12 April, 2017

වේදිකාවට වඩා මම කැමැති සිනමාවට

Dharmapriya Dias-2017.04.12

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ඔබ?

ඔව්, ඒ ගැන හුඟක් සන්තෝසයි. මේක ලැබුණේ රාජිත දිසානායකගේ "නැතුව බැරි මිනිහෙක්" කියන නාට්‍යය වෙනුවෙන්. ඒ නාට්‍යය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය මට ලැබෙද්දී හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, උළෙලේ හොඳම නාට්‍ය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය සහ හොඳම පසුතල නිර්මාණය වෙනුවෙන් සම්මානනීයයන් තේරෙන්නෙත් "නැතුව බැරි මිනිහෙක්" වේදිකා නාට්‍යයෙන්.

සම්මානනීය ඇගයුම් ඔබට නුහුරු නුපුරුදු නැහැ. මේ සම්මානනීය ඇගයුම ඔබට දැනෙන්නේ කොහොමද?

සම්මාන කියන දේවල්වලින් අපේ වගේ රටක ඕන කෙනකුට උත්තේජනයක් ලැබෙනවා. ඒ ඇරෙන්න ඒක ජීවිතයේ වෙනසක් වෙන දෙයක් නෙවෙයි. ඒ කොහොම වුණත් ඒකෙන් නිරහංකාර සතුටක් ලබන්න පුළුවන්.

කොහොමද මේ දවස්වල අනෙක් වැඩකටයුතු?

"සාදය මාරයි සල්ලි හමාරයි" වේදිකා නාට්‍යයේ දර්ශන පෙළ ආයෙත් පටන් ගත්තා. "නැතුව බැරි මිනිහෙක්" නාට්‍යයත් කරගෙන යනවා. ඊට අමතරව "බැංකු වීරයා" කියන අලුත් වේදිකා නාට්‍යයටත් සහභාගි වෙනවා.

වේදිකා නාට්‍යවලට වැඩි ඉඩක් දෙනවා නේද?

ඔව් මම වේදිකා නාට්‍යවලට කැමැතියි

ඔබ කාලයක් තිස්සෙ වේදිකාවත් එක්කම රැඳී ඉන්න රංගන ශිල්පියෙක්නෙ. ඔය තරමට ඇයි වේදිකාවට ඇලුම් කරන්නෙ?

වේදිකාවට වැඩිය මම කැමැති චිත්‍රපටවලට . නමුත් මම වැඩිපුරම රැඳෙන්නෙ වේදිකාව එක්ක තමයි. ඔක්කොම කලා මධ්‍ය වුණාට වේදිකා නාට්‍යවලට කවුරුත් ඇඟිලි ගහන්න එන්නෑ. ආවත් ඉක්මනටම යනවා. වේදිකාව සෙල්ලම් කරන්න, ගේම් දෙන්න පුළුවන් තැනක් කියලා මං හිතන්නෑ. වේදිකා නාට්‍යවලට වුවමනා කෙනාව වුවමනා විදියට ගන්නවා. ඒ නිසා මම කැමැතියි.

සිනමාවේ අලුත් වැඩක් කළේ නැද්ද?

ප්‍රියන්ත කළුආරච්චිගේ "රතු සමනල සිහිනයක්" කියලා චිත්‍රපටයකට දායක වුණා. ඊට අමතරව ජගත් මනුවර්ණගේ අලුත් චිත්‍රපටයක් එනවා. ඒ චිත්‍රපටයේ වැඩවලට සහභාගි වෙන්න ඉන්නවා.

පුංචි තිරයේ වැඩවලට අඩුවෙන්ද සම්බන්ධ වෙන්නේ?

එහෙම නැහැ. රූපවාහිනියේ "ඉර හඳ යට" "දෙවැනි ඉනිම" වගේ නාට්‍ය කිහිපයක ඉන්නවා. ඔය දකින්න ඉන්න තරම ඇතිනෙ.

ඔබේ රංගනයන්ට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ගැන සතුටුද?

මම සම්බන්ධ වෙන නාට්‍ය නරඹන ප්‍රේක්‍ෂකයන්ගෙන් ඒ නිර්මාණවලට හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා.

ඔබේ රංගන ජීවිතයේ තෝරා ගැනීම් තියෙනවද?

වේලාව අනුව මට කරන්න පුළුවන් දේවල් තමයි මම භාර ගන්නෙ. බැරි දේවල් කරන්න යන්නෙ නැහැ. එතකොට කරන එක වැඩකටවත් සාධාරණයක් කරන්න බැරි වෙනවා.

ඔබ රංගනයේදී වටිනාකමක් සහ පිළිගැනීමක් බලාපොරොත්තු වෙනවද?

ඔව් බලාපොරොත්තු වෙනවා. පිළිගැනීමක් කියන්නෙ කවුරු හරි අපිව දැක්කම අඳුරන එක නෙවෙයි. නමුත් කොයි මොහොතක හරි මෙතැන ඉන්නෙ අහවලා නේද? අහවල් චරිතය කරපු කෙනා නේද? කියලා මනුස්සයෙක් හඳුන ගත්තොත් එතැන ඉඳන් පිළිගැනීම තියෙනවා. කරපු දේවල් එක්ක තමයි පිළිගැනීම ඇති වෙන්නේ.

සමහර අයට ඒ පිළිගැනීම ලැබෙන්නෙ අඩුවෙන් නේද?

අපිව දැක්ක ගමන් හඳුන ගත්තේ නෑ කියලා දුක්වෙනවා නම් ඒකත් ගොන්කමක්. මොකද අපිව දැකපු ගමන් හඳුන ගන්න නම් ඒ විදියට නාට්‍යවල ඉන්න ඕනෙ. අපි කරලා තියෙන්නේ වෙනත් කෙනකුගේ චරිතයක්. වෙනත් විදියකට හැසිරිලා තියෙන්නේ. අනික අපි ඒ චරිතෙන් පාරෙ යන්නෙත් නැහැනෙ.

රංගනයත් එක්ක එක එක අයට හීන තියෙනවා. ඔබටත් එහෙම හීනයක් තියෙනවද?

මෙහෙමයි ඒක සංසිඳෙන්නැති ආශාවක්. හොඳ චරිතයක් ලැබෙනකම් බලන් ඉන්නවා. පස්සෙ හොඳ චරිතයක් කළා කියමුකො. ඊට පස්සෙ ඉන් එහාට ගිය චරිතයක් හොයනවා. ඉතින් මේකෙ කෙළවරක් නැහැ. දැන් ඔස්කා සම්මාන ලැබුණු කෙනා නිකන් ඉන්නවද? තව සම්මානයක් ලබා ගන්නනේ උත්සාහ කරන්නේ. මිනිස් ස්වභාවය තමයි ඉතින් ඕක.

ඔබ ගුරුවරයෙක්. ගුරු වෘත්තියයි රංගනයයි පටලවා ගන්නේ නැතුව කරන්න පුළුවන්ද?

මම පාසලක නාට්‍ය හා රංගන කලාව උගන්වනවා. රංගනයත් මම කැමැත්තෙන් කරන දෙයක්. හැමදේම කළමනාකරණය කරගෙන කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා. ඒ නිසා මම කරන එක වැඩකටවත් අසාධාරණයක් කරන්නේ නෑ.

ඔබට පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔබේ රංගන අඩිපාරේ ගෙනියන්නද බලාපොරොත්තු වෙන්නේ?

මගේ පුතාලා දෙන්නා තාම පාසල් යනවා. එයාලා එයාලට කැමැති හොඳ පාරක ගියපුදෙන්. අපිට ඕන පාර පෙන්නලා ඒ පාරේම යන්න කියලා බලපෑම් කරන්න අපිට අයිතියක් නැහැනේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වේදිකාවට වඩා මම කැමැති සිනමාවට "

    Post a Comment