26 June, 2017

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

sri-lankan-cricket-fans

වේදනාකාරී පරාජයන් රැසකට හසුව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ශ්‍රේණියේ අඩියටම පල්ලම් බැස සිටි පාකිස්‌තානය චැම්පියන්ස්‌ලා අතර අගරජු බවට පත්වෙමින් 2017 චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ ශූරතාවලියේ සින්නක්‌කර හිමිකරුවා බවට පත්විය. පාකිස්‌තානය පසුගිය කාලයේ ඇමණී සිටියේ පරාජයන් වැලකය. ඉන් මිදීමට ඔවුන් දැරූ වෙහෙස මහන්සිය අපමණය. කෙසේ වෙතත් පාකිස්‌තාන් කොල්ලන් ජයග්‍රහණයේ කේක්‌ කැල්ල කටේ දමා ගනිද්දී චැම්පියන්ස්‌ ගිය තවත් කණ්‌ඩායම් කිහිපයක්‌ ප්‍රශ්නවලින් හෙම්බත් වී තිබේ.

ඉන්දියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම චැම්පියන්ස්‌ කුසලාන අවසන් මහා තරගයෙන් පාකිස්‌තානය හමුවේ ලද පරාජයත් සමඟ අවුල් ජාලාවක පැටලුණි. ඉතිහාසයේ සිටම ඉන්දියානුවන්ට පරාජය නුහුරුය. නමුත් ඔවුන් පරාජය වුණේ අවසන් මහා තරගයේදීය. එහෙත් ඉන්දියානු ක්‍රීඩා ලෝලීහු තම වීරයන්ගේ රුව පුළුස්‌සා දමා සිය කෝපය පිට කළහ. මහේන්ද්‍ර සිං දෝනිගේ නිවස කුඩු පට්‌ටම් කිරීමට පෙර විශේෂ ආරක්‌ෂාවක්‌ ඒ අවට යොදවා තිබුණි. පුහුණුකරු අනිල් කුම්බ්ලේ සහ නායක විරාට්‌ කෝලි අතර ඇති වූ වාග් ප්‍රහාරයෙන් කුම්බ්ලේ ගෙදර ගියේය. ඒ අවසන් තරගයේ ජයග්‍රහණය ඉන්දියානුවන්ට අහිමි වීමෙනි. නමුත් පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකාවේ නම් ඉන්දියාවේ මෙන් ප්‍රශ්න නැත.

අපේ ක්‍රීඩා ලෝලීහු අතේ තුට්‌ටු දෙකටත් විද ගනිමින් ක්‍රිකට්‌ තරග නැරඹූ යුගයක්‌ තිබුණි. ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි හතරකම (පන්දුවාර පනහ සහ විස්‌සයි විස්‌ස) අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලද පරාජය හේතුවෙන් එම ප්‍රේක්‍ෂකයන් ඇඟෙන්ම ක්‍රිකට්‌ තරග නැරඹීමෙන් ඈත් විය. නමුත් ක්‍රිකට්‌ ප්‍රේමය ඇඟට ඇලී තිබෙන මෙරට බහුතර ක්‍රිකට්‌ ලෝලීහු තාමත් අපේ ක්‍රිකට්‌ ඔසවා තබන්නට අත්පුඩි ගසති. එහෙත් සියුමැලි ක්‍රිකට්‌ විරුවන් ගන්නා වැටුපට කළ යුතු රාජකාරිය පැහැර හරිනු ලැබීමෙන් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල අඩියටම සේන්දුවී සිටියි.

ක්‍රිකට්‌ නිසා අතට මුදල් ලැබුණු ඇතැම් ක්‍රීඩකයෝ කාලයාගේ ඇවෑමෙන් ‘පොරවල්’ න්‍යාය අනුගමනය කරන්නට ගොස්‌ ඇදගෙන නාගනිති. තවත් සමහරෙක්‌ තරගයක හෝ දෙකක ‘වැඩ්ඩන්’ වූ පමණින් මුල අමතකව යළිත් කබළට වැටෙති. ඔවුන් කබළට වැටෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිරායාසයෙන්ම කබලෙන් ළිපට තල්ලු වෙයි. මේ සියල්ල ‘උගුරට හොරා බෙහෙත්’ බොන්නට කරන අසාර්ථක උත්සහයක ප්‍රතිඵලයක්‌ යෑයි අපි අදාළ බලධාරීන්ට මතක්‌ කර සිටිමු.

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ගාණට සරිලන ‘ස්‌ටාෆ්’ එකක්‌ද සිටියේය. එබැවින් ක්‍රීඩකයන්ට උපදෙස්‌ ලැබෙන්නට ඇත්තේ ටොන් ගණනිනි. නමුත් ඉඳහිට හමුවූ කුමාර් සංගක්‌කාරගෙන් ලැබුණු උපදෙස්‌ මහ මෙරක්‌ වූ බව ක්‍රීඩකයන් සඳහන් කර සිටියේය. එබැවින් සාර්ථක වන්නට හැකි වූ බව තවත් ක්‍රීඩකයන් පවසයි. නමුත් සංගක්‌කාර දුන් උපදෙස්‌ කුමක්‌ද නැතහොත් සංගක්‌කාරද ඔවුන්ට උපදෙස්‌ දුන් බවක්‌ද එළියට දැමීමට දෙපාර්ශ්වයම මැලි කමක්‌ දැක්‌වූහ. එයට හේතුව පුහුණුකරුවන් සිටියදී සංගක්‌කාර අතිකාල දීමනා දෙන්නට ගොස්‌ ප්‍රශ්නයක්‌ දා ගැනීමට අකමැති වීමෙන් විය හැකිය. ක්‍රීඩකයන්ද පුහුණුකරුවන්ට උඩින් ගොස්‌ වෙන අයගෙන් උපදෙස්‌ ගැනීම වලංගු නොවන බැවින් ඔවුන්ද මුනිවත රැක්‌කේය. නමුත් ඇන්ජලෝ මැතිව්ස්‌ විසින් සංගක්‌කාර තමන්ගේ ක්‍රීඩකයන්ට උපදෙස්‌ දුන් බව ප්‍රසිද්ධියේ පවසා සිටියේ ඔහු කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයා සහ එහි සැඟවිය යුත්තක්‌ නැති බැවිනි.

උඩපන්දු අතහැරි ඇතැම් ක්‍රීඩකයන්ගේ සැඟවී තිබූ ‘පර්සනල්ටිය’ එංගලන්තයේදී දොට්‌ට පැන්නේය. එසේ අසාර්ථක වූ ක්‍රීඩකයන් දැන් තමන්ගේ ගාණ ලැබී ඇති බැවින් ඩෝන්ට්‌ කෙයාර් න්‍යායෙන් සෙල්ලම් කරන බව ඔවුන්ව ළඟින්ම ආශ්‍රය කරන මිතුරන් පවසා සිටියේය. ක්‍ර්‍රSඩා ඇමැතිවරයාද ක්‍රීඩකයන්ගේ උදරය ගැන ප්‍රසිද්ධියේ පැවසීමද අගය කළ යුතුය. මෙම උදරය ඇති ක්‍රීඩකයන්ට කොළඹින් පිට පුහුණු තරගයක්‌ තිබෙන විට එයටද සහභාගි වීමට කම්මැලිය. ‘මොන මඟුලකට එහෙට දැම්මද දන්නේ නැහැ. ඕක බැරිද දන්නෙ නැහැ කොළඹට ගෙන්න ගන්න’ යනුවෙන් ‘ලොරි ටෝක්‌’ දැමීමටද එම ක්‍රීඩකයන් පවසා ඇති බව අනාවරණය විය.

ලසිත් මාලිංග පවසන්නේ උඩපන්දු අතහැරුණු පමණින් තරග පරදින්නේ නැති බවයි. ඔහු සාමාන්‍ය පෙළ විෂයන් අටටම විශිෂ්ට සම්මාන ලබාගත් බවද පවසයි. එවැනි බුද්ධියක්‌ ඇති ක්‍රීඩකයකු මෙවැනි තකතීරු කතා කියන්නේ ඔහුට ක්‍රිකට්‌ දැනුම ඉස්‌මුරුත්තාවේ ගොස්‌ ඇති නිසා විය හැකිය. මාලිංග යනු දක්‍ෂ ක්‍රීඩකයකු බව සැබෑය. ඔහු මෙරට ක්‍රිකට්‌ ඔසවා තබන්නට කළ හරිය රන් අකුරෙන් ලියෑවී තිබේ. පාසල් ක්‍රිකට්‌ තරගයකදී වුවද උඩපන්දුවක්‌ අතහැරුණු විට එම ක්‍රීඩකයාට ‘දෙහිකපන’ අයුරු මාලිංග දැක නැත්තේ ඔහු පාසල් ක්‍රීඩාව කර ඇත්තේ වසර කිහිපයක්‌ නිසා විය හැකිය. එබැවින් මාලිංග කියන පරිදි මීට පසුව උඩපන්දු රටේ ජයග්‍රහණයට වටිනා සාධකයන් නොවනු ඇත.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා ඊළඟ ක්‍රිකට්‌ නිලවරණයේදී යළිත් මහ පුටුවට එන්නට ඔහුගේ ඡන්ද දායකයන්ව සතුටු කිරීමට දක්‍ෂය. නමුත් ඔහු ඒ විෂය හරියට කළද ක්‍රිකට්‌ කණ්‌ඩායම නා ගන්නා විට ක්‍රිකට්‌ හි ලොකු තැනගේද පටි රෝල් වන්නේ නිරායාසයෙනි. එබැවින් ඇලන් ඩොනල්ඩ්ලා හෝ වසීම් අක්‍රම්ලා මාසයකට ගෙන්වා ලොකු පඩි දුන් පළියට මේ ක්‍රිකට්‌ ගසන මොළ සුද්ධ වන්නේ නැත. ඒ සඳහා මෙරට දේශීය තරග ආකෘතිය වෙනස්‌ කළ යුතුය. එවිට උඩපන්දු අතහරින ඇතැම් ක්‍රීඩයන්ටද එම කණ්‌ඩායම්වල ස්‌ථාන පවා අහිමි වන පරිදි ඒ කණ්‌ඩායම් ශක්‌තිමත් වේ.

ඉන්දියාව කොපි කරමින් බංග්ලාදේශයද එම සැලැස්‌ම හැදුවේය. දැන් බංග්ලාදේශයද ඉන්නේ ශ්‍රේණිගත කිsරීම්වල ශ්‍රී ලංකාවට වඩා ඉහළිනි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට අපට වඩා ලකුණු 13 ක්‌ පසුපසින් සිටින බැවින් 2019 ලෝක කුසලානට සහභාගි වීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට බොහෝ විට සිදු නොවනු ඇත. ඒ ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර අට වැනි ස්‌ථානයේම ශ්‍රී ලංකාවට රැඳී සිටීමට ඇති අවස්‌ථාව වැඩි බැවිනි.

කෙසේ වෙතත් පාකිස්‌තානයේ ක්‍රිකට්‌ ගසන්නට ජාත්‍යන්තර කණ්‌ඩායම් නොගිය බැවින් ඔවුන් ක්‍රිකට්‌ අතින් නන්නන්තාර විය. පසුව ප්‍රිමියර් ලීග් තරග ආකෘතිය පවත්වමින් ඔවුන් ක්‍රමක්‍රමයෙන් හිස එසවීය. දැන් චැම්පියන්ස්‌ ශූරතාව ඔවුන් ගෙදර ගෙන ගොස්‌ අවසන්ය. සැලැස්‌ම කාලෝචිත නොවුණහොත් මේ ඉන්න ක්‍රිකට්‌ රෑන තවත් කරන්නේ පෙර කළ දේමය. එබැවින් ‘පොඩ්ඩන්’ ලොක්‌කන් කර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ගොඩ දමන්නට දැන්වත් හරි සැලැස්‌මක්‌ සකස්‌ කිරීමට බලධාරීන්ගේ ඇස්‌ යොමු විය යුතුය.

(දිවයින - අසේල විතාන)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ"

    Post a Comment