15 January, 2017

බදුරලියේදී ලේලිය සහ අනියම් සැමියා එකතුවෙලා නැන්දම්මා එළොව යැවූ හැටි

murder-naked-women

උඹේ මොකද ඔය නියපොතු පාරවල්...
ගලවපන් ඔය කමිසේ...

මමයි නැන්දමයි හුඟක් වෙලාවට රණ්ඩු වෙනවා..

2016 නොවැම්බර් මස දහ අට වන දින 119 හදිසි ඇමතුම් අංශයට නාඳුනන පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

“සර් මගේ අම්මා ගේ ඇතුළේ මැරිලා ඉන්නවා” පණිවිඩය ලබාගත් හදිසි ඇමතුම් අංශය දුරකථන ඇමතුම දුන් පුද්ගයාගෙන් අදාළ ස්ථානය ගැන විමසා වහා මේ බව බදුරලිය පොලිසියට දැනුම් දුන්නේය.

පණිවිඩය ලබාගත් කොස්තාපල් ලියනරත්න සිද්ධිය වී ඇතැයි කියන ස්ථානයට පිටව ගියේය.

බදුරලිය පොලිසියේ සිට කලවාන දෙසට ඇති පාරේ කිලෝමීටර් හතරක් පමණ ගියතැන මොරපිටිය හන්දිය හමුවේ. එතැනින් දකුණට හැරී අලුත්මාවත දිගේ තවත් කිලෝමීටර දෙකක් පමණ ගියතැන කරුණාවතිගේ නිවෙස පිහිටා ඇත.

කොස්තාපල් ලියනරත්න එතැනට යනවිටත් ඒ අවට පිරිස් මියගිය කාන්තාවගේ නිවෙස වෙත පැමිණ සිටියහ. පොලිසිය පැමිණිම ඔවුන් සැමගේම බලාපොරොත්තුව වුහ. නිවෙස තුළට ගිය කොස්තාපල්වරයා දුටුවේ වයෝවෘද්ධ කාන්තාවක් ඇඳ මත මුනින් අතට මියගොස් ඇති බවය. ඇගේ එක් අතක ප්ලාස්ටික් වතුර කෝප්පයකි. අනෙක් අතේ බෙහෙත් පෙති කිහිපයකි.

මියගොස් ඇත්තේ ඉද්දගොඩගේ කරුණාවතී නමැති හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකි.

ඇය එක්දරු මවකි. පුතා හා ලේලිය එම නිවසේ ජීවත්වන්නේ කරුණාවති සමඟිනි.

පුතා මොරටුව ප්‍රදේශයේ ලී මෝලක සේවය කරන්නේය. ඔහු ගමට එන්නේ මසකට දින දෙක තුනක් පමණි. නිවසේ තනිවන්නේ ලේලියත් නැන්දම්මාත් ය.

මියගිය කරුණාවතිගේ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොවීය. නිවසේ සිටි කරුණාවතිගේ පුතාගෙන් හා ලේලියගෙන් විමසීමේදී ඔවුන් කීවේ අම්මා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් නිතර නිතර පෙෂර් වැඩිවන බවත්ය.

අම්මා ප්‍රෙෂර් පෙති බොන්නට සුදානම් වෙද්දී ඇති වූ හෘදබාධයකින් මිය යන්නට ඇතැයි සිතන බවත් ඔවුහු පොලිස් නිලධාරියා හමුවේ කියා සිටියහ.

බැලු බැල්මට කරුණාවතිගේ සිරුරේ බාහිර තුවාලයක් පෙනෙන්නට නොවු හෙයින් ඇය මියයන්නට ඇත්තේ හෘදයා බාධයකින් බවත් කාටත් ඒත්තු ගොස් තිබිණි.

කෙසේ වෙතත් බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළ කොස්තාපලවරයා සිද්ධිය ඔහුට සැලකර සිටියේය. ඒ වනවිට පොලිසියේ වැඩ බලන ස්ථානධිපතිවරයා මේ බව අපරාධ විමර්ශන බාර ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.

පසුව බදුරලිය හදිසි මරණ පරීක්ෂකවරයා කැඳවීමට පොලිසිය පියවර ගත්තේය. ඔහු තීරණය කළේ කරුණාවතිගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්විය යුතු බවය.

ඒ ඔහුට ඇති වූ සැකයක් නිසාය. ඒ සඳහා කරුණාවතිගේ සිරුර නාගොඩ රෝහලට රැගෙන යන ලදී. පසුව මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවත්විය යුතු බවට තීරණය කිරීමත් සමඟ සිද්ධිය පිළිබඳ මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා සහ කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයා දැනුම්වත් කරන්නට පොලිස් පරීක්ෂක ගුණවර්ධන පියවර ගන්නා ලදී.

ඔවුන්ගේ උපදෙස් මත අධිකරණයට කරුණු වාර්තා කළ බදුරලිය පොලිසිය මතුගම මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මත කළුතර මහේස්ත්‍රාත්තුමාට මේ බව දන්වා ඔහුගේ උපදෙස් මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට නාගොඩ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත කරුණාවතිගේ සිරුර බාරකෙරිණි.

එහිදී සියුම් විමර්ශනයක් සිදුකළ නාගෙඩ අධිකරණ වෛද්‍යවරයා කීවේ කරුණාවති මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් නොවන බවත් ඇගේ ගෙල සිර කර ඇය මරා දමා ඇති බවත්ය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍යවරයා කීවේ කරුණාවතිගේ ඉලඇට කිහිපයක් ද බිඳි තිබෙන බවය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත් සමඟ මෙතෙක් ස්වභාවික මරණයක් ලෙස විමර්ශනය කෙරුණු කරුණාවතිගේ මරණය මිනීමරුමක් ලෙස විමර්ශනය ඇරඹිණි.

බදුරලිය පොලිසිය මේ සම්බන්ධයෙන් නිවසේ සිටි ලේලියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සිටි අතර කරුණාවතිගේ අවසන් කටයුතු සිදු වී හමාර වෙතතුරු කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මේ අතරතුර බදුරලිය පොලිසියට 119 හදිසි ඇමතුම හරහා පණිවිඩයක් ලැබිණි.

ඒ මියගිය කාන්තාවගේ මරණයට අසල්වාසී රත්නපාල නමැත්තකු සම්බන්ධ බව කියමින්ය. පොලීසිය රත්නපාල ගැන සොයා බැලුවේය.

ඔහු එතරම් හොඳ චරිතයක් ඇත්තකු නොවීය. පොලීසිය සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. එහෙත් ඔහුගෙන් කිසිදු හෝඩුවාවක් දැනගැනීමට පොලිසිය අපොහොසත් විය.

මේ බව දැනගත් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා කරුණාවති ඝාතනයේ වැඩිදුර විමර්ශන කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට යොමු කරන්නට විය.

ඒ අනුව නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති නිලංග සංජීව ඇතුළු නිලධාරීන් බදුරලියට ගියේ කරුණවති ඝාතනයේ නියම සැකකරුවන් සොයා ගෙනය.

නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් රාජකාරි කරනුයේ සිවිල් ඇඳුමෙනි.

ඔවුන්ගේ බොහොමයක් පොලිස් නිලධාරීන් බවට හඳුනා ගත නොහැක. ඒ රැවුල් හා කොණ්ඩය වවාගෙන සාමාන්‍ය පුද්ගලයන් සේ ඔවුන් රාජකාරිකිරීම නිසාය. මෙලෙස සිවිල් ඇඳුම්ලාගත් නිලධාරීන් බදුරලියට යද්දී ගමේ ප්‍රධාන පාරේ කැඩුණු බෝක්කුවක් සකස් කිරීමේ පිරිසක් යෙදී සිටිනු දක්නට ලැබිණි.

එදා ඔවුන් සමඟ කතාබස් කළ නිලධාරීන් මොරපිටිය ගමට ගියේ බෝක්කුව සාදන්නට පැමිණි සේවකයන් මෙනි. එලෙස ගමේ සෙසු අය සමඟ ගැවසෙමින් කරුණවතී ඝාතනයේ කිසියම් හෝ හෝඩුවක් සොයාගැනීම ඔවුන්ගේ උපාය විය.

කරුණවතිගේ අවසන් කටයුතු ඒ වන විටත් හමාර වී තිබිණි. ඇගේ හත්දවසේ දානයටද සහභාගි වූ නිලධාරීන් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසෙද්දී එකෙකු කීවේ දැනට බදුරලිය පොලිසිය මගින් සැකපිට රඳවාගෙන සිටින “රත්නපාල” නමැත්තා කරුණවති මිය ගිය දින රාත්‍රියේ ඊට යාබද කළුවාගේ ගෙදර යනු දුටු බවකි.

මෙහි ඇත්ත නැත්ත සෙවීම සඳහා නිලධාරීන් ගියේ කළුවාගේ ගෙදරටය. ඒත් කළුවා ගෙදර සිටියේ නැත. ඔහුගේ බිරිය පොලිසිය හමුවට ආවාය.
“එදා කළුවා දවල් ඉඳලම රත්නපාලත් එක්ක මෙහෙ කසිප්පු බිව්වා. පස්සේ රත්නපාල ගියා.

මේ මිනිහා මගෙත් එක්ක රංඩු වුණා. මෙයා බීපු දවසට මට ගහනවා.

මම බයට ගෙදර ඉස්සරහ කැලැවේ හැංගිලා ගේ දිහා බලාගෙන හිටියා. පස්සේ මේ මිනිහා මගේ ඇඳුම් ටිකත් පිච්චුවා.

රෑ දහයට විතර ඇති ආයෙත් රත්නපාල අපේ ගෙදරට ආවා. ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා යන්න ගියා. මම මේ සේරම කළුවරේ ඉඳලා බලාගෙන හිටියේ සර්”

ඇගේ කතාව විශ්වාස කළ නිලධාරින් ඊළඟට ගියේ රත්නපාල මුණ ගැසීමටය.

නිලධාරිහු ඔහුගෙන් ප්‍රශ්න කළහ. තමා මේ කිසිවක් නොදන්නා බවත් කළුවා සමඟ කසිප්පු බී බව ඇත්ත බවත් ඔහු කීවේය.

ස්ථානාධිපතිවරයා ඊළඟට කළේ ඔහුගේ සිරුර පිරික්සීමය. රත්නපාලගේ මුහුණේ සිරිම් තුවාල දෙක තුනකි. පපුව පෙදෙසේ ද එවැනි සිරිම් ඇත. කිසිවකු නියපොතු වලින් හුරා තිබෙන බවට බැලු බැල්මට පෙනේ.
“උඹේ මොකද ඔය නියපොතු පාරවල්”

උප පරීක්ෂක සංජීව, රත්නපාලගෙන් විමසීය.

“නියපොතු පාරවල් කොහේද.. මගේ මුණේ....”

රත්තපාල කලබල වුයේ එවිටය.

“තොගේ මුණේ නැතිව මගේ මුණේද?”

“ගලවපන් ඔය කමිසේ....”

උප පරීක්ෂක සංජීව කීවේය. රත්නපාල උඩුකය වැසෙනසේ හැඳසිටි කමිසය ගලවා දැමීය.

“ඔය පපුවෙත් තියෙන්නේ නියපොතු පාරවල්....”

රත්නපාලගේ පපුවේද සිරිම් තුවාල දක්නට ලැබිණි. ඔහු අන්දුන් කුන්දුන් වුයේ එවිටය.

“හරි එදා. උඹ කළුවා ගේ ගෙදර බීලා කොහේද ගියේ”

ස්ථානාධිපතිවරයා රත්නපාලගෙන් තව තවත් ප්‍රශ්න කරන්නට විය. ඉන් පසුව කරුණාවති ඝාතනයේ සුලමුල එකක් නැර හෙළි විය.

රත්නපාල අධ්‍යපානය ලැබුවේ පහේ පන්තිය තෙක් පමණි. ඉන් එහාට ඉගෙන ගන්නට ඔහුට හැකියාව නොතිබිණ.

වියදම් කරන්නට මුදල් හදල් ද නොවීය. එතැනින් එහාට පාසල් නොගිය ඔහු එදා පටන් කුලී වැඩ කරමින් කීයක් හෝ සොයාගත්තේය.

තරුණ වියට එළඹිමත් සමඟ මහ බෙල්ලන පදිංචි රමණී නමැත්තියක සමඟ විවාහ වුවද ඒ මඟුල එතරම් දුරක් තිබුණේ නැත.

පවුල් ආරවුල් ඇතිවීම නිසා ඔහු ඇගෙන් වෙන්විය. ඔහු මහගෙදරට එන්නේ ඉන් පසුවය.

එය පිහිටා ඇත්තේ කරුණාවතිගේ නිවෙසට කිට්ටුවෙනි. බීමට ඇබ්බැහි වී සිටි රත්නපාලට හොඳ මිතුරකු විය.

ඒ කළුවාය. දෙන්නා කසිප්පු වඩිය හිස් කරන්නේ එකටය. කළුවාගේ ගෙදරට යන එන රත්නපාල තනියම ගෙදර සිටින කරුණාවතීගේ ලේලිට ඇල්ම බැල්ම දාන්නේ ඔය අතරය. වැඩිකල් නොගොස් දෙන්නා අතර අනියම් සබඳකමක් ඇතිවූහ. ඊට හුඟාක්ම හේතුවුයේ කරුණවතීගේ ලේලිගේ සැමියා ඇය සොයා එන්නේ ඉඳහිට වීම නිසාය.

මොරටුවේ ලී මෝලක සේවයක කරන ඔහු ගෙදර එන්නේ මසකට වරක් නැත්නම් දෙවරක්ය. පාළුව තනිකමින් ගෙදරට වී කරුණාවති සමඟ දබර කරගන්නා ලේලිය ඒ පාළුව නැති කරගන්නේ රත්නපාලගෙන්ය.

සතියට දෙතුන්වරක්ම රත්නපාල කරුණාවතිගේ ගෙදරට ගොස් ලේලයගේ පහස විඳින්නේය.

පදමට රත් වී එන රත්නපාල එනතුරු ඇය බලාසිටින්නේ කුඩා දරුවන් දෙදෙනා වේලාසනින්ම නින්දට යැවිමෙන් අනතුරුවය.

කරුණවතිගේ ගෙදර පිටුපස දොරට දාන ලී පොල්ල රත්නපාලගේ දෑතට හොඳට හුරු පුරුදුය. කරුණාවති නින්දට ගිය විට ඇගේ ලේලිය රත්නපාලට දුරකථන ඇමතුමක් දෙන්නේ ඔහුගේ පහස ලබාගැනීමේ ආශාවෙන්ය.

කරුණාවති මරා දැමු හැටි රත්නපාල පොලීසියට කීවේය. තමාත් ලේලිත් එකට සිටින දුටු කරුණාවතී තමාට ඇගේ ගෙදරට ඒමට ඇති අකැමැත්ත කරුණාවතී මරා දමන්නට මුලික හේතුව බව රත්නපාල පොලීසියට කීවේය.

පොලීසිය ඉන්පසු හැරුණේ කරුණාවතීගේ ලේලිය වෙතය.

“අනේ මම නම් මුකුත් දන්නේ නැහැ සර්. මම ඔය කියන දවසේ ළමයි දෙන්නත් එක්ක අපේ අම්මලාගේ හැඩිගල්ලේ ගෙදර ගිහින් හිටියේ. එහෙදි තමයි මට ආරංචි වුණේ අම්මා මැරිලා කියලා.

ඒත් එක්කම මම ගෙදර ආවා සර්”

ඇය ඉකි ගසමින් කීවාය. එහෙත් රත්නපාල කී කතාව පොලීසිය ඇයට කීවේ නැත. ඇය දිව්ර දිව්රා කීවේ අම්මාගේ මරණය කෙසේ සිදුවුවාදැයි නොදන්නා බවය.

“හරි මේක අහන්න මම කියන්නම් වුණ දේ. තමනුයි රත්නපාලයි ගෙදර එකට ඉන්නකොට අම්මා ඕක දැක්කා.

ඒ පාර තමයි රත්නපාල අම්මව මැරුවේ. ඉන් පස්සේ රත්නපාල මෙහෙන් ගියා. රත්නපාල මේ ගෙදර ඉඳලා යනවා දැකපු කෙනෙක් අපිට කිව්වා. ඒක ඇත්තද? බොරුද?
උප පරීක්ෂක සංජීව, කරුණාවතීගේ ලේලිගෙන් විමසීය. ඇයට ඊට පිළිතුරක් දෙන්නට හැකියාවක් නොවීය.
“හරිනේ. මම කිව්ව කතාව“

ඇය බිම බලා සිටියාය.

“හරි තමුසේ අම්මා මැරුවේ නැහැ. රත්නපාල තමයි මැරුවේ. ඒක හරිද.. නැත්තම් දෙන්නම එකතු වෙලා....”

උප පරීක්ෂක සංජීවට කතාව ඉවර කරන්නට ඇය ඉඩ නොදුන්නාය.

“අනේ මම නම් නැහැ සර්.... රත්තපාල තමයි....”

හැත්තෑහැවිරිදි කරුණාවති ඝාතනයේ සුලමුල කියන්නට ඇය පටන් ගත්තේ ඉන් පසුවය. රත්නපාලගේ පහසට ආශා කොට ඔහු හා අනියම් පෙමක පටලැවුණු ඇය තම සැමියාගේ මව මරා දමන අයුරු ඇය හොඳින් බලා සිටියාය.

තිස් හැවිරිදි ඇයට සොහොයුරු සොහොයුරියන් තිදෙනෙකි. අයියාත් නංගීත් විවාහ වී වෙනම පදිංචිව සිටිති. මල්ලි තවම විවාහ වී නැත. හැඩිගල්ල ඉස්කෝලයට ඇය ගියේද අට වසර දක්වා පමණි. විසිතුන වෙද්දී ඇය විවාහ ජීවිතයට පිවිසියාය. ඒ යෝජිත විවාහයකිනි. ඉන්පසු ඇය නතර වුයේ පුරුෂයාගේ මහ ගෙදරය.

කරුණවති පුරුෂයාගේ මවය. කරුණවතිගේ මහ ගෙදර වටා ඇති තේ වගාව ද ඇය සතුය. මහගෙදරට පැමිණි ඇයට වැඩිකළක් කරුණවතී සමඟ ඇයි හොඳයිකම් පවත්වන්නට නොහැකි වුවාය.

මහත්තයා මොරටුවේ ලී මෝලක වැඩ කරනවා. මාසයකට සැරයක් පමණ තමයි එයා ගෙදර එන්නේ. මහත්තයාගේ අම්මයි මමයි තමයි හුඟ වෙලාවකට ගෙදර ඉන්නේ. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.

“මමයි නැන්දමයි හුඟක් වෙලාවට රංඩු වෙනවා. අම්මට ඩිංගක් කේන්ති යනවා. මගේ මහත්තයාත් මේ ගැන දන්නවා.

අම්මා අහල පහළ අයත් එක්කත් තරහයි. ඒ ඉඩම් ආරවුල් නිසයි. ඒත් මාත් එක්ක කවුරුත් තරහ නැහැ. මම රත්නපාලව අවුරුදු හතරක් තිස්සේ දන්නවා. අපි දෙන්නා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා.”

“රත්නපාල ඉන්නේ අපේ ගෙවල් වලට පහළින්. මහත්තයාගේ අම්මත් අපි දෙන්නාගේ සම්බන්ධය දන්නවා.

මේ නිසා නැන්දම්මා මට ගොඩක් බැනලා තියෙනවා. සතියකට දවස් හතරක් විතර රත්නපාල අපේ ගෙදරට එනවා. රෑ නමයත් දහයත් අතරේ තමයි එයා ඉන්නේ”

“අපේ නැන්දම්මා නිදාගන්නේ සාලය ළඟ තියෙන දෙවෙනි කාමරේ. ළමයි දෙන්නා නිදාගන්නෙත් එක ළඟ ඇඳේ රත්නපාල ආවාම ළමයි දෙන්නා ඇඳ උඩ තියලා මමයි රත්නපාලයි බිම පැදුරක් දාලා නිදාගන්නවා”

“දවසක් අපි දෙන්නා එකට ඉන්නකොට පොඩි දුව නැගිටලා අඬන්න පටන් ගත්තා.

ඒත් එක්කම නැන්දම්මා ඇවිත් දොර රෙද්ද ඈත්කරලා බලනවා මම දැක්කා. ගෙදර තිබුණු පොඩි බල්බ් එකේ එළියෙන් තමයි මම ඒක දැක්කේ. එතකොට රත්නපාල හිටියේ මගේ ළඟ. ඉන් පස්සේ නැන්දම්මා සද්දයක් නැතිව ගියා.”

“ටික මොහොතකින් රත්නපාල නැගිට්ටා. එයා අම්මා ඉන්න කාමරේ පැත්තට ගියා.

මමත් රත්තපාල පස්සෙන් ගිහින් අම්මගේ කාමරේ දොරේ උළුවස්ස ළඟ නැවතිලා බලාගෙන හිටියා. රත්නපාල අම්මගේ ඇඟ උඩ නැගලා බෙල්ල මිරිකනවා මම දැක්කා. ලයිට් එළියෙන් තමයි මම ඒක දැක්කේ. අම්මා රත්නපාලත් එක්ක පොර බැදුවා.

මාවත් මරයි කියලා බයට මම සද්ද නොකර හිටියා. අම්මා ටිකක් වෙලා දඟලලා දඟලන්නේ නැතිව හිටියා. මට තේරුණා අම්මා මැරුණා කියලා. රත්නපාල මුකුත් කතා කරන්නේ නැතිව ඉස්සරහ දොර ඇරගෙන කළුවරේම යන්න ගියා.”

“පහුවදා උදේ මම අම්ම ඉන්න කාමරේට ගියා. මම දැක්කා අම්මා මැරිලා ඉන්නවා. මට ඒ වෙලාවේ බයක් ඇතිවුණා.

මම ළමයි දෙන්නත් අරගෙන අපේ හැඩිගල්ලේ මහගෙදර ගියා. එදා තාත්තා කිරි කපන්න ගිහින් හිටියේ අම්මයි අයියයි කතරගම ගිහින් ආවා. එතකොට තමයි මට කෝල් කරලා කිව්වේ අම්මා මැරිලා කියලා”

කරුණාවතිගේ ලේලිය සිදු වූ සියල්ල එකක් නෑර කියන්නට වුවාය.

ඉන්පසු සාක්කුවේ තිබු ප්‍රෙෂර් පෙති ටික කරුණවතිගේ එක් අතකත් අනිත් අතට වතුර කෝප්පයකුත් රත්නපාල තැබුවේ ඇය අසනීපයකින් මිය ගිය බව ඒත්තු ගන්වන්නටය. ඉන්පසු රත්නපාල ඇගේ ගෙදරින් ගියේ ඉදිරිපස දොර වසා දමා යතුරු ද රැගෙනය. පසුදා උදෑසන ලේලිය ඇගේ මවගේ ගෙදර හැඩිගල්ලට ගියේ ඉතිරි දොර ද වසාදමාය. ඒ වන විටත් කරුණවති මිය ගොසිනි.

පසුදා දවසම කරුණවති පෙනෙන්නට නොවුවාය. අසල්වැසියන් සිතුවේ ඇය සිල් ගන්නටවත් ගොස් ඇතැයි කියාය.

දවස් දෙකක් වෙද්දී නිවෙසින් හමා එන කුණු ගඳත් සමඟ මේ බව කරුණවතිගේ පුතකුට දැන්වීමට අසල්වාසීහු පියවර ගත්හ.

ඔහු කරුණාවතිගේ නිවෙස තුළට බහින්නේ වහළෙන්ය. කාමරයේ ඇඳමත මැරි වැටී සිටින මව දුටු ඇගේ පුතා 119 හදිසි ඇමතුම් අංශය අමතන්නේ ඉන් පසුවය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල මිරිකිමෙන් ඇය මරා දමා ඇති බවත් ඇගේ ඉල ඇට කැඩි ඇතිබවත් සඳහන් විය.

පොලිස් පරීක්ෂණ වලදි හෙළිවුයේ ඇගේ ඉල ඇට කැඩි ඇත්තේ ඇගේ ගෙල මිරිකිම සඳහා රත්නපාල ඇගේ ඇඟ උඩ නැගිමේදීි ඇති වූ පොර බැදිමේදී බවත්ය.

කරුණාවතිගේ ලේලිය කියන්නේ රත්නපාල ගෙලමිරිකා නැන්දණිය මරාදැමු බවය.

එහෙත් රත්නපාල කියන්නේ ඒ මොහොතේ නැන්දම්මාගේ අත් දෙක අල්ලා සිටියේ ලේලිය බවය.

සැකකාර රත්නපාල හා කරුණාවතිගේ ලේලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බදුරලියේදී ලේලිය සහ අනියම් සැමියා එකතුවෙලා නැන්දම්මා එළොව යැවූ හැටි"

    Post a Comment