09 July, 2017

ළමා ලෝකයේ වැඩිහිටි කෝලම්

cartoon - 2017-07-08_10-52-00

කුඩා ළමයි වැඩිහිටියන් වීමට ප්‍රිය කරති. සමාජය විසින් යාන්ත්‍රීකරණයට ලක් නොවුණු හැම පොඩ්ඩෙකුගේම සිහිනය දොස්තරවරයෙකු, ඉංජිනේරුවරයෙකු, හෝ ගුරුවරයෙකු වීමට වඩා ඉක්මනින් ලොක්කෙක් වීම ය. ජීවිතය විශාල කේක් ගෙඩියක් නම් ඕනෑවටත් වඩා එය සරසා ඇති අයිසින් තට්ටුව අනාගතයේ පවතිනවා ඇතැයි සිතන මායා ලෝකයයි. කුඩා කල සිහින මවන ලොක්කෙකු වීමේ ආශාව අන් සියලු ආශා සේම කල් ඉකුත් වීමක් සමඟ පැමිණේ.

වැඩිහිටියෙකු වීමේ රඟ මනුෂ්‍ය ජීවිතවලට දැනෙන්නේ පාසල් ජීවිතයෙන් පසුවය. මෙතෙක් කල් සිහින මැවුවේ ඉල්ලන් ටින්කිරි ගා ගැනීමකට නොවේදැයි ප්‍රත්‍යක්ෂ වන විට වැඩිහිටියෙකු වීමේ උගුලට අප අසු වී හමාර ය. මලක් ලෙස ජීවත් වුණ සියලු දෙනා මලක් ලෙසින්ම සිය ඉදිරි ජීවිතය පවත්වා ගන්නේ නැත. 

සියලු සත්වයන්ගේ සිත්වල සෞම්‍ය ආකල්ප ඇති නම් වැඩිහිටියෙකු වීම සුව කළ නොහැකි තුවාලයක් වන්නේ ද නැත. කුඩා දරුවෝ අන්‍යයන්ගේ අනන්‍යතාවලට ගරු කරති. නමුත් කෙමෙන් වැඩිහිටියන් බවට පත් වීමේදි අනික් පුද්ගලයන් නිර්දය ලෙස විවේචනය කිරීමේ තුප්පහි ගුණාංගය සමහරු සිය ජීවිතවල අනිවාර්‍ය අංගයක් කර ගනිති.

බාල කාලයේ නිවස තුළ රඳවා ගන්නට නොහැකි වූ දරුවා කරදඬු උස් මහත් වන විට කාමර අඩස්සියටම වී කල් ගෙවනු ඇත. මිතුරන් හා එක් වී සතුටු වීමට ප්‍රිය කළ දරුවා මිත්‍රයන්ව මග හරිනු ඇත. සමාජශීලි චරිත සමාජයෙන් සැඟවෙනු ඇත. ඕනෑම වැඩකදී නොපැකිලව ඉදිරියට පැමිණ ක්‍රියාශීලීව කටයුතු කළ දරුවා වැඩුණු මිනිසෙකු ලෙස අලස සහ ලජ්ජාශීලි පුද්ගලයෙකු වනු ඇත. 

මේ චර්‍යා විපර්‍යාසයට පද සෑදීමට නම් නොයෙකුත් දෙනා ඉදිරිපත් වනු ඇත. නමුත් මේවාට වගකිව යුත්තෝ අපි වෙමු යැයි පිළි ගැනීමට මෙලෝ සත්වයෙකු ඉදිරිපත් නොවනු ඇත. බටහිර රටවල් හා සැසඳීමේදි අප මනුෂ්‍යත්වය අතින් කොතරම් ඉහළ ස්ථානයක් අත්පත් කර සිටියත් තවත් අයෙකුට පද හැදීම ලාංකිකයෙකු වීම නිසා ලද අපුල දායාදයකි.

වැඩිහිටියෙකු යනු පරිණත ජීවියෙකි. කාලයත් සමඟ මිනිසාගේ කර මත අධික වගකීම් සම්භාරයක් පැටවෙන බවත් ඒවා ඉටු කිරීමට යන අයගේ ජීවිත කතා එකිනෙකට හාත්පසින් වෙනස් බවත් එම පරිණත ජීවියා දත යුතුය. ආදරය, විවාහය, රැකියා තත්ත්වය, අධ්‍යාපන සුදුසුකම් යනාදි සාධක අවාසනාවට මිනිසුන් මැනීමට ඇති මිනුම් දඬුය. 

බෞද්ධ දර්ශනයට අනුව අප්‍රමාණ ලෙස කුසල් එක් රැස් කරගත් පිනෙන් ලැබූ මිනිස් ජීවිතය හාල් පොල් මෙන් මැනිය හැක්කේ කෙසේද යන්න තවත් ප්‍රශ්නයකි. මෙවැනි සංවේදි කාරණාවලට අසංවේදි වීමෙන් ප්‍රීතිය ලබන්නේත්, සිත් රිදවා ගන්නේත් වැඩිහිටියන් දෙදෙනෙකු ම වීම තවත් ප්‍රශ්නයකි.

ක්‍රියා කලාපය අතින් කෙසේ වූවත් ලෝකයට හොඳ මුහුණ පෙන්වීම අතින් වැඩිහිටියා පරිණතයෙකි. උදාහරණයක් වශයෙන් තමන් සත් ගුණවත් 'පොරක්'යැයි කීමට කලාව උපයෝගි කර ගන්නන් පෙන්විය හැකිය. මානව හැඟීම් සම්බන්ධයෙන් අප තරම් නොදන්නා තවත් අය නැත යන හැඟීමෙන් පාරම්බානා කලාකරුවෝ බොහොමයක් කුහක සිත් ඇත්තෝ වෙති. 

හදවතින් ම තවත් අයෙකු හා සිනාවීමට නොදන්නා මනුෂ්‍යත්වය පිළිබඳ කලා නිර්මාණ කරන බහුරූ කෝලම් ඇත. තම ආනුභූතියකට අනුව ප්‍රේමය ගැන විශ්ව ව්‍යාප්ත කෝණයකින් කවියක් කුරුටු ගාන්නාට තවත් කාගේ හෝ ප්‍රේමයක් බලියක් වන අවස්ථා ඇත.

වයසට යාම නොවැලැක්විය හැකි හේතුවකි. නමුත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ඇති ආකල්ප වෙනස් කළ හැකිය. එය කළ යුත්තේ ක්‍රියාවෙනි. තවත් අයෙකුව ඔහු කවුද යන සංකල්පයට මිස ඔහු කවුරුන් විය යුතුද යන්න පිළිබඳ සිත් යොමු නොකරන්නේ නම් වැඩිහිටියෙකු වීම ළමා කාලය සේම සුන්දර ය.

වැඩිහිටියෙකු තුළ අවිවාදයෙන් ම කුඩා දරුවෙකු ජීවත් වෙයි. එසේ නැත්නම් නහින දෙහින කාලයේත් කාටුන් බැලීමට, තේ කෝප්පයේ බිස්කට් පොඟවා කෑමට, ගමනකදී අපත් සමඟ හඳ ගමන් කරන ආකාරය දෙස බලා හිඳීම, වැසිබර දිනවල කඩදාසි බෝට්ටු සෑදීම, කළුවරට ඇති බිය, අම්මාගේ අතින් බත් කෑමට ඇති ආශාව යනාදී සකලවිධ ළමා හැඟීම් අප තුළ දක්නට බැරිය. එලෙස ජීවත් වන දරුවාට බාධාවකින් තොරව තමා තුළ ජීවත් වීමට ඉඩ දෙන්නේ නම් වැඩිහිටි ලෝකය ලස්සන වනු ඇත.

තිසරණී විජයබණ්ඩාර @Thizuu (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ළමා ලෝකයේ වැඩිහිටි කෝලම්"

    Post a Comment