31 December, 2016

මංගල නැකතින් නිවසට කැන්දාගෙන විත් සීතාවක ගං පතුලේ සැඟවුණු සඳමාලිගේ ඝාතනය

tyger-river-at-bottom-hidden-murder

දැන් කරන්න දෙයක් නෑ පුතේ..
උඹ මේ ගැන කාටවත් කියන්න එපා...
මාමා අතින් සඳමාලි විනාශ වෙලා...

තිරිසන් සතුන්ගෙන් මිනිසා වෙනස්වන්නේ තිරිසනුනට වඩා උසස් ලෙස සිතන්නට හැකියාව ඇති නිසාය.

ඒ සිතිවිල්ල තුළ දුක, වේදනාව, ළෙන්ගතුකම, සංවේදිකම වැනි උසස් මිනිස්කම් ගැබ්වී ඇත්තේ ඒ “මිනිස්” යන ගෞරවාර්ථයට පින්සිදු වන්නටය.

එහෙත් මිනිස්කමට නිඟාකළ තිරිසනුන් වැනි මිනිසුන්ද ලොවට වරින් වර උත්පාදවී ඇත්තේ එවන් අකුසලකම් කිරීමේ උරුමය පෙරදැරි කරගෙනය. කෙනකු මෙලොවට බිහිවන්නේ මියයන්නටය. එහෙත් එය කෙලෙස සිදුවන්නේද යන්න කාටවත් කිව නොහැක.

මංගල නැකතින් නිවෙසට කැන්දාගෙන ආ ළාබාල යුවතියක් සීතාවක ගං පතුලේ වැළලී ගියේ සංසාරයේ රැගෙන ආ බියකරු මරණයකට උරුමකම් කියමිනි.

මෙවන් රුදුරු මරණයකට උරුමකම් කියන්නට තරම් ඇය සංසාරයේ කළ පව කුමක්ද....?

හුදකලාවම නිහඬ මරණයකට උරුමකම් කියූ ඇය සීතල ගඟ දිය පතුලේ නිසල වූයේ කාටත් හොර රහසේය.

අචලා උපන්නේ ඇඹිලිපිටියේ දුෂ්කර ගම් පියසකය. ඇගේ මව විදේශගතව වෙනත් විවාහයක් කරගෙන සිටි නිසා අචලා ගෙවුයේ දුක්බර දිවිපෙවතකි.

අචලා සඳමාලි නමැති මේ විසිවැනි වියෙහි පසුවූ කාත් කවුරුවත් නොමැති තරුණියගේ ඉරණම විසදෙන්නේ අන්ත දුගී දුප්පත්කම ඔස්සේය.

ගයාන් ජීවත් වූයේ දෙහිඕවිට ප්‍රදේශයේය. ඔහු දෙහිඕවිට, පිටදෙනිය, ඉරට්ටවත්ත ජනපදයේ අංක හය ලිපිනයේ පදිංචිව සිටියේ පියා වූ ගාමිණී සමඟය.

පිය පුතු දෙදෙනාම කළේ ගඟේ වැලිගොඩ දැමීමය. ඒ වනවිට විසිහය හැවිරිදි වියේ පසුවූ තරුණයකු වූ ගයාන් වැලිගොඩ දැමීමෙන් පියාට සහාය වූයේ එය තම ජීවන වෘත්තිය වී තිබුණු නිසාය.

පියා වූ ගාමිණී පනස් වැනි වියෙහි පසුවූවෙකි. වැලිගොඩ දැමීම නොතිබුණ දිනවල ගයාන් ඇඹිලිපිටියට ගියේ සිය ඥාතියකු සමඟ අඹ කැඩීමටය.

අඹ කැඩීමට ඇඹිලිපිටි ගිය ගයාන් සිය මාමාගේ නිවසෙහි නතර වන්නේ දෛවයේ හමුවීමකට ඉඩ සලසන අතරය. ඒ නිවෙස අසළ පදිංචිව සිටි අචලා කෙරෙහි ගයාන්ගේ සිත ඇදී යන්නේ ඉරණම පරිදිය.

අචලා දැකගත් ගයාන් ඇය සමඟ විවාහ විය යුතු බව නිවෙසට පැමිණි පියාට කීවේය.

ඒ අනුව ගයාන්ගේ පවුලේ අයම ගොස් අචලා කැන්දාගෙන ආවේ ඇගේ දිළිඳුකම දෑසින්ම දැකගන්නා අතරතුරය.

ඇඳිවත පිටින්ම කැන්දාගෙන දෙහිඕවිට තම නිවෙසට ගෙන ආ මනාලිය සමඟ ජයටම මගුලක් ගන්නට ගයාන්ගේ පියා ගාමිණී කටයුතු කළේය.

වැලිගොඩ දමා ඉපැයූ මුදලින්ම මඟුල කෑ ගාමිණී සිය පුතු සමඟ එක්ව ආයෙමත් වැලිතොටුපළක් බදුගෙන වැලිගොඩ දැමීම සිදුකරගෙන ගියේය.

කාලය ගෙවී ගියේය. අචලා තම මනාලිය කර ගත්තද යුග දිවියේ බොහොමයක් හිස්බවක් ඇයට වැටහුණාය.

විවාහ වූ දිනයේත් ගයාන් නිදාගත්තේ තනිවමය. මනාලිය වූ අචලා ඔහේ පැත්තකට වී රාත්‍රිය ගෙවාදැම්මාය. අචලා බොහෝවිට නිදාගත්තේ ගයාන්ගේ මිතුරාගේ පෙම්වතිය ළඟය.

වැඩිපුර කාන්තාවන්ට ඇලුම් නොකළ ගයාන් තම බිරිය කැන්දාගෙන ආවත් ඇය සමඟ සමීප ඇසුරක් පවා නොතිබිණි.

අචලා සඳමාලි සියල්ල ඉවසා දරාගෙන සිටියේ කළ හැකි කිසිවක් නොවූ නිසාමය.

කාලය ටිකෙන් ටික ගෙවී ගියද ඇගේ ජීවිතයේ අලුත් වෙනසක් සිදුවූයේ නැති තරම්ය. සිදුවූ එකම දෙය නම් ඇඹිලිපිටියේ සිට දෙහිඕවිටට ආගමනය සිදුවීම පමණකි. මේ අතරේ ඇගේ ජීවිතයට තවත් කරදර ගලාගෙන ආවේය.

විවාහ දෙදරා යන තැනට කටයුතු සිදුවෙමින් තිබිණි. අචලා සඳමාලි ඇඹිලිපිටිය ගමේ ජීවත්වෙද්දී ඇගේ මාමා කෙනකු අතින් අතවරයට පත්වී තිබීමක් පිළිබඳ හෙළිදරව්වීම ඊට හේතුව විය.

එය ඥාතියකු විසින් ගයාන්ගේ කනේ තැබුවේය. නෝංජල් ගති පෑවද මේ නිසා ගයාන්ගේ හිතට ආවේ බලවත් කේන්තියක්ය.

ඒ පිළිබඳ දෙදෙනා අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවූහ.

ගැටුම් ඇතිවීමෙන් පසු ගයාන් සිය බිරියට නොසලකා හැරියේය. අඩු තරමේ අඳින්නට ඇඳුමක් ගෙනැවිත් දෙන්නට පවා ඔහුට වුවමනාවක් තිබී නැත.

ගැහැනියක විසින් නොවිඳිය යුතු දුක් වේදනාවන් අත් විඳිමින් රහසේ කඳුළු හෙළමින් ඇය ගතකළේ අපා දුකකි.

තම සැමියා වූ ගයාන්ගෙන් පමණක් නොව ඔහුගේ පියා වූ මාමණ්ඩියගෙන් පවා ඇයට ලැබුණේ රැවුම් ගෙරවුම්ය.

ඇගේ ජීවිතයේ උරුම කරුම තවමත් ඇය පසුපසම ලුහුබැඳ එමින් තිබිණි. කාත් කවුරුවත් නොමැති යැයි සිතූ නිසාම ඇයට ඔවුන්ගෙන් එල්ල වූ ගුටිබැටවල අඩුවක් නොවීය.

මේ අතරේ ගයාන්ගේ පියා වූ ගාමිණීගෙන් කිහිපවරක්ම ඇයට අඩන්තේට්ටම් සිදුවිය.

පුතුගේ බිරියට විවිධ අදහස් දක්වමින් ඔහු ඇය වරදට පොළඹවාගන්නට වෑයම් කළද ඒ සියල්ල වැරදී ගියේ සඳමාලි ඊට එරෙහිවීමත් සමඟය. ඇගේ විරෝධය නිසා ගාමිණී තුළ හටගත්තේ තදබල කෝපයකි.

දිනක් මෙවැනි මොහොතක ඇතිවූ ගැටලුවක් නිසා ගාමිණී එල්ල කළ තදබල පහරකින් සඳමාලි සිහිසුන් නැතිව ඇද වැටුණාය.

වියරුවෙන් හැසිරුණු ගාමිණී සිය පුතුගේ බිරියගේ ගෙල මිරිකා දැම්මේ තිරිසනකුටත් වඩා අන්ත ලෙසය.

ඇය කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත්තේ අබිරහසක් ලෝකයට ඉතිරි කරතබාය. මේ සියල්ල සිදුවන්නේ 2009 අප්‍රේල් 12 වැනිදාය.

පසු දිනට උදාවන්නට තිබුණේ සිංහල අලුත් අවුරුද්දේ අසිරිමත් පී‍්‍රතිමත් උත්සව සමයේ ඇරඹුමය. මෙලෙස සිංහල අලුත් අවුරුද්ද උදාවන්නට පැය ගණනක් තිබියදී අචලා සඳමාලි නම් අහිංසකාවිය නරුම ගති ඇති නරුමයකු විසින් මරාදමන ලද්දේ කිසිදු වගක් විභාගයක් නොමැතිවය.

ඒ වනවිටත් ඇගේ යුග දිවියට ගතව තිබුණේ මාස තුනක කාලයක් පමණි.

ගයාන්ගේ හැටි දන්නා ගාමිණී තම පුතුවද අස්වසාලීමට කටයුතු කළේය. නෝංජල් ගති පෑ මෝඩ තරුණයකු වූ ගයාන් නිවෙසට පැමිණෙන විටත් තම බිරියගේ පණනල සිදීගොස් අවසන්ය.

“දැන් කරන්න දෙයක් නැහැ පුතේ. උඹ මේ ගැන කාටවත් කියන්න එපා. වෙච්ච දේ වුණා. දැන් ඉතින් ගොඩ එන්න විදිහක් කල්පනා කරමු.”
ගාමිණී තම පුතුගේ සිතට අලුත් අදහස් එක් කළේය.

ලෝකයට හොර රහසේ එක්තරා තැනක මෙලෙස මිලේච්ඡ අපරාධයක් වහන්වෙමින් පවතිද්දී අවට ලෝකයේ කිසිවකු මේ බවක් දැන නොසිටීම ඔවුන්ගේම වාසියට හේතුවක් වන්නට ඇත.

සඳමාලි කාත් කවුරුවත් නැති අසරණියකැයි සිතූ ඔවුහු ඇය ගැන සොයන්නට කිසිවකු නොවනු ඇතැයි සිතූහ.

ඇගේ මව වෙනත් විවාහයක් කරගෙන විදේශගතව ඇති බව පමණක් ඔවුහු දැන සිටියහ.

සිත්පිත් නැති පියපුතු දෙදෙනා ඊළඟට සැරසුණේ මරාදැමූ අසරණියගේ සිරුර සඟවා දමන්නටය. හුදකලා විවාහයක කුරිරුකම් සිත්පුරා විඳගනිමින් මරණයට අතපෙවූ අචලා සඳමාලිගේ සිරුර සැන්දෑ ගොම්මනේ ගඟ අද්දරින් බැස යන ගඟ දියට එකතු කිරීම ඔවුන්ගේ අදහස විය.

අඳුර වැටෙත්ම තම ත්‍රීරෝද රියට අචලාගේ සිරුර දමාගත් දෙදෙනා කෙලින්ම පැමිණියේ දෙහිඕවිට, කඹුරාපොළටය. හදවතේ තෙතමනයක් නොමැති නරුමයන් දෙදෙනා පණනල සුන්ව ගිය ඇගේ සිරුරේ දෙකන් පෙති සැරසී තිබූ කරාබු කුට්ටම ගලවාගත්තේ මිලේච්ඡත්වය කෙතෙක් දැයි විදහා පාමිනි.

ඉන්පසු සීතාවක ගඟ ඉවුරට රැගෙන ආ සඳමාලිගේ සිරුර ඔවුහු ගඟ අයිනේ වූ බෝට්ටුවකට දමාගත්හ.

රෙදි අපුල්ලන විශාල ගල් කුට්ටියකට සඳමාලිගේ සිරුර තබා කිටි කිටියේ වයර්වලින් ගැට ගැසූහ. බෝට්ටුව පදවාගෙන ගියේ ගාමිණීය.

සිය පුතුගේද සහාය ඇතිව සඳමාලිගේ සිරුර සීතාවක ගං පතුළට අතහැර දමා කිසිවක් සිදුනොවූ සේ ආපසු බෝට්ටුවට නැඟ ඔවුහු ගොඩට ආහ.

පව්කාර දවසක් ගෙවී ගියේය. පසුදිනට තම පුතුව අවිස්සාවේල්ල පොලිසියට යවා සිය බිරිය ආගිය අතක් නැතැයිද ඇය කිසිවකු සමඟ හොර රහසේ පැන යන්නට ඇති බවටද පොලිසියට පැමිණිල්ලක් කිරීමට තරම් ගාමිණී නරුමයකු විය.

සඳමාලිට නිතරම කවුරුන් හෝ දුරකථනයෙන් කතා කරන බවද ඒ අම්මා යයි කීවද එම අංකවලින් කතා කරන්නේ අම්මා නොවන බවද ඔහු තවදුරටත් පැමිණිල්ලේ සඳහන් කිරීමට වගබලා ගත්තේය.

සඳමාලිව අමු අමුවේ මරාදමා ගං පතුළ යට සඟවා තබා ඔවුහු අලුත් අවුරුද්ද රිසි සේ සැමරූහ.

සඳමාලිගේ ඝාතනයත් සමඟම ගයාන් මත්පැනට ඇබ්බැහි වූ අතර ඔහුව කිසිවිටෙකත් තනි නොකිරීමට පියා වූ ගාමිණී කටයුතු කළේය.

සෑම දිනකම වැලි තොටුපළට ඔහු ගියේ පුතාත් සමඟය. ආපසු ආවේත් ඔවුන් දෙදෙනාය. පවුලේ අය සමඟවත් පුතා ඕනෑවට වඩා ඇසුරු කරනු දැකීමට ගාමිණී බිය විය.

ගයාන්ගේ මුවින් මේ බව හෙළිවේ යැයි උපන් බියකින් ගාමිණී නිරතුරුවම පීඩා විඳිමින් ඔහු රැකගත්තේය.

මේ අතර ඔවුන් නොසිතූ පරිදි සඳමාලිගේ මව ලංකාවට පැමිණියාය. දීගෙක ගිය තම දියණිය පිළිබඳ ඇය විමසිලිමත් වන්නේ මෙතැන් පටන්ය. සඳමාලි දකින්නට නොවීමත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවීමත් නිසා ඇය පසුවූයේ සැකයෙන් යුතුවය.

අවසානයේ ඇය පොලිස් සහන මැදිරියට පැමිණෙන්නේ පොලිස්පති ඉලංගකෝන් මහතාගෙන් පිළිසරණක් පතාගෙනය.

ඇගේ තොරතුරු අනුව පැමිණිල්ලක් ලබාගන්නා ඔහු මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට භාර කරන්නේ අවිස්සාවේල්ල පොලිස් විශේෂ කාර්යාංශයටය.

එහිදී උප පොලිස් පරීක්ෂක කුමාරතුංග යටතේ මූලික පරීක්ෂණයක් කළ පසු පිය පුතු දෙදෙනාගෙන් කළ යම් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් දෙදෙනා සැක කිරීමට තරම් හේතු සාධක තිබෙන බව පොලිසියට සාධාරණව පෙනී ගියේය.

ඇගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කර බලා එහි අංකය අනුව සඳමාලි එම කාලය තුළ විදේශගතවී නොමැති බවට නිලධාරීන් සහතික කර ගත්තේය.

ඉන් අනතුරුව සඳමාලිගේ අතුරුදන්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරකරන ලද්දේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යාමටය.

පොලිස් අධිකරී මහේෂ් පෙරේරා මහතාගේ නියෝගය මත සහකාර පොලිස් අධිකාරී පනාමල්දෙනිය යන මහත්වරුන් විසින් ඉන්පසු පරීක්ෂණ ආරම්භ කෙරිණ.

ඉන් අනතුරුව රහස් පොලිසිය පියපුතු දෙපළගෙන් ප්‍රශ්න කිරීමේදී අචලා සඳමාලිගේ අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම ඔවුනට හැකිවිය.

එපමණක් නොව මළ සිරුර ගඟට අතහැර දැමූ තැනද ඔවුන් පෙන්වා දුන් අතර නාවික හමුදාවේ රංගල කඳවුරේ සිට රැගෙන ආ කිමිඳුම්කරුවන් යොදා ගනිමින් ගං පතුළේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ද පොලිසිය කටයුතු කළේය.

මළ සිරුරේ කොටස් හමුනොවූවද සිරුරේ ගැටගැසූ ගල දක්නට ලැබිණි.

සඳමාලිගේ සිරුරේ තිබූ බවට සිතිය හැකි කාන්තා යට ඇඳුමක්ද සොයාගන්නා ලදී.

කාලගුණික විපර්යාසයන්ට ලක්වීමෙන් මළ සිරුරේ කොටස් විනාශ වී ගියද අනෙකුත් තොරතුරු ලබාගැනීමට නිලධාරීන්ට හැකිවිණි.

ගලවාගත් ඇගේ කන්පෙතිවල තිබූ කරාබු යුවළද උකස් කරන ලද තැනක තිබියදී සොයාගන්නට රහස් පොලිසියට හැකිවිය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මංගල නැකතින් නිවසට කැන්දාගෙන විත් සීතාවක ගං පතුලේ සැඟවුණු සඳමාලිගේ ඝාතනය"

    Post a Comment