21 November, 2016

තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවේ කොටසක් විරුද්ධ පක්ෂයට ගන්න දොර ‍ළඟදීම අපි පෙන්වනවා

අය - වැය හොඳ නැහැ. එය පරාජය කළ යුතුයි කියලා ඔබලා කොතරම් කෑගැහුවත් අය - වැය දෙවැනි වර කියැවීම පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කරලා තියෙනවා නේද?

මේ අය - වැය එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනාපු නිසා ඒක හොඳ නැහැයි කියනවා නොවේ. ආර්ථික හා සමාජ විද්‍යානුකූලව සොයා බැලීමේදී මේ අය - වැය මඟින් රට තවදුරටත් ප්‍රපාතයට යන බව ඉතා හොඳින්ම පැහැදිලි වෙනවා. බදු බරින් පීඩනයට පත්වී සිටින ජනතාවගේ හිසමතට තවත් බදු බර විශාල වශයෙන් පැටවීමක් තමයි මෙම අය - වැය මඟින් සිදුවෙලා තියෙන්නේ. මේ අය - වැය හොඳයි කියලා කියන්නේ මේ ආණ්ඩුව විතරයි. ඒ හැරෙන්න අය - වැය හොඳයි කියලා කියන කෙනෙක් මට නම් තවම මුණගැසිලා නැහැ. නමුත් මේ අය - වැය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වෙලා තියෙනවා. මේ 2/3ක ගත්තු ක්‍රමය පාර්ලිමේන්තුව තුළදී නම් සුප්‍රසිද්ධයි. ඒ ගැන අපි මේ රටේ පොදු මහජනතාව දැනුවත් කරනවා.

ඒ ක්‍රමය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?

මේ ආණ්ඩුව තුළ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනකු පමණ දැඩි කලකිරීමකිනුයි ඉන්නේ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව.

එහෙම කලකිරීමකින් ඉන්නවා නම් ඔවුන් අය - වැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ඇයි?

ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළා. ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මාසික වැටුපට අමතරව රුපියල් ලක්ෂ 2ක මාසික දීමනාවක් ලබාදී, මාස 6ක මුදල එකවර ලබා දී තියෙනවා. එක් මන්ත්‍රිවරයකුට එතකොට රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලසක් ලෙස එකවර ලැබී තිබෙනවා. අය - වැයට පෙර තවත් යෝජනාවක් සම්මත කර ගත්තා. ඒ තමයි ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මාසික කුලිය රුපියල් ලක්ෂ 7 බැගින් වන වාහනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම්. ඊට අමතරව රහසේ තවත් වරදානයක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මෙහෙම අල්ලස්, විවිධ වරදාන ලබා දීලා ඡන්දය ලබා ගත්තා හැරෙන්නට රටේ නියම ජනමතය ඔය ගත්තු 2/3ක තුළ දකින්න ලැබෙන්නේ නැහැ කියලා මං ඉතාමත්ම වගකීමෙන් කියනවා. ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් තීරණාත්මක මොහොතක විරුද්ධ පක්ෂයට ගන්නේ මොන විදියටද ‍කියලා අපි පෙන්වන්නම්. එදාට ඒ දේ සිදුවෙනකොට ආණ්ඩුවට හිතාගන්නවත් බැරි වේවි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 16ක් ඉන්න දෙමළ ජාතික සන්ධානය අය - වැයට පක්ෂ වුණා. එතකොට ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානයත් අය - වැයට පක්ෂ වුණා. ඔබ කියන විදියට එම දේශපාලන පක්ෂවලටත් අල්ලස් ලබා දී තිබෙනවාද?

පසුගිය මාස 22ක කාල පරිච්ඡේදය තුළ දෙමළ ජාතික සන්ධානයට ලබා දීපු සන්තෝසම් මදිද අය - වැයට පක්ෂව ඡන්දය ලබා දෙන්න. කොටි නායක ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය 30 අවුරුදු යුද්ධය කරලත් ලබා ගන්න බැරි වුණු බොහෝ දේවල් පසුගිය මාස 22ක තුළදී බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින අයට ලැබිලා තිබෙනවා. යහපාලන ආණ්ඩුව සංහිඳියාව යන කඩතුරාවට මුළාවෙලා අපේ රණවිරුවන් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් පාවා දෙනවා.

අය - වැය දෙවැනි වර කියැවීමට 2/3ක බහුතරයක් ලැබුණු නිසා ඒකාබද්ධ විපක්ෂය හොල්මන් වෙලා කියලා රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා?

අය - වැය ඉදිරිපත් කරන්න කලින්ම මුදල් අමාත්‍යවරයා කිව්වා, ගේන්නේ විපක්ෂය හොල්මන් වෙන අය - වැයක් කියලා. හොල්මන් දැකපු නිසා වෙන්න ඇති විපක්ෂ නායක සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය අය - වැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. අය - වැයේ රඟ දැන් හොඳට පේන්න තියෙන නිසා විපක්ෂය විතරක් නෙවෙයි, මුදල් අමාත්‍යවරයාත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පමණක් නොවේ, මුළු රටම මේ වෙනකොට හොල්මන් වෙලා තියෙන්නෙ. ඔවුන් අවතාරවලට බයවෙලා වගේ තමයි දැන් ඉන්නේ. අය - වැය යෝජනා 10ක් සංශෝධනය කරන්න යනවා කියලත් මං පුවත්පත්වලින් දැක්කා. අය - වැය කියන්නේ ඉදිරි වර්ෂයේ රටක ආර්ථික දැක්ම. එය එක එක ආකාරයට නිතරම සංශෝධනය වෙනවානම් රටක ආර්ථික දැක්ම ගැන ඇති වෙන්නේ ඉතාමත්ම බරපතළ තත්ත්වයක්. කිසිම සැලැස්මක් නැති අය - වැයක් කියලා පහුගිය අවුරුදු දෙකේදී ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. හොල්මනකට බයවෙච්ච මුදල් ඇමැතිවරයා නිදිමතේ ඇවිදින බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නෙ.

නමුත් අය - වැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාලය පුරා සංශෝධන ඉදිරිපත් කර එමඟින් ජනතාවට යම් වාසියක් ලැබෙනවා නම් ඒක යහපත් කාරණයක් නොවේද?

රටට හා ජනතාවට අහිතකර යෝජනාවලට අදාළ සංශෝධන අපි ඉදිරිපත් කරනවා. නමුත් ඔය කියන විදියට ඒ සංශෝධන වත්මන් ආණ්ඩුව පිළිගන්නේ නැහැ. මන්දිර බද්ද, එතනෝල් බද්ද, කැසිනෝ බද්ද, මේ එක බද්දකටවත් අදාළ නීති රීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. එවැනි තත්ත්වයන් මත අපේක්ෂා කළ ආදායම් ආණ්ඩුවට ලැබෙන්නේ කෙසේද කියලා ආණ්ඩුව පෙන්වා දුන්නේ නැහැ. සමහර බදු ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එමඟින් අපේක්ෂා කරන ආදායම නොමැතිව එමඟින් සිදු කරන සේවා ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? ඒ කිසිම කාරණයකට මේ වනතුරු ආණ්ඩුව පිළිතුරු ලබා දීලා නැහැ. එම නිසා සංශෝධන කළ යුත්තේ ආණ්ඩුවේ ස්ථාවර වැඩපිළිවෙළත් සමඟයි. කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව බදු ගැසීම, දඩ වැඩි කිරීම නැවැත සංශෝධනය කිරීම වැනි කරුණුවලින් සිදුවෙන්නේ රට තව තවත් ආර්ථික ප්‍රපාතයකට යෑම පමණයි.

පහුගිය ආණ්ඩුව විශාල වශයෙන් ගත්තු ණය පියවීමට සිදුවන නිසා මේ ආකාරයෙන් අය - වැය ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙනවා?

පසුගිය ආණ්ඩුව ණය අරගෙන රටට අතිවිශාල වැඩකොටසක් සිදු කළා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව රට ශීඝ්‍ර සංවර්ධනයකට ලක් කළා. ඒ ගත්තු ණය, ලැබෙන ආදායම සමඟ ක්‍රමානුකූලව ගෙවීමේ වැඩසටහනක්ද පහුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. නමුත් 2015 ජනවාරි 8 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වෙලා තමයි ඒ සියල්ල කඩාකප්පල් කළේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිල්ලා පහුගිය ආණ්ඩුවලට බැන බැන ඉන්නේ නැතිව පුළුවන් විදියට කරලා මේ රටට සාමය උදාකර දුන්නා.

2015 ජනවාරි 8 වැනිදාට පෙර තිබුණු තත්ත්වයට වඩා වර්තමානයේ භාණ්ඩ 25ක මිල අඩුයි කියලත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා?

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 25 දක්වා අඩු වීම නිසා ඉන්ධන මිල යම් ප්‍රමාණයකට අඩු කරන්න හැකි වුණා. පහුගිය ආණ්ඩුව කාලෙදි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 140 ඉක්මවලා ගියා. 2015 ජනවාරි 8 වැනිදා වන විට සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 85යි. අද වෙනකොට සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 125යි. අඩු කරලා තියෙන්නෙ රුපියල් 2යි. හාල්මැස්සන්, කරවල, සැමන්, මාළු මේ හැම එකකම මිල අඩු කරලා තියෙන්නේ මේ විදියට. රුපියල් 2, රුපියල් 5, රුපියල් 10 වශයෙන් මේ අඩු කරපු භාණ්ඩවල මිල එකතු කළාම රුපියල් 65යි. ඒ වාසිය ගන්නත් ඒ බඩු හැම එකකින්ම කිලෝග්‍රෑම් එක ගණනේ ගන්නත් ඕනෑ. රුපියල් 65 කියන්නේ බුලත් විට දෙකක මිල. නමුත් දුරකතන, ජල, අන්තර්ජාල ගාස්තුවලින් පමණක් බදු වැඩි කිරීමත් සමඟ අතිවිශාල මුදලක් ජනතාවගෙන් අය කරනවා. ඒ මුදල රුපියල් 65 වගේ දහ පහළොස් ගුණයක් වෙන්නත් පුළුවන්.

ශ්‍රී ලංකා මහ බැංකුවට වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු හානියක් සිදුනොවන බවට මුදල් අමාත්‍යවරයා සහතිකයක් ලබාදී තිබෙනවා නේද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දවල් මුදල් මංකොල්ලයක් සිදුවී තිබෙන වෙලාවක ශ්‍රී ලංකා මහ බැංකුවට හානියක් සිදු කරන්නේ නැහැ කියලා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ කොහොමද? බදු අයකිරීම පෞද්ගලික අංශයට ලබා දෙන්න මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එය කෙතරම් බරපතළ කරුණක්ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා මුණගැහිලා මේ දේ සිදුකරන්න එපා කියලා ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කළා. මේ ආණ්ඩුව ක්‍රමක්‍රමයෙන් රටේ ආර්ථිකය විනාශ කරමින්, රටේ දේපොළ විකුණමින්, රාජ්‍ය ආයතන අක්‍රිය කරමින් මේ රට විනාශය කරා ගෙනයන ගමනට වැඩි ආයුෂක් නැහැ කියලා මං ඉතා වගකීමෙන් කියනවා.

ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මූල්‍ය විනය නිසා විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් පහුගිය ආණ්ඩුව කාලයේදී එවැනි  
මූල්‍ය විනයක් නොතිබුණු බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා?

ඔය කතාවට මට කියන්න වෙන්නේ සභාවේ තදින් සිනා කියලා පමණයි.

ranjith-de-soysa-paper-article

-මබ්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවේ කොටසක් විරුද්ධ පක්ෂයට ගන්න දොර ‍ළඟදීම අපි පෙන්වනවා "

    Post a Comment