25 March, 2017

හැම දෙයක්ම කරලා දියාරු වෙන්න මම කැමැති නැහැ

Dulika Marapana-Interviwe 24-03-17

මේ දවස්වල රංගන කටයුතුවලින් අෑත් වෙලාවත්ද?

නැහැ. නැහැ. රංගන කටයුතු පැත්තෙන් 'ලෝරන්ස්ගේ මනමාලි' එක්ක තමයි මේ දවස්වල වැඩ කරන්නේ. එකම දිස්ත්‍රික්කයක හතර පස්වතාව පෙන්වන තරමට ලෝරන්ස්ගේ මනමාලි අති සාර්ථක වුණා. ඒ වගේම විදේශ සංචාර කිහිපයකටත් සම්බන්ධ වුණා.

වේදිකාවේ හිටියට පුංචි තිරයේ නම් පේන්න නැහැනේ?

මම අලුත් ටෙලි නාට්‍ය නම් කළේ නැහැ.

ඇයි ඒ?

මට හොඳ පිටපතක් ලැබුණේ නැහැ. මම මලී, අත්තම්මා, පුංචි වලව්ව වගේ නාට්‍යවල වෙනස් වෙනස් චරිත කළා. දැන් තියෙන ටෙලි නාට්‍ය කෙරුවාව ඇතුළේ ලැබෙන්නේ ඒ කරපු විදිහේම චරිත. වෙනස් දෙයක් මට ලැබුණේ නැහැ.

ටික කාලයක් පුංචි තිරයේ පේන්න නොහිටින එක ඔබව බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙමෙයිද?

මම කොහොමත් ලැබෙන වැඩ හැම එකක්ම භාරගන්න කැමැති නැහැ. ඒ ලැබෙන ඔක්කොම එක වගේ. ඒ හැම එකම කළොත් තමයි ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් වෙන්නේ. මම කැමැතියි වෙනසක් කරන්න. මිනිස්සු මාව ආමන්ත්‍රණය කරන්නේ දුලීකා නමින් නෙමෙයි. අත්තම්මා, ලොකු බබා, දමයන්ති වගේ චරිතවලින් මට කතා කරන්නේ. ඒ ප්‍රේක්ෂකයන් ඒ චරිත වැලඳගෙන තිබෙන නිසා. ඒක තමයි මම ලබාගත්ත ජයග්‍රහණය. හැම දෙයක්ම කරලා දියාරු වෙන්න මම කැමැති නැහැ.

බය නැතිව වැඩ අතහරින්න තරම් ස්ථාවරයක් හදාගෙනද ඉන්නේ?

මම කවදත් හරි ස්ථාවරයක හිටියේ. පවුල් පසුබිම තුළ වගේම ආර්ථිකමය පැත්තෙනුත් මම ස්ථාවරයි. ඉස්සර මම වැඩ කළේ ඇඟේ අමාරුවට. දැන් මම තලතුනා විදිහට සිතනවා. රංගනයට ඇලුම් කරන නිසා තමයි මම රංගනය කරන්නේ. අපි මොන වෘත්තිය කළත් ස්ථාවර වෙන්න ඕනේ. නැත්නම් අපිට හැමදේම කරන්න වෙනවා. මගේ අත්තා කියලා තියෙනවා රුපියල් සියයක් උපයනවා නම් රුපියල් පන්සියයක වැඩ කරන්න කියලා. එහෙම අවංකවම වැඩ කළාම අපේ වටිනාකමත් ඉහළ යනවා. දැන් මම අතිශයින්ම සාර්ථකයි.

ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක දෙකකටත් වැඩියිනේ. චිත්‍රපටයකටත් අතගහන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?

ඔව්. මම සිනමා පටයක් නිෂ්පාදනය කරනවා. මගේ සහෝදරියකුත් එහි බරපැන දරනවා. කාලයක ඉඳන් තිබ්බ හීනයක් තමයි මල්පල ගන්වා ගන්න හදන්නේ. ජූලි මාසේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා. සුජීව තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ලෝරන්ස්ගේ මනමාලි කරද්දී වේදිකාවේ පසුබෑමක් තිබ්බා. නමුත් අපේ නාට්‍ය විසිල් ගගහා රසවින්ද නිර්මාණයක් වුණා. ඉතිං අපිට ඕන වෙන්නේ ගැලරියේ විසිල් එක වදින නිර්මාණයක් කරන්න. මේ චිත්‍රපටය ඒ විදිහේ චිත්‍රපටයක් වෙයි.

ඔබේ පළමුවැනි චිත්‍රපට නිෂ්පාදනය. සුජීවගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. පළමුවැනි වැඩේ වුණත් කරන්නත් කලින් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නේද ඉන්නේ?

ලෝරන්ස්ගේ මනමාලි දිව්වේ නැත්නම් අරන් දුවනවා කියලා තමයි මම කිව්වේ. සියයට හැත්තෑපහක් විතර ප්‍රේක්ෂක ජනතාව මම කරපු නිර්මාණවලට පෙම් කළා. මම කළ චරිත ඔවුන්ගේ ආදරය දිනා ගත්තා. මම දෙයක් කරද්දී ධනවාදීව හිතනවා.

ඔබත් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවාද?

ඔව්.

මේ චිත්‍රපටයේ පෙනී හිටින්න ඔබටද වුවමනා වුණේ?

මෙහි ප්‍රධාන භූමිකා හතරෙන් එකක් මම නිරූපණය කරන්නේ. සුජීවට එයාට අවශ්‍ය ශිල්පීන් සම්බන්ධ කරගන්න අයිතිය තියෙනවා. මම බිරිය නිසා මාව ගන්න ඕන කියන මෝඩ තර්ක මං ළඟ නැහැ. පිටපත රචනා වෙනකොටම මටත් එහි නිරූපණය කරන්න චරිතයක් තිබුණා.

වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

සුනිල් ආරියරත්නයන්ගේ 'අලි කතාව' චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී සිනමා නිර්මාණවලින් මාව ගොඩක් දකින්න ලැබෙයි.

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නත් සූදානම් වෙනවා නේද?

ඔව්. මගේ පළමුවැනි අධ්‍යක්ෂණය. ඒ වේදිකා නාට්‍යයේ පිටපත ලියාගෙන යනවා. සිනමා නිර්මාණයෙන් පස්සේ තමයි ඒ නාට්‍ය කරන්න සූදානම් වෙන්නේ. ඒක දේශපාලන ප්‍රහසනයට බර නිර්මාණයක්. අජිත් මෙන්ඩිස් තමයි එහි පිටපත ලියන්නේ.

ඔබත් එක්ක රියැලිටිවල පෙනී හිටපු තරගකරුවන් නැවතත් රියැලිටිවල තරග කරනවා. ඔබ ඇයි රියැලිටිවල පේන්න නැත්තේ?

මම තරග කළා. දිනුවා. දිනුවට පස්සේ ආයෙත් මම හැරිලා බලන්නේ නෑ. ඊළඟට ජයග්‍රහණය කරන්න ඕන වෙන කෙනෙක්. අපි දේශීය කලාව රියැලිටි තුළට ගෙනාවා. හින්දි සින්දුවලට නට නට හිටපු අය දැන් දේශීය නිර්මාණ රියැලිටිවල කරනවා. ඒ උද්දීපනය දකිද්දී මට සතුටුයි.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හැම දෙයක්ම කරලා දියාරු වෙන්න මම කැමැති නැහැ "

    Post a Comment