08 August, 2017

ඔබටත් කොලෙස්‌ටරෝල්ද?

cholesterol

මේද සහිත ආහාර ප්‍රධාන වශයෙන් සංතෘප්ත මේදය හා අසංතෘප්ත මේදය ලෙස කාණ්‌ඩ කළ හැකි ය.සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කළවිට,සිරුරේ කොලෙස්‌ටරෝල් තත්ත්වය ඉහළ නැගීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්‌ටු වශයෙන් තැන්පත් වී, රුධිර ගමනාගමනය අපහසු වී, හෘදයාබාධ හටගනී.

මොළයේ කොලෙස්‌ටරෝල් තැන්පත් වීමෙන් අංශභාගය වැනි භයානක රෝගවලට මුහුණ දීමට සිදු වේ.

සංතෘප්ත මේදය බහුල ආහාර ලෙස එළකිරි, මී කිරි, බිත්තර කහමදය, එළුමස්‌, හරක්‌ මස්‌, ඌරු මස්‌, පීකුදු, චීස්‌, බටර්, බේකන්, හැම්, සොසේජස්‌, පොල්, කජු, රටකජු වැනි ආහාර සඳහන් කළ හැකි ය.

අසංතෘප්ත මේදය බහුල ආහාර ලෙස, අලුත් එළවළු, පළා වර්ග, පලතුරු (අලිගැටපේර හැර), කුඩා මාළු, නිවුඩ්ඩ සහිත සහල්වල බත්, සම ඉවත්කොට පිසූ කුකුළු මස්‌, මේදය රහිත කිරි, සෝයා තෙල්, සූරියකාන්ත තෙල් ආදිය සඳහන් කළ හැකි ය.

‌ශරීරයේ ප්‍රධාන, වටිනාම අවයවයක්‌ වන අක්‌මාව මඟින් කොලෙස්‌ටරෝල් 65% ප්‍රමාණයක් නිපදවෙන බවත්, ඉතිරි 35% ක ප්‍රමාණය ශරීරයට ලැබෙන්නේ අප ගන්නා ආහාර මඟින් බවත් සොයාගෙන ඇත. සාමාන්‍යයෙන් කොලෙස්‌ටරෝල් අධික රෝගියකු වැලමිට පිටුපස, උඩු අල්ල, ඇස යට, බල නහරය, දනණහිස්‌කටු පරීක්‍ෂාවට ලක්‌ කළ විට, කහ පාටට හුරු ලප වශයෙන් කොලෙස්‌ටරෝල් තැන්පත් වී ඇත. එවිට එම පුද්ගලයන් වඩාත් ප්‍රවේශම් විය යුතු ය.

ආහාර මෙන් ම, අධික දුම් පානය, දැඩි මානසික පීඩනය, ශරීරයේ ස්‌ථූල බව, දියවැඩියාව, කය වෙහෙසා වැඩ කටයුතුවල නොයෙදීම හා වයස , මේ රෝගය සඳහා හේතු වේ.

මේ රෝගයෙන් මිදීම සඳහාත්, රෝගයට ගොදුරු නොවී සිටීම සඳහාත් ගත හැකි ආහාර ලෙස,කෙඳි සහිත ආහාර සඳහන් කළ හැකි ය.

නිවුඩු සහලේ බත්, කුරක්‌කන්, ඕලු ඇට සෝයා බෝංචි හා ෙනත් ධාන්‍ය ආහාර යෝග්‍ය ය. පලතුරු ආහාරයට ගැනීම මඟින් ශරීරයේ අධික තෙල් බොහෝ විට අඩු වේ.

තුඹ, හාතාවාරිය, රතුලූණු, ඇඹරැල්ලා, සලාද කොළ ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක ය.

පොලොස්‌, කොහිල, කෙසෙල්මුහ, මානෙල් අල, නෙළුම් අල, බතල, හුලංකීරිය, පලා වර්ග, කොළ හා තැඹිලි පැහැති එළවළු, කැරට්‌, රතු මල් ගෝවා, තක්‌කාලි, නිවිති වඩාත් ගුණදායක බව සඳහන් වේ.

තැඹිලි වතුර, කුරුම්බා වතුර, ස්‌වභාවික ඔසු තැම්බූ ජලය, විශේෂයෙන් කරපිංචා, බැබිල මුල්, කුඹුක්‌ පොතු, උළුහාල්, සුදුලූණු, අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, රණවරා, කොල්ලු ආදිය තැම්බූ ජලය තේ වෙනුවට බීමට ගැනීම වඩාත් යෝග්‍ය ය.

කුඩා මත්ස්‍ය වර්ග අතරින් සැමන් මසුන් ගුණදායක ය. එසේ ම, පිටි ආහාරයට ගැනීම නිසා මේදවලින් ඇතිවන අහිතකර තත්ත්ව ඇති නොවන අතර, ගන්නා මේද ප්‍රමාණය තනුක වීමක්‌ සිදු වේ.

දිනපතා ආහාර සමඟ රතුලූණු ගෙඩි තුන හතරක්‌ සහ සුදුලූණු බික්‌ තුන හතරක්‌ පමණ ආහාරයට ගැනීම සුදුසු ය.කරපිංචා කැඳ පානය කිරීම,

කරපිංචා දළු, ගොරකා, රතුලූණු එක්කර, ලුණු මිරිසක්‌ මෙන් සකසා දිනපතා ආහාරයට ගැනීම, මේ රෝගයෙන් අත්මිදීමට මඟ සකසාලයි.

සත්ව මේදය අඩංගු ආහාර, එනම් බටර්, චීස්‌, පීකුදු, සත්ව මොළය, ප්ලීහාව වැනි කොටස්‌, යොදය සහිත කිරි ආහාර, මද්‍යසාර භාවිතය අඩු කළ යුතු ය.

අයිස්‌ක්‍රීම්, සකස්‌ කළ බීම වර්ග සීමා කිරීම, ඉස්‌සන්, කකුළුවන්, බිත්තර, රටකජු ආහාරයට නොගැනීමට මේ රෝගීන් වගබලාගත යුතු ය.පුඩිං වර්ග, මුදවපු කිරි, යෝගට්‌, බටර්, මාගරින් ආහාරයට නුසුදුසු ය.

සුප් කැට, මස්‌ වර්ග අගුණ ය.

මීට අමතරව ආතතියෙන් මිදීමට මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යන ක්‍රියාකාරකම්වල යෙදීම, බර අඩු කර ගැනීම සඳහා ක්‍රමවත් ව්‍යායාමවල යෙදීම කළ යුතු ය.එසේ ම,

දවසකට පියවර 2000 ක්‌ වත් ඇවිදීම සුවදායක ය.

අන්තර්ජාලය ඇසුරිනි - යශෝදා ඉන්දීවරී (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔබටත් කොලෙස්‌ටරෝල්ද?"

    Post a Comment