31 December, 2016

නයනා දේශපාලනයට එන කතාව ඇත්තක්ද?

nayana-kumari

නයනා කුමාරි කියන්නේ නිතර කලා නිර්මාණවලින් දකින්නට ලැබුණත්, නැතත් හැමදාමත් පාහේ තමන්ගේ ජනප්‍රියත්වය එක්තරා මට්ටමක පවත්වාගෙන යන රංගන ශිල්පිනියක්. ඇය කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා අලුත් පියවරක් තබන්න සූදානම් වෙනවා කියලා පුවතක් මේ දිනවල පැතිර යනවා. ඒ ගැන ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක අපි නයනාට කතා කළා.

නයනා දේශපාලන පිටියට පය තබන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?
අමුතුවෙන් එන්න දෙයක් නැහැ. මම දැනටමත් දේශපාලනය කරනවා.

ඒ කියන්නේ ඔබ ළඟදිම මහජන නියෝජිතවරියක් වේවි?
අ‍පොයි නැහැ. අපේ දේශයට වැඩක් ඇති දේවල් කරනවා කියන අදහසින් තමයි මම දේශපාලනය කරනවා කියලා කිව්වෙ. එහෙම නැතුව ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන අදහසක් නම් මගේ තුන්හිතකවත් නැහැ.

එතකොට නයනා කුමාරි දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට පත්වෙන්න හිතාගෙන ඉන්නවා කියලා ඇතැම් වබේ අඩවිවල පළ කරලා තියෙන්නේ බොරුවක්ද?
ඒ කතා පට්ටපල් බොරු. හුඟක් වබේ අඩවි අපි වගේ ප්‍රසිද්ධ චරිතවලට මඩගහන්න හිතාගෙන තමයි ඔය වගේ බොරු පතුරවන්නේ.

එළිපිට දේශපාලනයට නෑවිත් නයනා ජනතාව වෙනුවෙන් කරන සේවය මොකක්ද?

මගේ කාලය සහ මිල මුදල් වැය කරලා අහිංසක ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු රැසක් මම කරගෙන යනවා. ඒවා බොහොම නිහඬව කරන සේවාවන් නිසා තමයි ඒ ගැන වැඩිදෙනා නොදන්නේ.

දේශපාලනයට එන්න කියලා දේශපාලන පක්ෂවලින් ඔබට ආරාධනා ලැබිලාම නැද්ද?
මොකද නැත්තේ? එවැනි ආරාධනා නම් ඕනෑතරම් ලැබිලා තියෙනවා. හැබැයි මේ විදිහට නිහඬව ජනතාව වෙනුවෙන් සේවයක් කරගෙන ඉන්න එක වඩා හොඳයි කියලා මට හිතෙනවා.

කලාකරුවෝ එළිපිට දේශපාලනය කරන එක සුදුසු නැහැ කියලද ඔබ කියන්නේ?
ඒකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ. මොකද කලාකරුවන්ටත් අයිතිය තියෙනවා දේශපාලන අදහස් දරන්න. හැබැයි ජනතාවට සේවය කරන්න ඕනෑනම් පාර්ලිමේන්තුවට යන්නම වුවමනා නැහැනේ.

හැබැයි හුඟක් කලාකරුවන්ට වගේ ඔබටත් දේශපාලන පක්ෂ එක්ක කිට්ටු සම්බන්ධතා ඇති?
අ‍පොයි නැහැ. මට අදටත් දේශපාලන පක්ෂයක් නැහැ. මේ ආණ්ඩුවෙන් හෝ පසුගිය ආණ්ඩුවෙන් සතයක්වත් මම අරගෙනත් නැහැ.

මුල් කාලයේ වගේ වැඩිපුර කලා නිර්මාණවල පේන්න නැත්තේ ආරාධනා අඩු නිසාද?
එහෙම දෙයක් නෑ. සැලෝන් එකේ වැඩකටයුතු නිසා මට ටිකක් විතර කලාවෙන් ඈත්වෙලා ඉන්න සිදුවුණා. හැබැයි මේ දවස්වල නම් කලා කටයුතු නිසා මම හුඟක් කාර්යබහුල වෙලයි ඉන්නේ.

ඒ කියන්නේ ළඟදීම නයනා කලා නිර්මාණවලින් ආයෙමත් රසිකයන් අතරට ඒවි?
ඇත්තටම ඔව්. අලුත් ටෙලිනාට්‍ය තුන හතරකම රූගත කිරීම්වලට මම මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම ලබන ජනවාරි මාසේ ‘දියකිඳුරි’ කියලා අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ඇරඹෙනවා. රොජර් සෙනෙවිරත්න තමයි මා සමග එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. හුඟ කාලෙකට පසුවයි මට රොජර් අයියත් එක්ක වැඩ කරන්න ලැබෙන්නේ. අපි දෙදෙනා එකට රඟපාන පළමු චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්.

ඉදිරි වසරේ ඔබේ බලා‍පොරොත්තු මොනවාද කියලත් කියමු?
මම කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් වසර 26ක් වෙනවා. ඉතින්, මම මතෛක් කල් ලබාගෙන තියෙන දැනුම සිනමා, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කියන මාධ්‍ය තුන ගැනම පාඨමාලා පවත්වන ඇකඩමියක් ආරම්භ කරලා නවයකයන්ට බෙදා දෙන්න මම හිතාගෙන ඉන්නවා. කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයත් ඊට ලබාගන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ දැනට තියෙන සැලෝන් එකට අමතරව තවත් අලුත් සැලෝන් එකක් විවෘත කිරීමත්, රූපලාවන්‍ය පිළිබඳ දැනුම ලබාදෙන පාඨමාලා පෙළක් ආරම්භ කිරීමත් මගේ තවත් බලා‍පොරොත්තුවක්. මේ නිසා 2017 වසර මගේ බොහෝ සිහින සැබෑවන වසරක් බවට පත්වේවි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නයනා දේශපාලනයට එන කතාව ඇත්තක්ද?"

    Post a Comment