05 September, 2017

දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්

smile-from-afar-baby-kid-child

රටක්‌ ආර්ථික වශයෙන් දියුණු වන්නේ, එම රටේ ජනතාව උගත් බුද්ධිමත් පිරිසක්‌ වන්නේ නම් පමණි. එනිසා ලෝකයේ සෑම පුද්ගලයකුටම අධ්‍යාපනය ලබාදීමේ අයිතිය තහවුරු කළේ, 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගිනි. එහෙත්, එම විශ්ව ප්‍රකාශනය එළිදැක්‌වීමට ප්‍රථම, 1943 වර්ෂයේ අපේ රටේ සෑම දරුවකුගේ අධ්‍යාපන හිමිකම, 1943 වර්ෂයේ ක්‍රියාත්මක කළ "නිදහස්‌ අධ්‍යාපන පනත" මගින් එවක අධ්‍යාපන අමාත්‍ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් තහවුරු කර තිබිණ. ඒ අනුව ඇති හැකි අයගේ දූ දරුවන්ට පමණක්‌ හිමි ව තිබූ අධ්‍යාපනය, ලංකාවේ සියලුම දරුවන්ට විශ්වවිද්‍යාලය දක්‌වා, නොමිලයේ ලැබීමට අවස්‌ථාව සැලැසිණ.

එහෙත් රටේ දැනට ක්‍රියාත්මක වන්නේ, ගිරව් මෙන් කටපාඩම් කර විභාගයට පිළිතුරු ලිවීමේ, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකි. එසේ ම, ඉලක්‌ක ගත ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ විභාග ක්‍රමයකි. මෙම විභාග ක්‍රමයෙන් බිහිවන්නේ, උගතුන්, බුද්ධිමතුන් නොවන බව අධ්‍යාපන විශේෂඥයන් පමණක්‌ නොව, සාමාන්‍ය පුරවැසියන් පවා පිළිගත් කරුණකි. මෙම තත්ත්වය නිසා සාමාන්‍ය පෙළ අසමත්ව ඉහළ අධ්‍යාපන ලැබීමේ අවකාශය නොලැබ, පාසල් ජීවිතය අතර මග නතර කරන දරුවන්, රටට වැඩ දායක නොවන ක්‍රියාවල නිරත වෙමින් සිය තාරුණ්‍යය නිෂ්ඵල දෙයට යොමුකර සිටින බව පැහැදිලි කරුණකි.

මෙම තත්ත්වය කෙරේ දැඩි අවධානය යොමු කරමින්, දැනට දියුණු ලෝකයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන හා විභාග ක්‍රමවේද උපයෝගී කරගනිමින් ඉදිරියේදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ වෙනස්‌කම් රාශියක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. දැනටමත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබීම, ප්‍රශංසනීය කරුණකි.

එහි, එක්‌ සාධනීය පියවරක්‌ ලෙස හැඳින්විය හැක්‌කේ, සාමාන්‍ය පෙළ අසමත්වන දරුවන්ට, නව විෂයයන් 16 ක්‌ යටතේ උසස්‌ පෙළ හැදෑරීම සඳහා අවකාශය, 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන නව අධ්‍යාපන ප්‍රතිපත්තියයි. ඒ අනුව සෑම පාසල් දරුවෙකුගේම පාසල් අධ්‍යාපන ලබන අවධිය, 1 වසරේ සිට 10 වසර දක්‌වා නොව, 13 වසර දක්‌වා දීර්ඝ කිරීම, 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙනු ලැබේ. ඒ අනුව අනිවාර්ය අධ්‍යාපන වයස අවුරුදු 5 - 14 සිට 5 -16 දක්‌වා දීර්ඝ වන්නේය. මේ අනුව සෑම දරුවකුටම වසර 13 ක කාලයක්‌ තුළ අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කෙරේ. අපොස සාමාන්‍ය පෙළ අසමත්වන දරුවන් 12 වසරට ඇතුළත් කර ගැනීමේදී, ඔවුන්ගේ දක්‍ෂතා සහ කුසලතා අනුව විවිධ කාර්මික හා රැකියා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකට යොමු කිරීමට අවශ්‍ය පියවර රාශියක්‌ දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන තිබේ. ඒ අනුව, එම විවිධ විෂයයන් සඳහා අවශ්‍ය ගුරු භවතුන් තෝරා ගෙන පුහුණු කිරීමේ අවස්‌ථාවට, අමාත්‍යංශය දැනටමත් යොමු වී සිටී. එමෙන්ම, එම නව විෂය ධාරා, විශ්ව විද්‍යාලයීය මට්‌ටමට උසස්‌ කර විශ්වවිද්‍යාල තත්ත්වයේ අධ්‍යාපනයක්‌ ලබාදීම මෙම නව අධ්‍යාපනික ක්‍රියාවලියට අයත් වේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් "ළමා ක්‍රියාකාරකම් සමීක්‍ෂණය - 2016" යන නමින් සිදුකර තිබෙන වාර්තාව අනුව, මුදල් දුෂ්කරතාව මත, පාසල් අධ්‍යාපනයෙන් දැනටමත් ගිලිහී සිටින 5 - 16 වන වයස්‌ ප්‍රමාණයේ සිසුන්ගේ සංඛ්‍යාව, සිසුන් 14,922 කි. එම සංඛ්‍යාව පාසල් විවිධ හේතූන් මත පාසල් නොයන සිසුන්ගේ සංඛ්‍යාවෙන් සියයට 3.3 කි. මේ පිළිබඳව, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්‌ත කර සිටින සංවර්ධන නිලධාරීන් ගෙන් තොරතුරු ලබාගෙන, එම සිසුන්ගේ මුල්‍ය දුෂ්කරතා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දී, නැවතත් ඔවුන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැනටමත් පියවර කිහිපයක්‌ ගෙන තිබේ. එයින් එක්‌ පියවරක්‌ වනුයේ, 2018 වර්ෂය සඳහා සකස්‌ වන අයවැය යෝජනාවලට, එසේ මුල්‍ය දුෂ්කරතා ඇති සිසුන් සඳහා මුල්‍ය ආධාර ලබාදීම සඳහා ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමය. අනෙක්‌ පියවර වනුයේ, මාපිය කැපකරු දායක ක්‍රමයක්‌ හඳුන්වා දීමය.

මෙහිදී අපගේ අවධානයෙන් ගිලිහී සිටින දරුවන්ද වෙයි. ආබාධිතභාවය නිසා මෙන්ම අසනීප තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමට නොහැකි සිසුන් විශාල සංඛ්‍යාවක්‌ සිටින බව හෙළි වූයේ යථෝක්‌ත, "ළමා ක්‍රියාකාරකම් සමීක්‍ෂණය - 2016" සමීක්‍ෂණ වාර්තාව නිසාය. එම වාර්තව අනුව, ආබාධිතභාවය නිසා පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් 19,213 කි. එම සංඛ්‍යාව විවිධ හේතූන් මත පාසල් නොයන සිසුන්ගේ සංඛ්‍යාවෙන් සියයට 4.2 කි. එසේම, අසනීප තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් 4,709 කි. එය සියයට 1.0 කි. එමෙන්ම, ගුරුවරුන්ගේ මෙන්ම ළමයින්ගේ බලපෑම් නිසා මෙන්ම පාසල ආරක්‍ෂාකාරී ස්‌ථානයක්‌ නොවන නිසා පාසල් අධ්‍යාපනය නොලබන දරුවන්ගේ සංඛ්‍යාව 3,853 ක්‌ වෙයි. එය සියයට 0.9 කි.

මෙම තත්ත්වයට සාධනීය පියවර කිහිපයක්‌ අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන බව, අමාත්‍යාංශයේ තුන්වැනි මහලේ කමිටු ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය විය. ආබාධිතභාවය නිසා පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් 19,213 දෙනා අසනීප තත්ත්වය නිසා නිවෙස්‌වල මෙන්ම, රෝහල්ගතවද පසුවෙත්. මෙම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ස්‌ථිරසාර වැඩපිළිවෙළක්‌ යෙදීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය යොමුව තිබේ. විශේෂයෙන් මහරගම අපේක්‍ෂා රෝහල මෙන්ම, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීම සඳහා මෙහි ආරම්භක පියවරක්‌ ලෙස, පළමුව එම රෝහල් දෙකට ගුරුවරුන් යෙදවීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ආබාධිත දරුවන් සඳහා, 2018 වර්ෂයේ සිට විශේෂ අධ්‍යාපන ගුරුභවතුන් යෙදවීමටත්, අනතුරුව සියලුම ශික්‍ෂණ රෝහල්වලට එම ගුරුභවතුන් යෙදවීමටත් සැලසුම් කර තිබේ. මේ සඳහා අවශ්‍ය ගුරුභවතුන් 831 දෙනෙක්‌ බඳවා ගැනීමට නියමිත වන අතර, එම සියලුම ගුරුභවතුන්ට ජපානයේ හා කොරියාවේ විශේෂඥයන්ගේ යටතේ විශේෂ පුහුණු කිරීමේ විදේශීය ගුරු පුහුණුව ලබා දීමට සැලසුම් සකස්‌ කර තිබේ. එසේම ආබාධිත දරුවන්ට ඉගෙන ගැනීමට ඩිජිටල් තාක්‍ෂණය පදනම් කර ගත් උපකරණ සහ සම්පත් සැපයීමටද ඉදිරියේදී කටයුතු සිදුවනු ඇත.

දෙමාපියන්ගේ සහයෝගය ඇතිව, අසනීප තත්ත්වය මත නිවාසවල සිට ප්‍රතිකාර ලබන ආබාධිත දරුවන්ගේ නිවාසවලට, සතියකට වතාවක්‌ ගොස්‌ අධ්‍යාපනය ලබාදීම සඳහා, සංචාරක ගුරු සේවාව යටතේ නියාමන ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම, කායික හා මානසික, චිත්ත රෝගීන් සහ වෙනත් ආබාධ සහිත දරුවන්ට සියලු පහසුකම් සහිත හෝමාගම, කහතුඩුව යන ස්‌ථානවල සම්පත් හා තොරතුරු මධ්‍යස්‌ථානයක්‌ 2018 වර්ෂයේදී විවෘත කිරීමට ද නියමිතය.

ගුරුවරුන්ගේ මෙන්ම ළමයින්ගේ බලපෑම් නිසා මෙන්ම, පාසල ආරක්‍ෂාකාරී ස්‌ථානයක්‌ නොවන නිසා පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් ගැන සොයා බලා, අදාළ අයට එරෙහිව විනයානුකූලව ක්‍රියා කර එම තත්ත්වය පාලනය කිරීමට ද පියවර ගනු ඇත.

මේ අනුව කටයුතු කිරීමෙන්, ශ්‍රි ලංකාව රටක්‌ වශයෙන් ආර්ථික සමෘද්ධියක්‌ ඇති කර ගැනීමට සියයට 100 ක සාක්‌ෂරතා මට්‌ටමට ගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශයේ අරමුණ වේ.

උදේනී චන්ද්‍රසිරි - මහරගම (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්"

    Post a Comment