25 March, 2017

ඉන්දියාවේ ෆැන්ගනේ ගමේ හවස ඉස්කෝලෙට යන ආච්චි අම්මලා

Fangane Grandmothers-01

අනුෂ්‍යා දේෂ්මුඛ් නම් මේ ශිෂ්‍යාවගේ වයස අවුරුදු 90කි. වයස අවුරුදු 10දී විවාහ වී ඇති ඇය කම්කරු යුවළකගේ දියණියක බව පැවසුවාය. පසුගිය වසරක කාලය තුළ අනුෂ්‍යා තමන්ගේ නම අත්සන් කිරීමට ඉගෙන ගත් අතර හෝඩිය කියවන්නටත් 21 දක්වා ගණන් කරන්නටත් උගත්තාය.

ඉන්දියාවේ ෆැන්ගනේ ගම්මානයේ ආච්චි අම්මලා හැන්දෑ වන විට රෝස පැහැති සාරිවලින් සැරසී පාරට බහින්නේ ගණක රාමු සහ හුණුපුවරුද තම මළුවලට ඔබා ගනිමිනි. ඉතා කඩිමුඩියෙන් ඔවුන් ඇවිද යන්නේ ඔවුන් අකුරු කරන පාසල වෙතටය.

මේ වයෝවෘද්ධ ශිෂ්‍යාවන් පිළිබඳව වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙනි. මේ ප්‍රාන්තයේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ සාක්ෂරතාව ඉතා අවම බව සඳහන්ය.

2017 ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ විට ඔවුන්ගේ පාසල තම පළමු සංවත්සරය සමරන්නේය. කෙසේ වෙතත් මේ පාසලට පැමිණෙන ශිෂ්‍යාවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව පැහැදිලිව දක්නට ලැබේ. සමහරුන්ට හරිහැටි අකුරු පෙනෙන්නේ නැත. තවත් අයකුට කතා කරන විට පපුව රිදෙන්නට ගනී. එහෙත් බ්‍රහස්පතින්දා දිනයේ හැර සතියේ සෑමදිනකම ඔවුන් තමන්ගේ වයසට අඩක් පමණ වන ගුරුවරයාගෙන් අකුරු කරන්නට රැස්වෙයි.

'අපට අච්චු පොත් පැන්සල් ගන්න වගේම ඇඳුම් සල්ලි නෑ. ඒත් මම කොහොම හරි ඉස්කෝලේ යනවා. අඩුම තරමේ දවසක් හැර දවසක්වත්‍. මාව ඉස්කෝලේ යැව්වෙ නැත්තම් මට ලෙඩ වෙනවා. අනුෂ්‍යා දේෂ්මුඛ් නම් මේ ශිෂ්‍යාවගේ වයස අවුරුදු 90කි. වයස අවුරුදු 10දී විවාහ වී ඇති ඇය කම්කරු යුවළකගේ දියණියක බව පැවසුවාය. පසුගිය වසරක කාලය තුළ අනුෂ්‍යා තමන්ගේ නම අත්සන් කිරීමට ඉගෙන ගත් අතර හෝඩිය කියවන්නටත් 21 දක්වා ගණන් කරන්නටත් උගත්තාය.

මේ පාසලේ නිර්මාතෘ 41 වියැති යිප්ගේන්ද්‍ර බන්ගාර්ය. අකුරු කියවිය හැකි වූවා නම් තම ගම්මානයේ වාර්ෂිකව සමරනු ලබන චත්‍රපාති ෂිවාජි මහරාජ්ගේ ජීවිත කතාව කියවිය හැකි බව කාන්තාවන් විසින් පැවසීම බන්ගාර්ට මේ පාසල නිර්මාණය කිරීමේ මූලික පදනම සකස් කර ඇත.

'කාන්තා දිනයේ දී කාන්තාවන්ට ඔවුන්ට ගරු කළ යුතු බව පවසනවා. එහෙත් අපි තේරුම් ගත්තා අපේ ආච්චි අම්මලාවත් මේ වනතුරු ඒ වගේ ගෞරවයක් ලබා නැති බව. ඉතින් අපි අවසානයේ තීරණය කළා ඔවුන් බලාපොරොත්තු වූ ගෞරවය ලබා දෙන්න.

පාසලේ පදනම පිළිබඳව බන්ගාර් පවසන්නේ එලෙසිනි.

කාන්තාව උගත් නම් ඇය දැනුම වගේම නිවසට ගෙනෙන එළියෙන් ඒ නිවස නිරන්තරයෙන්ම උගත් නිවසක් වන බව පවසන බන්ගාර් තම පාසල තුළ එවන් උදාහරණ රැසක් පෙන්විය හැකි බව පවසයි. 'අපේ ආච්චි අම්මලාගේ පරම්පරාවට ඉස්කෝලෙකට යන්න කිසිම අවස්ථාවක් ලැබිලා නෑ යි පවසන බන්ගාර් පුණ්‍ය ආයතන මගින් ශිෂ්‍යාවන්ගේ සාරි සහ උපකරණ සඳහා මුදල් එකතු කොට පන්ති කාමරයක් ද සොයා ගන්නට සමත් වී තිබුණි.

තම මුණුපුරන්ගේ අත් අල්ලා ගෙන පාසලට පැමිණෙන රම්භායි ගන්පත් පාසලට පැමිණීමම සතුටක් ලෙස සලකන්නීය.'අපි හරි ආසයි ඉස්කෝලේ යන්න. අපේ මුණුපුරන් අපට ගොඩක් උදව් කරනවා. අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන කොට අපිට අපි ගැන ආඩම්බරයි. දැන් අපට පොත් තියෙනවා. ඒත් ඒවා කියවන්න අපහසුයි. ඒ අකුරු නොදන්න නිසා නොවෙයි. අපේ වයස නිසා දැන් අපිට ඇස් පේන්නෙ නෑ' ඇය පවසන්නේ සිනාසෙමිනි.

'අපි මැරිලා දෙවියන් ළඟට ගියාම දෙවියො අහයි උඹලා මොනවද ජීවත් වෙලා ඉන්න කාලෙ කළේ ' කියලා. අපි කියනවා 'අපි වැඩි දෙයක් කළේ නෑ. එත් අපි ඉස්කෝලේ ගියා. අඩුම තරමේ අපි අපේ නම අත්සන් කරන්න ඉගෙන ගත්තා කියලා.

ඇය පවසන්නේ සිනාසෙමිනි.

පාසලේ දෛනික කටයුතු ආරම්භ වන්නේ ශිෂ්‍යාවන් එක්ව දෙවියන් නැමදීමෙනි. එසේම ඔවුන් විසින් පාසල් වත්තේ සිටුවා ඇති පැළවලට වතුර දමා සාත්තු කරන්නට ද සෑම දිනකම වෙලාව වෙන් කර ඇත. 30 හැවිරිදි ෂීතල් මොර් මේ පාසලේ ස්වෙච්ඡාවෙන් උගන්වන අතර ඇගේ නැන්දම්මා ද මෙහි ඉගෙනුම ලබයි.

පසුගිය වසර තුළ එක් ශිෂ්‍යාවක් මිය ගියාය. වයස 60-90 අතර ශිෂ්‍යාවන් තිදෙනෙකු අලුතින් ගමට එක් විය. ඒ අනුව මේ වන විට පන්තියේ ශිෂ්‍යාවන් ගණන 30ක් පමණ වේ.

2017 ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මේ කාන්තාවන් සිය පළමු සංවත්සරය උත්වශ්‍රීයෙන් සමරනු ලැබීය.

Fangane Grandmothers-02

-ක්‍රිසන්ති විතාරණ_දිනමිණ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ ෆැන්ගනේ ගමේ හවස ඉස්කෝලෙට යන ආච්චි අම්මලා"

    Post a Comment