08 July, 2017

ෆෝ ඩී. ආර්. ෆයිව් ජීප් එකේ යමු රවුමක් රට වටේ

4dr5 jeep

ජාතික ආපදා අවස්ථාවන් වලදී ලංකාවේ මිනිස්සුන්ගේ මිනිසත් බව පිළිබිඹු වන අවස්ථාවන් විරල නොවේ. බොහෝ මිනිසුන් තම හැකි පමණින් විපතට පත් වූවන්ට සහන සැලසීමට ඉදිරිපත් වෙති. නමුත්, එවැනි අවස්ථාවලදී සාමාන්‍ය ජනයාට සාමාන්‍ය වාහනයකින් ළඟා විය නොහැකි ස්ථාන කරා ගොස් තම මිනිසත් බව විදහා දක්වමින් ජාතික මෙහෙවරකට දායක වූ පිරිසක් පසුගිය ගංවතුර ආපදා අවස්ථාවලදී දක්නට ලැබුණි. ඒ විශේෂ රථ වාහන හිමි කණ්ඩායම් කිහිපයකි. මෙරට Off road රථ වාහන සංගම් ගනණාවක් මෙම අවස්ථා වලදී විපතට පත් වූවන්ට සහන කටයුතු සඳහා දායකත්වය ලබාදුනි. ශ්‍රී ලංකා මිට්සුබිෂි ජීප්රථ සංගමයේ සාමාජිකයන්ද මෙම ජාතික ආපදා අවස්ථාවේදී විපතට පත් පිරිසට සහන සැලසීමට හා සහන කණ්ඩායම් ප්‍රවාහනය සඳහා තම දායකත්වය උපරිම ආකාරයට ලබා දුන් පිරිසකි.

මෙම පිරිස තම වාහන නඩත්තු කරනුයේ පුද්ගලික වියදමිනි. මැති ඇමැතිවරුන්ට මෙන් සුඛෝපභෝගී pre filters යෙදූ ජිප් රථ මොවුන්ට නැත. දශක ගනණාවක් පැරණි නමුත් ඕනෑම රළු පරළු ගමනකට කදිමට ගැලපෙන වාහනයක් වන පැරණි මිට්සුබිෂි ජිප්රථ බොහෝ ආදරයෙන් රැක බලා ගන්නා පිරිසක් මෙම සංගමය වටා රොක් වී සිටිති. පසුගිය ගංවතුර ආපදා අවස්ථාවේදී සහන කටයුතු සඳහා මෙම පිරිස විශාල දායකත්වයක් ලබාදුනි.

රත්නපුර, ගාල්ල, නෙළුව හා හිනිදුම ප්‍රදේශ වෙත ද්‍රව්‍ය ආධාර රැගෙන යාමට මෙන්ම සාමාන්‍ය රථවාහන ළඟා විය නොහැකි ප්‍රදේශ වෙත වෛද්‍ය කණ්ඩායම් රැගෙන යාම සඳහාද මෙම සාමාජිකයන් දායකත්වය ලබාදුනි. රත්නපුර කැටේපොළ ගම්මානය වෙත කිසිදු ආධාරයක් නොලැබී ඇති බවත්, එහි ළඟාවීම ඉතාම අපහසු බවත් තොරතුරු වාර්තා විය. ගම්වාසින් පවා නොයන ඉතා දුෂ්කර අධික ලෙස කැඩී බිදී ගිය මෙන්ම නාය අවදානම් සහිත මාර්ග ඔස්සේ යමින් මෙම පිරිස් වෙත වියළි ආහාර මෙන්ම ඉටිපන්දම් රැගෙන යාමට මිට්සුබිෂි ජීප්රථ සංගමයේ සාමාජිකයන්ට හැකි විය. තම ජීප්රථ වලට යා හැකි උපරිම දුර ජලයෙන් යට වි ඇති ප්‍රදේශයේ ද ගොස් ඉතිරි දුර ඔරු පාරු වල යමින් දිවා රෑ නොබලා කටයුතු කළ ඔවුන් වෙහෙස මහන්සිය නොබලා ඊලග දිනයේද තවත් සහන රැගෙන වෙනත් ප්‍රදේශයකට යනු දක්නට ලැබුණි. කැටේපොළ / ඇල්ලගාව / කරදන / එපිටවල / දුම්බර / ගලතුරේ වැනි ප්‍රදේශ වෙත වියළි ආහාර රැගෙන ගොස් පැමිණි ඔවුන් ඊලගට වෛද්‍ය කණ්ඩායම් රැගෙන ගාල්ල හිනිදුම හා නෙළුව ප්‍රදේශ වෙත ළඟා විය. කොළඹ සිට වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍යාධාර ප්‍රවාහනය සඳහා දායකත්වය ලබා දුන් ඔවුන් නැවත කොළඹ පැමිණෙන විට මධ්‍යම රාත්‍රියද පසු වී තිබුණි. නමුත්, ඊට පසුදිනද සහන කටයුතු සඳහා ආරාධනයක් ලැබුණු සැනින් නැවත පිටත්ව යන්නේ පෙර දින ගමන් මහන්සිය පවා සන්සිදුවා ගැනීමට තරම් හෝ අවකාශයක් නොමැතිවයි.

මෙසේ දින ගණනාවක් පුරා සාමාන්‍ය වාහනයකින් ළඟාවිය නොහැකි ප්‍රදේශ වෙත යමින් ආධාර ප්‍රවාහනයට මෙන්ම සහන කණ්ඩායම්

ප්‍රවාහනයටද දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා මිට්සුබිෂි ජීප් රථ සංගමය ඊළගට දායකත්වය ලබා දුන්නේ ගංවතුරෙන් අවතැන් වූ පාසල් සිසුන්ගේ පාසල් උපකරණ ලබා දීමේ කටයුතු වෙනුවෙනි. පාසල් සිසුන්ට අවැසි පොත් පත් හා පාසල් බෑග් ආදිය ලබා දීමට විවිධ පාර්ශවයන්ගේ උදව් උපකාර ඇතිව මෙම පිරිස කටයුතු කළහ. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆෝ ඩී. ආර්. ෆයිව් ජීප් එකේ යමු රවුමක් රට වටේ"

    Post a Comment