීමට ප්‍රමුඛ සේසත් සමත් විය.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ ශූරතාවලියේ පළමු අදියර ලෙස පැවැති මෙම තරගාවලියට යතුරුපැදි තරග 12 ක් ඇතුළත් විය.

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි ඉසව්වේ පළමු තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූ ප්‍රමුඛ සේසත්, පළමු තරගය ජයගත් ශිරාන් සැමුවෙල්වද පසුකර යමින් දෙවැනි තරගය ජයගත්තේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වෙමිනි.

එම තරග දෙක පුරා සේසත් සහ සැමුවෙල් අතර තියුණු සටනක් පැවැති අයුරු දක්නට ලැබුණ අතර ඔවුහු දෙදෙනාම අධිබලැති බී. එම්. ඩබ්ලිව් වර්ගයේ යතුරුපැදි භාවිතා කරමින් තරගයට සහභාගි වී සිටියහ. එහිදී දෙදෙනාම පළමු ස්ථානයක් සහ දෙවැනි ස්ථානයක් සමග ලකුණු 18 බැගින් සම ලකුණු ලබාගත්තද, දෙවැනි තරගයේදී දැක්වූ දක්ෂතාව අනුව සේසත්ට දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ හිමි විය.

යමහා වර්ගයේ යතුරුපැදියක් භාවිත කළ මදුරංග කල්දේරා එම තරග දෙකේම තෙවැනි ස්ථාන හිමිකරගත් අතර ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය ජයගත් ශ්‍රියන්ත අනුරාධට පළමු තරගය අතරතුර අනතුරකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත් විය.

දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට පෙර ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානය සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත්තේද සේසත්ය.

තරගාවලිය පුරා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශොයෙල් ඩැනියෙල්, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.

මෙම තරගාවලියේදී යතුරුපැදි තරග සඳහා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (හංසිකා අබේසිංහ සහ ශුෂ්මි සොලංකි) සහභාගි වූ අතර සෙසු තරගකරුවන් පසුපසට ඇද දමමින් ‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීමට ඔවුන් දෙදෙනා සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එම ජයග්‍රහණයෙන් සෑහීමකට පත් නොවූ හංසිකා අබේසිංහ, ‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගයද ජයගත්තේ ද්විත්ව ජයග්‍රහණයකටද හිමිකම් කියමිනි.

තවත් වේගවත් යතුරුපැදි ඉසව්වක් ලෙස සැලකෙන සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්වේ වැඩි ගෞරව දිනාගැනීමට සංගීත් සූරියගේ සමත් විය. එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානයට පත් වූ සංගීත්, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ජය ගත්තේ සුරාජ් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ, දේෂාන් සොලංකි, උදික
ශ්‍රීමාල් මලවිගේ සහ ආනන්ද සම්පත් වීරසිංහ වැනි එම ඉසව්වේ ප්‍රබල ක්‍රීඩකයන් පසුපසට ඇද දමමිනි.

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 එස්. ඒ. ලක්ෂිකා (නිසාන් මාර්ච් 1000)
2 සප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය-
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ප්‍රමුඛ සේසත් (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ශ්‍රියන්ත අනුරාධ (යමහා ආර්. ඪෂ 600)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය-
1 කසුන් දනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 සංගීත් සූරිගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 කවිඳු දුෂාන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය-
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 කුෂාන් චමෝද් (හොණ්ඩා සී. බී. ආර්. 150)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය-
1 චතුර මධුෂංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ධනුෂ්ක ප්‍රියසාද් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 ජගත් ප්‍රනාන්දු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි පළමු තරගය-
1 ශිරාන් සැමුවෙල් (බී. එම්. ඩබ්ලිව් එච්. පී. 1000)
2 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව් එස්. ආර්. ආර්. 1000)
3 මදුරංග කල්දේරා (යමහා 1000)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය-
1 සංගීත් සූරියගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 සුරාජ් පෙරේරා (හස්කුවානා එෆ්. එස්. 450)
3 දේෂාන් සොලංකි (කේ. ටී. එම්. 450)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය-
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 125)
2 ශූෂ්මි සොලංකි (හොණ්ඩා සී. බී. ආර්. 125)
3 බිනුර කරුණාරත්න (හොණ්ඩා සී. බී. ආර්. 125)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)-
1 ඩිලාන් රත්නායක (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 එම්. සී. එස්. පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 චින්තක පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)

විශේෂ ක්‍රීඩා යතුරුපැදි (සි. ධා. 700 ට වැඩි) තරගය-
1 අකලංක පෙරේරා (ඇප්‍රිලා ඩොසොඩුරෝ 1200)
2 චාරුක කුමාරකිත් (ඩුකාටි ස්ටී්‍රට් ෆයිටර් 848)
3 ප්‍රවීන් ටිරෝන් (කේ. ටී. එම්. සුපර් ඩූක් 1290)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය-
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ලතික ශාමල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 එරංග ගල්පිහිල්ල (හොණ්ඩා සී. බී. ආර්. 250)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි දෙවැනි තරගය-
1 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව් එස්. ආර්. ආර්. 1000)
2 ශිරාන් සැමුවෙල් (බී. එම්. ඩබ්ලිව් එච්. පී. 1000)
3 මදුරංග කල්දේරා (යමහා 1000)

ශානුක අරවින්ද_කෙළිමඬල
ඡායාරූප - ශානුක අරවින්ද

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තියුණු සටනකින් ප්‍රමුඛ එකට"

    Post a Comment