27 August, 2017

මළත් පොහොසත් එල්විස් ප්‍රෙස්ලි

elvis-presley

ජනප්‍රිය භාවය ඔප වැටෙන මැණිකක් බඳුයි. එල්විස් ප්‍රෙස්ලි මියගොස් වසර හතළිහක් ගතවී ඇතත් තවමත් මුදල් ඉපයීමේ වාසනා ගුණය අහිමිවී ගොස් නැත. 2017 වසර දක්වා ජීවත්ව සිටියානම් එල්විස්ගේ වයස අවුරුදු අසූ දෙකකි.

2016 ෆෝබ්ස් නාම ලේඛනයට අනුව ඔහු මියගිය තරු අතර තවමත් ඉහළම ආදායමක් ලබන තරුවකි. 2016 දී ඔහුගේ ගීත ඇල්බම් මිලියනයක් අලෙවි වී ඇති අතර ඉපයූ ආදායම ඩොලර් මිලියන 27ක් විය. (පවුම් මිලියන 21ක්)1977 අගෝස්තු 16 වැනිදා හෘදයාබාධයකින් වයස අවුරුදු හතළිස් දෙකේදී එල්විස් මියගියේ ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හිතකර නැති ආහාරපාන හා පමණ ඉක්මවූ ආදර සබඳතා නිසාය.

ප්‍රෙස්ලිගේ ගීත ඇල්බම පමණක් නොව ඔහුගේ ප්‍රියතම සැන්විච් ආහාරයද ප්‍රෙස්ලි නාමයෙන් අලෙවි වෙමින් පවතී. ඊට බැදපු පාන් පෙති දෙකක්, බැදපු බේකන්, බැදපු කෙසෙල්, ජෑම් සහ රටකජු (පීනට්) බටර් අඩංගු විණි. ඔහු වඩාත් කැමැති එම සැන්විච් වර්ගය. ඩොලර් 10.90 කට (පවුම් 8.42කට) අලෙවි කෙරේ.

එල්විස්ගේ අමරණීය ජනප්‍රිය භාවය ඔප මට්ටම් කරන රසිකයන්ගෙන්ද අඩුවක් නැත. හෙන්රික් නුඩ්සන් එවැන්නකි. ප්‍රෙස්ලි මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 13කි. එවකට එල්විස් මරණයේ කම්පනය ඔහුගේ හද පත්ලටම නොදැනුණත් පසුව ඇති වූ බැඳීම නිසා ප්‍රෙස්ලිගේ ග්‍රේස්ලන්ඩ්, මෙම්ෆිස් නිවෙසට සමාන නිවහනක් ස්කැන්ඩිනේවියාවේ සාදා ඇත. එල්විස් රසික සමාජයක් ද පිහිටුවා ගත් ඔහු 2011 දී ප්‍රෙස්ලිගේ මෙම්ෆිස් නිවහනේ අනුරූපයක් වූ ස්කැන්ඩිනේවියානු නිවහන විවෘත කරන ලදී. නිවෙස සෑදීමට ඔහුට පවුම් මිලියන 2.8 ක් වැය විය. නිවෙසේ පහළ තට්ටුව කෞතුකාගාරයක් බවට පත් කළ අතර ආපනශාලාවක්, වෙළෙඳසලක් ද එහි ඇත. වසර හයකින් ගොඩනැඟිල්ලට ගිය වියදම හෙන්රික්ට උපයා ලබාගත හැකිවිය.

ඩෙන්මාර්කයේ මෙම්ෆිස් මන්දිරයට පසුගිය වසරේ අමුත්තන් 150,000ක් පැමිණ තිබේ.

ලන්ඩනයේ සිඩ් දෝව් ප්‍රේස්ලිගේ ගීත බැතිමතෙකි. ඔහු ‘එල්විස් යුවෝර්ස්’ නමින් වෙබ් අඩවියක් ඇරඹුවේය. වසර ගණනක් පුරා ඔහු එල්විස්ගේ රුව රැගත් කෝප්ප, ඇඳුම් ආයිත්තම්, පොත්, පෝස්ටර, ලාංඡන, පිඟන්, අව් කණ්ණාඩි ඇතුළු බොහෝ දේ අලෙවි කරන්නේය. සිඩ් එල්විස්ගේ උඩුකයේ ඡායාරූප අලෙවි කිරීමට පටන් ගත්තේ ඔහු මිය ගිය 1977 දීය. 1978 දී රසික සමාජයක්ද පිහිටුවීය. ඊබේ මඟින් එල්විස්ට අයත් භාණ්ඩ 12ක් පසුගිය මාස තුන පුරා සෑම පැයකට වරක්ම විකුණා ඇත. මේ භාණ්ඩ දොළහට කෝප්ප, මුහුණු ආවරණ ඇතුළු බොහෝ දේ අයත් විය. එල්විස් ප්‍රෙස්ලි සිහිවටන ලෙස 70,000කට ආසන්න භාණ්ඩ නාමාවලියක් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිතයේ සෙවණැල්ල වූයේ බිරිය ප්‍රිසිලා ප්‍රෙස්ලිය. මෑතකදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නියැළුණු ඇය සන්ඩේ නයිට් මාධ්‍යවේදියාට කියා සිටියේ ග්‍රේස්ලන්ඩ් නිවෙසේ ඉදිරි දොර වෙත යද්දී තවමත් ඔහු සිටින බව දැනෙන වගයි.

ප්‍රිසිලාට ප්‍රෙස්ලි මුණ ගැසුණේ ඔහු ජර්මනියේ හමුදාවට බැඳී සිටියදීය. ඇයගේ පියා අමෙරිකානු ගුවන් හමුදාවේ මේජර්වරයකු විය. ප්‍රෙස්ලි කෙරෙහි හිත බැ‍ඳෙන විට ඇයට යාන්තම් වයස අවුරුදු දාහතරකි. මාපියන් විවාහයට අනුමැතිය නුදුන් නිසා ඇය ජීවිතය නසා ගන්නා බවට තර්ජනය කළාය. දෙදෙනා හත් වසරක් ආදරවන්තයන් ලෙස ඇසුරු කළහ. අවසානයේදී 1967 දී පතිපතිනියන් බවට පත්වූහ. විවාහයෙන් නව මසකට පසු උපන් එකම දියණිය ලීසා මාරි දෙදෙනාගේ එකම දරු සම්පතයි. එකල මොවුන් මිහිබට සුරඟනන් යුවළක් හා සමාන විය. ප්‍රෙස්ලි මෙන්ම ප්‍රිසිලාද රුවින් රන්රස සේ පෑහුණි. එහෙත් විවාහයෙන් සිව් වසරකට පසු කුටුම්භය දෙදරා ගියේ ය.

ඔහු කලා ලොවේ ලද අසීමිත ජනප්‍රියභාවය නිසා සමනලයකුසේ මලින් මලට නිදහසේ සැරිසරද්ද ප්‍රිසිලා සිය සෙනෙහස තවදුරටත් ඔහු හා බෙදා ගැනීමට එකඟ වූවාය. එසේ වුවද ප්‍රිසිලා හා ප්‍රෙස්ලි මිතුරු සබඳතාව මියෙන තුරුම බිඳ වැටුණේ නැත. හේ ඇයගේ දුක සැප සොයා බැලීය. ඇය ඔහුගේ දුක සැප සොයා බැලුවාය.

රාත්‍රියේදී ඔහුගෙන් ඇයට ඇමතුම් ලැබිණි. ප්‍රිසිලාට ද ඔහුගේ ඇමතුම ඉතා අගනාම ඇමතුම විය.

ප්‍රෙස්ලි මිය ගිය පසු ප්‍රිසිලා ඔවුන්ගේ නිවහන ග්‍රේස්ලන්ඩ් මහජනතාවට විවෘත කළා ය.

ප්‍රෙස්ලිගේ හතළිස් වසරක මතක සැමරුමේ සුවිශේෂී ස්ථානයක් හිමිව ප්‍රිසිලාට ද ඇත.

ඇය රොබට් කාඩෂියන් සමඟ සබඳතාවක් පැවැත් වූ බව මේ වනවිට ග්‍රන්ථයකින් එළිදැක අවසානය. මේ ආදර කතාවේ වඩාත් කුතුහලය දනවන සිදුවීමක් වී ඇත්තේ ප්‍රිසිලා රොබට් සමඟ ආදරයෙන් බැඳී සිටියදී ඇයට එල්විස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු විටෙක අතර ඇය දුරකථනයෙන් රොබට්ට ආදරය කරන අන්දම ඔහුට දුරකථනයෙන් ඇසෙන්නට සැලැස්වීම ය. කෙසේ වුවත් ප්‍රිසිලා පවසා ඇත්තේ එල්විස් මිය යන තුරු අන් අයකු හා සරණ නොයන බවයි.

ප්‍රිසිලා 1984 සිට 2006 දක්වා මාර්කෝ ගරිබෝල්ඩ් නම් අමෙරිකානු ව්‍යවසායකයාගේ පෙම්වතිය වී සිටි අතර එම සබඳතාව නිසා නවරෝනි ගරිබෝල්ඩ් පුතු 1987 දී ලැබිණි. ඔහු ද දැන් සංගීතඥයෙකි. හැත්තෑ දෙහැවිරිදි ප්‍රිසිලා තවමත් ප්‍රෙස්ලිට දාහතර වියේදී බැඳි පෙමෙහි අවසානයක් දැක නැත. ඇය ඔහු සතු වස්තූන් සුරකිනවා සේම එල්විස් සෙනෙහස දැක්වූ අශ්වයන් සුරැකීමට ද ගොවිපළ සත්ත්වයන් සුරැකීමටද කටයුතු කරන්නීය.

ප්‍රෙස්ලි, ප්‍රිසිලා හා විවාහ වීමට පෙර ද හොලිවුඩ් සිනමා පටවල තමන්ගේ ආදරවන්තිය වූ තාරකාවන්ට ද සැබෑවටම පෙමින් බැඳී සිට ඇති නමුත් ඒ සම්බන්ධ කට කතා පැතිරුණු විට පවසා ඇත්තේ ඒවා සිනමාපට ජනප්‍රිය කිරීමට සිදු කරන ව්‍යාජ උපක්‍රම බවයි. ප්‍රෙස්ලි කෙතරම් ඍංගාරාත්මක චරිතයක් වුවද ප්‍රිසිලා විවාහ කරගත් දිනය වනතුරුම කිසිඳු කායික සබඳතාවක් නොපවත්වා ඇයගේ පවිත්‍රතාව සුරැකීමට තරම් වගකීම් සහගත වී තිබේ.

අන්තර්ජාලයෙනි (චම්පිකා දීපානි රණසිංහ-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මළත් පොහොසත් එල්විස් ප්‍රෙස්ලි"

    Post a Comment