15 June, 2017

"පෙම්වතියක් ඉන්නවා ඒත් වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉන්න බැරිනම් අයින් වේවි..." - දසුන්

Dasun Pathirana - 02

දසුන් පතිරණ රංගනයට නවකයෙක් වුණත් ඔහුගේ රංගන පරාසය සිනමාව වේදිකාව වගේම පුංචි තිරය පුරාත් දකින්න ලැබෙනවා. කෙටි කලකින් ඔහුගේ රංගනය විවිධ චරිත තුලින් මතු වුණා කිව්වොත් හරි. ඔහුගේ තොරතුරු ගැන මේ විදිහට පුවත් පතක සදහන් වී තිබුණා.


‘නිනෝ ලයිව්’ නිශාන්තගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?
තිසර ඉඹුලාන ඇතුළු චිත්‍රපටයේ ඉන්නේ බොහෝදෙනා එකම නාට්‍ය පාසලක ඉගෙන ගන්න පිරිසක්. ඒ ඉන්න අතරේ යමක් කරන්න ඕනෑ කියන අදහසින් සහභාගි වුණු වැඩක් තමයි ‘නිනෝ ලයිව්’ කියන්නේ.

‘නිනෝ ලයිව්’ හරහා ඔබට හීන ගොඩක් තිබුණද?
එදා තිබුණ හීනය වුණේ මේ චිත්‍රපටය අතරින් සිනමා ප්‍රේක්ෂකයන් අතරට යෑමයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ.

ඔබත්, තිසරත් හොඳට පෑහෙනවද?
අප රඟපෑ කෙටි චිත්‍රපට, වේදිකා නාට්‍ය සියලුම දේ කළේ එකමුතුවකින් යුතුවයි. ඔහුගේ රිදම් එකයි මගේ රිදම් එකයි හැමතිස්සේම තිබුණේ එකක් විදියටයි. අපේ යහළුකම, මතවාද එකම විදියටයි පෙළ ගැසිලා තිබුණේ.

ඒ කියන්නේ ඔහුගේ නිර්මාණවලදී ඔබ මුලින්ම සහභාගි වන්නේ වේදිකා නිර්මාණ සඳහාද?
‘කෑල්ල දෙසිය පනහයි’,‘තථාගත’ ඇතුළු ඔහුගේ සියලුම නිර්මාණවලට මා දායකත්වය ලබා දීලා තියෙනවා.

ඒ නිර්මාණවලට වගේම ඔහු ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයටත් ඔබව තෝරා ගන්නවා?
ඒ කාලයේ අපට තිබුණු එකම පිස්සුව රඟපෑමයි. හැබැයි තිසර වෙන මාර්ගයක් හොයාගෙන යනවා. ඔහු ඉන්දියාවට ගිහින් ඒ ගැන හදාරද්දි මුණ ගැසුණු නිෂ්පාදකත් සමඟයි මේ නිර්මාණය අරඹන්නේ. ඒ කාලයේ දසුන් කියන්නේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඒ නවකයාටයි ඔහු සුපුරුදු විදියට රඟපාන්න කතා කරන්නේ.

එහෙම නම් මීට වසර නවයකට පෙර දසුන් පතිරණ ජනප්‍රිය නළුවෙක් නොවෙයි?
එහෙම කෙනෙක් ඉන්නවද කියලා කිසිම කෙනෙක් දන්නෙත් නැහැ. ඒ දවස්වල අපව කිසිම කෙනෙකුගෙ වැඩවලට ගත්තෙත් නැහැ. එවැනි කාලයකයි තිසර ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයට කතා කරන්නේ.

අද චිත්‍රපටය නරඹන විට නිශාන්තගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?
එදා ඒ චරිතය රඟපාන විට අද මට තිබෙන අත්දැකීම් කිසිවක් තිබුණේ නැහැ. එහෙත් අද එය නරඹද්දි මගේ රංගනයේ තිබුණු නැවුම් බව නිශාන්තගේ චරිතය ඇතුළේ තිබෙන බව පෙනෙනවා.

මේ නිර්මාණය හරහා ගෙනෙන රියැලිටි කතන්දරය අපේ කතන්දරය ද?
අප මේ ජීවත්වන්නේ රියැලිටියක් ඇතුළේ නේද කියලා හිතෙනවා. අපේ ජීවිතේ වන සියලු දෙයක් ම සැලසුම් කරලා මෙහි පෙන්වන බවකුයි අපට හැඟෙන්නේ. රියැලිටි ෂෝ හා රියල් ලයිෆ් කියන දෙකම එකතු කිරීමෙනුයි මේ නිර්මාණය කරල තිබෙන්නේ.

‘නිනෝ ලයිව්’ තිරගත වෙන්නේ වසර කිහිපයකට පස්සේ. මේ තත්ත්වය නළුවෙක් විදියට ඔබට බලපෑවේ කුමන විදියට ද?
ඒ කාරණයෙන් නළුවකු විදියට මට පාඩුවක් වනවා වගේ ම වාසියකුත් වෙනවා. පාඩුව වෙන්නේ මම ඒ චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ෂකයා අතරට ආවා නම් මේ වනවිට ගොඩක් නිර්මාණවලට දායක වීමයි. ඒත් ‘නිනෝ ලයිව්’ ප්‍රමාද වී පැමිණීමෙන් සිදුවුණු වාසිය නම් නළුවකු විදියට මට හොඳ වටිනාකමක් තිබුණු කාලයේ එය පැමිණීමයි.

‘නිනෝ ලයිව්’ තිරගත වන්නේ හොඳම කාලයේ කියලද දසුන් හිතන්නේ?
ඇත්තෙන්ම ඔව්.

‘නිනෝ ලයිව්’ චිත්‍රපටයට පසුව නිර්මාණය කළ ‘මොටර් බයිසිකල්’, ‘ෆැංජිපානි’ වැනි නිර්මාණ රැසක් තිරගත වෙනවා. මේ විදියේ දේවල් වෙද්දී යම් අර්බුදයක් සිනමාව තුළ තිබෙනවා කියලා ඔබට සිතෙන්නේ නැද්ද?
ඒ අර්බුදය කොහොමත් තියෙනවා. එහෙම වුණත් අප තරඟ කරන්නේ හොඳ නිර්මාණයක් එළියට දෙන්නයි. ඒත් හොඳ වැඩක් කළොත් ඒකට තැන කවදාහරි ලැබෙනවා. ඒත් අපට කළ හැක්කේ හොඳ නිර්මාණ කිරීමයි.

ඒ නිසා ඔබ ඒ ගැන හිතන්නේ නැතිව හොඳ නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා?
ඔව්. තිරගත නොවුණු නිර්මාණ ගැන නොසිතා අනෙක් නිර්මාණවලට රංගනයෙන් දායක වූ නිසයි මාව ප්‍රේක්ෂකයන් හඳුනන්නේ. සිනමා ක්ෂේත්‍රයේ තිබෙන අර්බුදයට විසඳුම් සොයන්න මට වඩා ප්‍රවීණ පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අර්බුදයට ඇටෑක් කරන්න මා දැන්ම ම යන්නේ නැහැ.

ඔබ වෘත්තිය විදිහට තෝරාගෙන තිබෙන්නේ රංගනයද?
කුඩා කාලයේ පටන්ම මා නියැළුණේ නර්තනය හා රඟපෑමේ. කිසිම දවසක වෙනත් රැකියාවක නිරත වෙලා නැහැ. මම වෙන රැකියාවක් කරන්න දන්නෙත් නැහැ. ඒ නිසා මම මැරෙනතුරුම රඟපාන්න කැමැතියි.

අද අපේ රටේ රංගනය වෘත්තිය විදිහට තෝරා ගැනීම ගැන ගැටලුවක් පැන නැඟෙනවා නේද?
අපේ රටේ රංගනය විතරක් නොවෙයි අද සෑම මාධ්‍යයක ම මේ ගැටලුව නිර්මාණය වීලයි තිබෙන්නේ. ඒත් මා ඒ ගැටලු ගණන් ගන්නේ නැහැ.

මේ දවස්වල ඔබගේ පෙම්වතිය කවුද?
මේ දවස්වල ඈ ඉන්නේ ස්වීඩන්වල. ඇගේ නම අනුෂි දිසානායක. කියන්න බෑ සමහරවිට ඉදිරියේදී ඈ වෙනස් වෙන්නත් පුළුවන්. මොකද කාත් එක්ක ඉඳීද කියල කියන්න බැහැ.

එහෙම වුණොත් ඔබගේ ජීවිතය දිගටම ඔහොමම ගෙවේවිද?
ඒකනම් කියන්න දන්නේ නැහැ. මගේ ජීවිතය පළමු තැන ලැබෙන්නේ රංගනයට. අනෙක් කාරණාවලට දෙවැනි තැන. ඒ නිසා ජීවිතය මොන වගේ වේවිද කියලා කියන්න බැහැ. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක බලෙන් ඉන්නත් බැහැ. මිනිස්සුන්ට පේන්න එහෙම කළ යුතු නැහැ. මට දැනෙන කෙනා හමුවුණාට පස්සේ ඒ කෙනා එක්ක මම ඉඳීවි. බැරිනම් අයින් වේවි.

අනෙක් අය වගේ නොවේ, දසුන් අවංකද?
කවුරුත් බොරුවට ජීවත් වෙන්න උවමනා නැහැ. ඇත්ත කියන එක හොඳයි. මට දැනෙන දේ මම කරනවා. මට දැනෙන දේ මම කියනවා.

Dasun Pathirana - 03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""පෙම්වතියක් ඉන්නවා ඒත් වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉන්න බැරිනම් අයින් වේවි..." - දසුන්"

    Post a Comment