13 July, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ට්විටර් නඩුවක්

Against Donald Tramp - a Twitter case

ගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ජනපති පදවියට තේරී පත්වූ ධන කුවේර ව්‍යාපාරිකයාට එරෙහිව දැන් අලුත්ම නඩුවක් පවරා තිබේ.

තමන් ඔහුගේ ට්විටර් ජාලයෙන් ඉවත්කිරීමට එරෙහිව එම නඩුව පවරා තිබෙන්නේ ට්විටර් භාවිත කරන්නන් හත් දෙනෙකු විසිනි.

සිය සගයන්ට ප්‍රසංශා කිරීම සඳහා මෙන්ම විරුද්ධවාදීන්ට දැඩි විවේචනයට ලක් කිරීම පිණිසත් ට්විටර් ජාලය භාවිත කරන ජනාධිපති ට්‍රම්ප්, දැඩි ට්විටර් ලෝලියෙකි.
භාෂණයේ නිදහස

මේ තත්වය යටතේ ඔහුගේ ට්විටර් සම්බන්ධතාව තමන්ට අවහිර කිරීමට එරෙහිව අලුත්ම නඩුව පවරා තිබෙන්නේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන, කොළොම්බියා විශ්වවිද්‍යාලයේ නයිට් ෆස්ට් ඇමෙන්ඩ්මන්ට් ආයතනය (Knight First Amendment Institute) විසිනි.

ජනපතිවරයාගේ ට්විටර් පණිවුඩ හාස්‍යයට ලක්කරමින් හෝ විවේචනය කරමින් එයට ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව ජනපතිවරයා හෝ ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග ට්විටර් සම්බන්ධතාව අවහිර (block) කර තිබෙන බව පැමිණිලිකරුවෝ පවසති.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ දැකගැනීමට හෝ එම පණිවුඩවලට ප්‍රතිචාර දැක්විය නොහැකිය.

එය ප්‍රසිද්ධ අදහස් හුවමාරුවකදී "විරුද්ධ මත මර්දනය කිරීමේ" උත්සාහයක් බව පවසන පැමිණිලිකරුවෝ, එමගින් ජනාධිපතිවරයා සිය භාෂණයේ නිදහස උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරති.

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් (Sean Spicer) සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ජනාධිපති අධ්‍යක්ෂ ඩැනියෙල් ස්කවිනෝ (Daniel Scavino) ද එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ "එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල නිවේදන," ලෙසින් සැලකෙන බව ෂෝන් ස්පයිසර් පසුගිය මාසයේ සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ @realDonaldTrump ට්විටර් ලිපිනය පරිශීලනය කරන්නන් මිලියන 33.7 ක් සිටින අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ලිපිනය වන @POTUS පරිශීලනය කරන්නේ මිලියන 19.3 ක් පමණි.

ජනාධිපතිවරයාට එරෙහිව අතීතයේදී පැවරුණු නඩු අතර:

  1. දැන් විසුරුවා හැර තිබෙන ට්‍රම්ප් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙන් අයතා ලෙස මුදල් උපයාගත් බවට පවරා තිබුණු නඩු තුනක් ඔහු සමතයකට පත්කර ගත්තේය. ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනාව ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු ශිෂ්‍යයන්ට ඩොලර් මිලියන 25 ක වන්දියක් ගෙවීය.
  2. සිය වත්කම අවප්‍රමාණ කළ බවට චෝදනා කරමින්, ඩොලර් බිලියන් 5 ක වන්දියක් ඉල්ලා ට්‍රම්ප් 2006 දී ගත කතුවර තිමති ඕ බ්‍රයන්ට එරෙහිව නඩු පැවරීය. ඔහුගේ පැමිණිල්ල අධිකරණය බැහැර කළේය.
  3. ට්විටර් පණිවුඩයක් මගින් සිය ප්‍රතිරූපයට හානි කළ බවට චෝදනා කරමින් දේශපාලන මූලෝපාය සම්බන්ධ රිපබ්ලිකන් පක්ෂයේ උපදේශිකා චෙරිල් ජේකොබ්ස් 2006 දී ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීය. අදාළ පණිවුඩය මගින් අපහාසයක් නොවුණු බව අධිකරණයේ නිගමණය විය.

(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ට්විටර් නඩුවක්"

    Post a Comment