15 January, 2017

පන්ති යන්න පාර පෙන්නුවෙ අන්ධ තාත්තා

gayani-passed-al

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගයානි කලා විෂය ධාරාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකසිය අසූ තුන් වැනියා බවට පත්වන්නේ විෂයන් ත්‍රිත්වයටම 'ඒ' සාමාර්ථ තුනක් ලබාගනිමිනි. විභාග කඩඉමක් ජයග්‍රහණය කරන සියල්ලන් එකී කඩඉම පනින්නේ ඒ ජයග්‍රහණය උදෙසා වෙහෙසුණු නිසාවෙනි. එවන් පසුබිමක ගයානිගේ ජයග්‍රහණය හුවා දක්වන්නට තරම් කාරණය කිමැයි කියා ඇතැමකුට සිතිය හැකිය.

ගයානි සිය ජයග්‍රහණය හිමිකර ගන්නේ දෛවය තමන්ට උරුමකර දුන් ජීවිතයට සැබෑවටම අභියෝගයක් කරමිනි. උපතින්ම දෑස් අඳ වුවත් ඇය ඇගේ ජීවිතයට හීන ඇහිලුවේය. ඒ හීන පරිස්සමට තියාගත් ඇය ඒ හීන සැබෑ කරගන්නට වෑයම් කළාය. ඇගේ ජීවිත කතාවට ජයග්‍රහණ එකතු වන්නේ ඇගේ දෛවයේ ප්‍රතිඵල ලෙසිනි.

ඇයගේ දකුණු ඇස ඇයට ලෝකය දකින්නට ඉඩ අහිමි කරමින් වැසී යද්දී ලෝකය ගැන පුංචිම පුංචි හඳුනා ගැන්මක් කරන්නට වම් ඇස පමණක් ඇයට නොදැනෙන ඉඩක් දී තිබිණි. දෙනෙතින්ම ලෝකය දකින මිනිසුන් ලැබී තිබෙන සියල්ලට දොස් පවරමින් සිටියදී වම් ඇසෙන් ලැබෙන සියයට පහක පමණ පෙනුමට පින් දුන්නේ ඇයට එය මහමෙරක් තරම් වටිනා නිසාවෙනි.

දෑස නොපෙනේ යැයි දෛවයට දෙස් දෙවොල් නොතියා ඇය අකුරු කරන්නට පටන් ගත්තේ ඇගේ හීනවලට පාර තනා ගැනීමටය. රඹෑව තඹලගොල්ලෑව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ජීවිතයේ සවිය තමන්ගේ ධෛර්යය යැයි විශ්වාසය තබා අකුරු කරන්නට සවිමත් වූවාය. බේ්‍රල් ක්‍රමයට අධ්‍යාපනය ලැබූ ඇයට ජීවිතය සරදම් කළ අවස්ථා නැතුවාම නොවේ. බේ්‍රල් ක්‍රමයට අධ්‍යාපන කටයුතු හැදෑරීමේ වේගය අඩු නිසා ඇයට තමන් සිටි නවවැනි ශේ‍ර්ණියෙන් අටවැනි ශේ‍ර්ණියට පසුබසින්නට සිදුවූවාය. දෑස් අඳ කර ජීවිතය ඇයට දැඩි ලෙස රිද්දා තිබියදී මේ පසුබැසීම ඇයට මහා රිදුමක් නොවීය. ජීවිතයේ සෑම අහිමි වීමක් පසුපසම හිමිවීමක් තිබෙන බවට වූ විශ්වාසය ඇගේ සිතෙහි තැන්පත් වී තිබිණි. ඇය සිය ධෛර්යය මකා දැමුවේ නැත. ජීවිතයේ ඇය දකින අරමුණට යෑමට තව තවත් වෙහෙස මහන්සි විය.

ගයානිගේ පියා සේම මවද ඇයට යෝධ සෙවණැල්ලක් විය. දෑස් නොපෙනෙන දියණියට තමා නොදුටු ලෝකය දකින්නට නොව තමාට යා නොහැකි වූ ලෝකයකට යෑමට කණවැල ඇල්ලුවේ, මහා සවිය වූයේ දෑස් නොපෙනෙන පියාය. ඔහුද සිය නොපෙනෙන දෑස්වලට දොස් නැඟුවේ නැත. පෙනෙන දෑසට වඩා ආත්ම ශක්තිය බලවත් බව දැන ඔහු දෑස් නොපෙනෙන දියණියටත්, පුතණුවන්ටත් සවිය වූයේය. පියාගේ ධෛර්යය ගයානිටද උපන් දායාදයක් ලෙස හිමිවී තිබීම වාසනාවකි.

දුවණිය අකුරට යද්දී අත වනා බායි කියන පියවරුන්ට වඩා දෑස් නොපෙනෙන ගයානිගේ පියා අනගිය. සුදු සැරයටියෙන් පාර අසාගෙන සෑම දිනකම සිය දියණිය අකුරට එක්කන් ගියේ පියාය.

එවැනි පසුබිමකින් පාර තනාගෙන ඇය බාධකවලට මුහුණදෙමින් අධ්‍යාපනයේ එක් කඩුල්ලක් වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් ජය හිමිකර ගත්තේ විශිෂ්ට සාමාර්ථ තුනක්, 'සී' සාමාර්ථ තුනක් හා සාමාන්‍ය සාමාර්ථ දෙකක් හිමිකර ගනිමිනි. ජීවිතය දිනන්නට වෙහෙසෙන දිරිය දියණියක වූ ගයානිට උසස් පෙළ අභියෝගය වෙනුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ කලා අංශයට ඇතුළත් වීමට වාසනාව ලැබුණේ ඉන් පසුවය.

ඇයගේ හීන සැබෑ කරන්නට අත්වැල් සැපයූවන්ද නැත්තේ නොවේ. ජයග්‍රහණයේ කතාවත් සමඟ ඇය ලෝකයට නිරාවරණය වෙද්දී ලැබූ ජයග්‍රහණය ගයානි වචන කළේ සතුටු කඳුළු ඇස් අස්සේම තැන්පත් කරගනිමිනි.

"මට මේ ලැබුණු ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මගේ ජයග්‍රහණයට උදවු කරපු පිරිසකුත් මා එක්ක සිටියා. රඹෑව කෑදෑව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු මට උසස් පෙළ වෙනුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව උදා කරලා දුන්නේ නොච්චියාගම සහන ආබාධිතයන් සඳහා වූ සංගමයේ සභාපති, අනුරාධපුර රියන්සි අලගියවන්න අඳ බිහිරි පාසලේ ගුරුවරයකු වන මහින්ද සිල්වා සර්, රෝහිත දිසානායක සර්, ජයන්ත සර්ත් මාව විද්‍යාලයට ඇතුළත් කර ගන්න විශාල සහයෝගයක් දුන්නා. විදුහල්පතිතුමා මාව කලා අංශයට ඇතුළත් කරගෙන මට මේ ගමන යන්න උදවු කළා."

"මට ඇස් පේන්නේ නැති නිසා කළු ලෑල්ලේ ලියන කිසිම දෙයක් මට පේන්නේ නෑ. මගේ යාළුවෝ මට ලියාගන්න බැරිවෙන දේවල් ලියලා දුන්නා. මාව බස් නැවතුම්පළේ ඉඳන් නව නගරයේ තිබ්බ අමතර පන්තිවලට එක්කරගෙන ගියේ මගේ යාළුවෝ. හුඟක් ආර්ථික අපහසුකම් මැද තමයි මම මේ ගමන ආවේ. පාසල් බස් රථයේ මහත්වරු මට පාසල් යන්න නොමිලේ ප්‍රවේශ පත්‍රයක් පවා ලබා දුන්නා.

"මගේ පන්ති භාර ගුරුතුමිය මට සැලකුවේ අම්මා කෙනෙක් වගේ. සුගත් නයනානන්ද සර්, හසලක විජේබණ්ඩාර සර්, රෝහණ දිසානායක සර්, තරංග ගුණසිංහ සර් අවුරුදු දෙකක්ම මාව අමතර පන්තිවලට නොමිලේ සම්බන්ධ කර ගත්තා. මේ වගේ විශාල පිරිසක් මගේ ගමනට උදවු කළා. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා."
ඇය තමන්ට උදවු කළ සියල්ලන් සිහිපත් කරමින් ස්තුති කළේ දෛවය ඇයට උරුම කරදුන් අභියෝගයට අභියෝග වූ නිසාවෙනි.

ගයානි අධ්‍යාපනික කටයුතුවලට සේම ක්‍රීඩාවටද හපනියකි. ඇයට සරදම් කරන්නට හැදූ දෛවයට ඇය සරදම් කළේ තමන්ගේ දක්‍ෂතා එළිදක්වමින් ජයග්‍රහණ හිමිකර ගනිමිනි. ආබාධිතයන් සඳහා වූ ක්‍රීඩා තරගාවලියක් වන සන්ෂයින් ගේම් හා පළාත් ආබාධිත ක්‍රීඩා උළෙලවල හෙල්ල හා කවපෙත්ත විසි කිරීමේ තරගවලට සහභාගි වෙමින් රන් පදක්කම් පහක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් දෙකක් හා සහතික පත් ඇය දිනා ගත්තේ එලෙස දෛවයට සරදම් පාමිනි. ඇය උසස් පෙළ කඩඉමෙන් ලද ජයග්‍රහණයෙන් ඇගේ දෛවය දෙදරුම් කෑවා නොඅනුමානය.

ඇගේ හීන අහවර නැත. ඇය පරිස්සමට තියාගත් හීන අතර තව සැබෑ කර ගන්නට හීන අහුරකි. ඇය ඇගේ ඉදිරිය ගැන මවපු හීනය අපට දිගහැරියේ මෙලෙසිනි.
"මගේ තාත්තා ගොවිතැන් කරලා අපිව ජීවත් කරන්නේ. ආර්ථික අපහසුතාවලට මුහුණ දීලා මේ ගමන ආවා වගේ මට තවත් හීනයක් තියෙනවා. ඒ සරසවි අධ්‍යාපනයට එකතු වෙලා මහාචාර්යවරියක් වෙන හීනය. ආර්ථික අපහසුතාවලට මුහුණ දීගෙන හරි ඒ තැනටත් මම කොහොමහරි යනවා."

ලැබීම් වෙනුවෙන් සතුටු වෙන නොලැබීම් හමුවේ කම්පා වෙන, අරමුණ අතහරින මිනිසුන්ට ගයානි සැබෑ ආදර්ශයකි. ඇගේ ධෛර්ය ඇගේ විශ්වාසය ඇයට අවශ්‍ය තැනට ඇයව ගෙන යනවා සත්තය.

ඒ වගේම ඇගේ පියාද දියණියගේ ජයග්‍රහණයන් පසුපස යෝධ සෙවණැල්ලක්ව සෙවණ සදන්නට සූදානම්ය.
"මේ පාර වැස්ස නැතුව ගොවිතැනක් කරගන්න බැරිවුණා. තව වී මිටි හත අටක් ගෙදර තියෙනවා. අවුරුද්ද අවසන් වෙද්දී තමයි අමාරුකම් ඇතිවෙන්නේ. දැන් දරුවගේ ඉදිරි ගමනට හුඟක් මුදල් ඕන. මුදල් අපහසුතා වැඩියි. දරුවගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් හොයා ගන්න බැරි වුණොත් කුඹුරු කෑල්ල කාටහරි විකුණලා සල්ලි හොයාගෙන දරුවට උගන්වනවා."

ඔහුගේ ධෛර්ය ගැන තව අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. තමන් නොදුටු ලෝකය දියණිය වෙනුවෙන් තනන්නට ඔහු එදා වගේම හෙටත් ඉදිරියටත් වෙහෙසෙයි. වැසි නොවැස්සත්, කුඹුරු අස්වැදුණේ නැතත් දරුවන් වෙනුවෙන් වූ දයා දියෙන් ඔහු දරුවන්ගේ දිවිය අස්වද්දනු විශ්වාසය.
ගයානි වෙනුවෙන් යමක් කළ හැකි නම් ඒ සෙනෙහෙබර අත්වැලට එකතු වන්නට ඔබටත් ආරාධනා කරන්නට අපි අමතක කරන්නේ නැත. දෛවය සරදම් කරන හැමවිටම දෛවයට සරදම් කරන්නට හැකි බව පෙන්වූ ගයානි සියල්ලන්ට ආදර්ශයකි. ඇයට දිරිය ශක්තියෙහි අඩුවක් නැත. නමුත් අඩුවක් ලෙස තිබෙන ආර්ථික ශක්තියට ඔබත් හැකි සහාය දෙන්නේ නම් බොහෝ පිනකි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
අනුරාධපුර-මහේෂ් විජේසූරිය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පන්ති යන්න පාර පෙන්නුවෙ අන්ධ තාත්තා "

    Post a Comment